Nov
9

මහබාගේ රිය අනතුර පිටුපස කඳුළු කතාව

 
9011 Views
   
 

පාසල් සිසුවෙකු පැදවූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සිදුකළ රිය අනතුරක් නිසා රටම කම්පාවට පත්වූයේ අනතුර සිදු වූ ආකාරය හා අනතුරෙන් මිනිස් ජීවිතයක් බි ලි ගෙන තවත් පිරිසකට රෝහල් ගත වන්නට සිදු වූ බැවිනි. මහබාගේ වැලිසර සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට මෙම රිය අනතුර සිදුව තිබුණේ ඉකුත් 4 වැනිදාය.

සැප රියක් අධික වේගයෙන් පැමිණ කරනම් ගසා සිදුකළ අනතුරට බිලිවූ වික්රම ගුණසේකර අමරසිරි (51) මහතාගේ මහබාගේ වැලිසර තොටුපළ පාරේ පිහිටි නිවසට අප ගොඩවැදුනේ මේ ඛේදවාචකය නිසා දරු පවුලකට සිදුව තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන වැඩිදුර කරුණු විමසා බැලීමටය.

අප එම නිවසට යනවිට අමරසිරි මහතාගේ නිවසට ඔහුගේ නෑදෑයින් හිතවතුන් අසල්වාසීන් බොහෝ පිරිසක් එක්වී සිටියේ සිදුවීම පිළිබඳව කම්පිතවය. හමුදා සෙබළෙකු වූ අමරසිරි පසුව දක්ෂ වඩු කාර්මිකයෙකු විය. වඩු කාර්මිකයෙකු වූ අමරසිරි මහතාගේ වඩු මඩුව පිහිටා තිබුණේ මහබාගේ අඩි විස්ස ප්රදේශයේය. 04 වැනිදා සුපුරුදු ලෙස තම වඩු මඩුවට යෑමට පෙර ඔහු නිවසට අවශ්ය ගෑස් සිලින්ඩරයක් රැගෙන ඒම සඳහා පිටත්ව ගියේ සිය ඥාති පුත්රයා වූ දිනිඳු අකලංක (17) සමගය. අමරසිරි ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය සිදු වන්නේ මෙම ගමනේදීය.

අමරසිරි මහතාගේ බාල දියණිය වූ ජනනි මධුෂානි සිය පියාගේ වියෝව ගැන කම්පිතව කතා කළාය.

අපේ තාත්තා, අක්කටයි මටයි හරිම ආදරෙයි. මොන වැඩ තිබ්බත් අක්කයි මායි මොනව හරි කිව්වොත් තාත්තා ඒ දේ කරලා දෙනවා. තාත්තාට හොඳට වඩුවැඩ පුළුවන්. ඒ වගේම ඕන කෙනෙකුට තාත්තා උදව් අවශ්ය නම් කරලා දෙනවා. අපි කතෝලික. මළවුන්ගේ දිනය දා අපේ තාත්ත කනත්තට ගිය වෙලාවෙ නැන්දත් එක්ක කියල තිබ්බා “රටේ වසංගතය නිසා මිනිස්සු නැති වෙනවා. අනතුරු හරියට. මේවයින් බේරිලා ලබන අවුරුද්දේ මළවුන් සිහි කරන දිනයේ දී කන්න ලැබෙයිද කියන්න දන්නෙත් නෑ ” කියලා. ඒත් කවුද හිතුවේ අපේ තාත්තා මේ තරම් ඉක්මනට අපිව දාලා යයි කියලා.”

අපි ඇය තවදුරටත් වෙහෙස නොකළෙමු. ඒ ඇය පියාගේ වියෝවෙන් දැඩි ශෝකයෙන් සිටි බැවිනි. අමරසිරි මහතාගේ නැන්දණිය සැලීනා ද සිල්වා සිය බෑණනුවන්ට සැලකුවේ සිය පුතෙකුටත් වැඩි සෙනෙහසකිනි. දරු පවුලක් අනාථ වී සිටීම ගැන එම දරු පවුලේ අනාගතය ගැන ඇයට ද ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. අමරසිරිගේ බිරිඳ කුසුම් මනෝජි ආදර සැමියාගේ වියෝවෙන් කම්පිතව සිටී. 

“එයා මටයි දූලා දෙන්නටයි කන්ඩ බොන්ඩ දීලා අපිට හොඳට සැලකුවා. අපේ පවුල ජීවත් වුණේ හරිම සතුටින් අපේ සතුට සදාකාලික ශෝකයක් වෙන්න ගියෙ පොඩි වෙලාවයි. ගෑස් සිලින්ඩරයක් ගේන්න ගිය මගේ මහත්තයට මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ. එයත් එක්ක ගිය දිනිදු දැන් ඉන්නේ ජීවිතයත් ම ර ණ ය ත් අතර සටනක. එයාගෙ හිසට තුවාල වෙලා. කකුල් අතපය කැඩිලා. තාම සිහියත් නෑ. ඇයි දෙයියනේ අපිට මෙහෙම දෙයක් වුණේ. වැඩිහිටියෝ තමන්ගේ ළමයි කරන කියන දේවල් ගැන මීට වඩා අවදානයෙන් ඉන්න ඕන නේද. රියදුරු බලපත්රයක් වත් නැති දරුවෙකුට මෙච්චර ලොකු වාහනයක් එලවන්න දුන්නේ ඇයි ? එහෙම නොවුනා නම් අපි තාමත් සතුටින් නේද ? මම දුවලා දෙන්නත් එක්ක දැන් මේ ලෝකෙ තනිවෙලා.” 

වින්දිත පාර්ශවය වෙනුවෙන් වත්තල මහේස්ත්රාත් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ චන්න ගුණවර්ධන මහතා හා කතා කරන්නට අපට අවස්ථාවක් ලැබුණි. 

” ඇත්තටම මෙය මෝටර් රථ ආඥා පනතට අනුව සිදු වූ වරදට එහා ගිය දෙයක්. පොල්ගහවෙල බස්රථ දුම්රිය අනතුරට ප්රියන්ත ප්රනාන්දු මහාධිකරණ විනිසුරු රියදුරුට දුන්නෙ මනුෂ්ය ඝා ත න ය ක් සිදු කළා යැයි සලකා නඩු තීන්දුවකුයි. මේ අනතුරත් ඒ වගේ එකක්. මේ රටේ වයස අවුරුදු 18 ට අඩු අයෙකුට රියදුරු බලපත්රයක් ලබා නොදෙන්නේ බරපතල අනතුරක් එවැනි අයෙකු අතින් සිදුවිය හැකියි කියන නිගමනය නිසයි. නමුත් මේ අනතුර සිදු කළ ශිෂ්යා වයස අවුරුදු 16ක කෙනෙක්. ඔහුගේ වැඩිහිටියන් මත විශාල වරදක් පැටවෙනවා මෙවැනි බාලවයස්කරුවෙකු අතට මෙතරම් වාහනයක් ලබාදීම සම්බන්ධයෙන්. මේක නොසැලකිලිමත්කමට එහා ගිය දෙයක්. අධිකරණයේදී කරුණු අනාවරණය වෙලා තියෙනවා මේ ශිෂ්යයා මීට පෙරත් මෙම වාහනය මහා මාර්ගයේ ධාවනය කෙරුවා කියලා. ඒක නිසා ඔහුගේ වැඩිහිටියන්ට මේ චෝදනා වලින් ගැලවෙන්න බෑ. මේ වන විට රථය පැදවූ ශිෂ්යයාගේ පියාත් අධිකරණයේ චෝදනා ලබල රිමාන්ඩ් භාරයට පත්වෙලා තියෙනවා.” 

සිය දිවි ගමන රිය අනතුරක් නිසා නතර කළ අමරසිරිගේ දේහය පෙරේදා (07) නෑ සිය හිත මිතුරු සෝ සුසුම් මැද නාගොඩ රෝමානු කතෝලික සුසාන භූමියේ දී මිහිදන් කෙරුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්