Mar
20

ලයනල් වෙන්ඩ්ට් වෙන්න හීනයක්වත් තිබුණෙ නැහැ – ඇල්බොරාදා පළමු වෘතාන්ත චිත්‍රපටය

 
642 Views
   
Lionel Wendt never dreamed of being - Alborada first feature film  

‘ඩොමිනික් කෙලර්’ යනු මෙරට ඉංග්‍රීසි වේදිකාවට නම් අමුත්තෙකු නොවෙයි. එමෙන්ම මෙරට ඉංග්‍රීසි එෆ්.එම්. නාලිකාවලට සවන්දෙන ශ්‍රාවකයන්ටත් අමුත්තෙකු නෙවෙයි. රූපවාහිනී වෙළඳ දැන්වීම් වෙනුවෙන් නිරූපනයට එක්වෙන නිසා ‘‘ඩොමිනික්’’ ලංකාවේ බොහෝ දෙනා හට හුරු – පුරුදු රූපයක් කියලා කියන්නත් පුළුවනි. පෙනුම සහ නම එක්ක ඔබට හිතෙන්නට පුළුවනි ඔහු විදේශයකින් මෙරටට පැමිණ සිටින කෙනෙක් යැයි කියා’ එහෙත් ඔහු ලංකාවේ උපන්න, ලංකාවේ හැදී වැඩුණු ශ්‍රී ලාංකිකයෙකි. මේ දිනවල මේ ශිල්පියා ගැන බොහෝ දෙනා කතාවෙන්නේ අසෝක හඳගමගෙ නව්‍ය සිනමා නිර්මාණය වන ’ඇල්බොරාදා’ තිරගත වන නිසයි. එහි ඩොමිනික් කෙලර් රඟපාන්නේ ‘ලයනල් වෙන්ට්ඩ්’ගේ චරිතයයි. ලයනල් වෙන්ට්ඩ් රංග ශාලාව දෙවැනි නිවස කරගත් ඩොමිනික් කෙලර්හට ලයනල් වෙන්ඩ්ට් වීමට ලැබුණු මොහොතක අපි ඔහු සමග පිළිසඳරකට එක්වෙමු.

‘ඩොමිනික්’ කැමතියි ඔබගෙ වතගොත ගැන කෙටියෙන් කියනවා නම්?

සාමාන්‍ය පවුලක්. ගම දෙහිවල. මම ඉගෙන ගත්තෙ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්. කොහොමටත් පාසල් ජීවිතය සම්පූර්ණයෙන් ගත කළේ ඉංග්‍රීසි අධ්‍යාපනික පාසල්වලින්. ගෙදර තිබුණෙත් ඉංග්‍රීසි කතා කරන පරිසරයක්. ඒ නිසා මුල් කාලයේදී දේශීය පාසල්වලට ගිහින් අධ්‍යාපනය ලැබීමේ අපහසුවක් තිබුණෙ. පස්සෙ – පස්සෙ ඒවා හරි ගියා. අපේ පවුලේ අම්මයි – තාත්තයි, මල්ලියි, මමයි. තාත්තා වැඩ කළේ ගුවන් කටයුතු හා සම්බන්ධ ක්ෂේත්‍රයේ. අම්මා ගණකාධිකාරිවරියක්.

ඩොමිනික්ට ඕනෑ වුණේ කවුරු වගේ වෙන්නද?

ඒ දිනවල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ භාෂා විෂයයන් තිබුණෙ නැහැ. ඩ්‍රාමා වැඩ එහෙම කෙරුණෙත් නැහැ. ඒ නිසාම මම කළේ සයන්ස්. දොස්තර කෙනෙක් වෙන්න හිතාගෙන මෙඩිකල් කොලේජ් යන්නයි ඕනෑ වුණේ. උසස් පෙළ රිසල්ට්ස් හොඳයි. ඒත් ඉන්ටර්නැෂනල් කොලේජ් එකක හිටපු නිසා ලෝකල් මෙඩිකල් කොලේජ් එකට යන්න බැරි වුණා. ඊට පස්සෙ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොලේජ් එකකට යන්න හිටියෙ.

ඒක මග හැරුණෙ?

ඉස්කෝලෙන් අවුට් වෙන්න ඔන්න මෙන්න තිබියදී, වර්ක්ෂොප් (වැඩමුළුවක්) එකක් ජෙරම් ඩි සිල්වා යටතේ පැවැත්වුණා. මම ඒකට ගියා. නාට්‍ය කරන්න කැමැත්තක් ආවෙ ඒ නිසයි. ඊට පස්සෙ පාසලෙන් අයින් වෙච්ච ගමන් පිටරට මෙඩිකල් කොලේජ් යන්න කලින් තව නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබුණා. බිෂොප් කොලේජ් ආදි ශිෂ්‍යාවන්ගෙ සංවිධානය කළ නිර්මාණයක්. අන්න එතැනදි ලංකාවේ ඉංග්‍රීසි තියටර් එකේ බොහෝ දෙනෙක් හඳුනාගන්න පුළුවන් වුණා. රට ගිහිල්ලා දොස්තර කෙනෙක් වෙනවාට වඩා මේකම කරගෙන හිටියොත් හොඳයි කියලා මම හිතුවා. අම්මා – තාත්තාටත් කිව්වෙ මට රට යන්න බෑ මේක කරන්න කැමතියි කියලයි. ඊට පස්සෙ ලංකාවේ ඉඳගෙන බිස්නස් ඩිග්‍රි එකක් කළා. මොකද අධ්‍යාපන සුදුසුකමක් තියෙන්නත් එපායැ. ඔය විදියට තමයි නාට්‍ය දිගටම කරගෙන ආවෙ.

එෆ්.එම්. නාලිකාවලට ආවෙ කොහොමද?

නාට්‍ය වේදිකාවෙ ඉන්නකොට මීට අවුරුදු 19කට විතර පෙරදි, මගේ යාළුවෙක් මට කිව්වෙ ඔයාගෙ කටහඬ හොඳයි. රේඩියෝ එකට යන්නකො කියලයි. ‘ABC’ නෙට්වර්ක් එකට ජොයින් වුණේ ඒ විදියටයි. මුලින්ම නිව්ස් කිව්වෙ. පස්සෙ පවුලෙන් ආ සංගීත ආභාෂය එක්ක ඒ පැත්තෙන් කළොත් හොඳයි කියලා හිතුවා. ඒ අතරේ මගේ දෙවැනි නිවස වුණේ ලයනල් වෙන්ට්ඩ් එක. නාට්‍යයයි, එෆ්.එම්. නිවේදනයටයි අමතරව, විවිධ සම්භාෂණ, උත්සව, ප්‍රසංග වගේ දේ මෙහෙයවීමටත් ඊළඟට යොමුවුණා.

ඒ විදියට කටයුතු කරමින් හිටිය ඩොමිනික්ව ගමේ – ගොඩේ අය පවා රූපයෙන් දැන ගත්තෙ රූපවාහිනී දැන්වීම් නිසා නේද?

ඔව්. ඒක පටන් ගත්තෙ මගේ යාළුවෙක් කිව්ව නිසයි. එයා හිටියෙ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක. මුලින්ම හිටියෙ ‘වොෂින් මැෂින්’ දැන්වීමකට. ඒක නැගලා ගියාට පස්සෙ ඩයලොග් ඇඩ්ස් කීපයකටම දායක වුණා.

ලයනල් වෙන්ටඩ් තියටර් එක ඩොමිනික්ගෙ දෙවැනි නිවස කියලා කිව්වානෙ. ඒක බිහිකළ ලයනල් වෙන්ට්ඩ් ගෙ චරිතය ‘ඇල්බොරාදා’ සිනමා නිර්මාණය නිසා ඔබට රඟපාන්න ලැබීම ගැන හිතෙන්නෙ කොහොමද?

ඇත්තටම කිව්වොත් ලයනල් වෙන්ට්ඩ් වෙන්න වේවි කියලා කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුණෙ නැහැ. අනෙක ලයනල් වෙන්ට්ඩ් කියන නම කවුරුත් දැනගෙන හිටියට, එතුමා ගැන විස්තර, ඉතිහාසය, ඒවා ගැන කවුරුවත් දන්නෙ නැති තරම්. එයාගේ පුද්ගලික ජීවිතේ ගැන විස්තර ලියැවිලත් නැහැ. එයා එක්ක ඒ කාලයේ හිටපු අයත් මැරිලා. ඒ නිසා මට එයාගේ චරිතය හදා ගන්න හරි අමාරු වුණා. මුලින් එයා සංගීත ශිල්පියෙක්. පසුව ඡායාරූප ශිල්පියෙක් ලෙස තමයි බොහෝ නිර්මාණ කළේ. එයා හිටියෙ කැමරාව පිටුපස මිසක් කැමරාව ඉදිරියේ නොවෙයි. ‘ලයනල් වෙන්ට්ඩ්’ ගැන සොයාගන්න හරිම අමාරු වුණා. එයා බොහොම හික්මීමක් තිබුණු, වැඩිය කතා නොකළ කෙනෙක්, එයා කතා කරන විදියත් හරිම අමුතු විදියක් තිබිලා තියෙන්නෙ. ඒ වගේ දේවල් කොහොම හරි සොයාගෙන ‘ලයනල් වෙන්ට්ඩ්’ වෙන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා.

කොහොමද ‘ලයනල් වෙන්ට්ඩ්’ වෙච්ච ඩොමිනික්ට ඒ වෙනුවෙන්  ලැබෙන ප්‍රතිචාර?

හොඳයි, අසෝක හඳගම එක්ක වැඩ කරන්න ලැබීමත් හොඳයි. එයා නළු – නිළියන්ව බලහත්කාරයෙන් මෙහෙයවන්නෙ නැහැ. නිදහසේ රංගනය කරන්න අවකාශය ලබාදෙන අධ්‍යක්ෂවරයෙක්.

‘ඩොමිනික්’ගෙ කීවෙනි චිත්‍රපට රංගනයද මේ ?

මීට පෙර කෙටි චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මේක තමයි පළමු වෘත්තාන්ත චිත්‍රපටය. ඊට අමතරව තවත් චිත්‍රපටවල අතිරේක චරිත කරලා තියෙනවා. ‘බොම්බෙ වැල්වට්’ ෆිල්ම් එකෙන් අතිරේක චරිතයකට හිටියා.

‘ඩොමිනික්ගෙ’ නම ගැන දන්නවද? ඒ කියන්නෙ අරුත?

‘දෙවියන් වහන්සේට අයිති’ දෙවියන් වහන්සේගේ සොල්දාදුවා වගේ අරුතක්.

ඩොමිනික් කොහොම කෙනෙක්ද?

රේඩියෝ පැත්තට දැන් ගොඩාක් ආසයි. මම කසාද බැඳලා, නෝනා භාෂා පරිවර්තන වැඩ කරන්නෙ.

ජීවිතය ගැන කොහොමද හිතන්නෙ?

මේ රටේ පවතින ක්‍රමය එක්ක නම්, බැලුවාම, මම නම් කියන්නෙ පුළුවන් තරම් මේ රටෙන් යන්න කියලයි. මේකෙ ඉඳලා වැඩක් වෙන්නෙ නැහැ. තරුණයින්ට මේකේ ඉඩක් නැහැ. වැඩකාරයින්ට, දක්ෂයින්ට ඉඩක් නැහැ. කේලමුන්ට තැන. දක්ෂයාට නිසි තැන නොදී තියෙන තැනත් නැති කරන්න කට්ට ගහනවා. ඉතින් කොහොමද සමාජය හොඳ වෙන්නෙ. මට අවුරුදු 36යි. කාලයක් තිස්සේ රඟපානවා. ඒත් මේ තමයි පළමු චිත්‍රපටය. ඉංග්‍රීසි චිත්‍රපටවල, ඩ්‍රාමාවලට තැනක් නැහැ, ඩ්‍රාමා කරන අයට හරියට ගෙවන්නෙ නැහැ. ආටිස්ට්ලාට පිළිගැනීමක් රජයෙන් හදලා නැහැ. ආටිස්ට්ලා අතරත් එකමුතුකමක් නැහැ. කෙටියෙන්ම කිව්වොත් අපේ රටේ කලාවට ජාතික පිළිගැනීමක් – ප්‍රතිපත්තියක් නැහැ. කිසිම ආණ්ඩුවකින් කලාවට සෙතක් වෙලා නැහැ. ඒ නිසා පිටරටකට හරි ගිහින් දක්ෂතා පෙන්වන්න ඕනෑ. මේ භූමිය හොඳයි එක – එක විදියෙ බිස්නස් කරන්න, බිස්නස් ඩීල් දාන්න.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්