Feb
27

විවාහවෙන්න ඕනැමයි කියලා අදහසක් නෑ

 
732 Views
   
No-idea-who-wants-to-get-married  

බිම්සරා ප්‍රේමරත්න නමැති මේ ශිල්පිනිය මෙරට නාට්‍ය වේදිකාවේ ඉංග්‍රීසි සිංහල නාට්‍ය නිර්මාණ අංශ ද්විත්වයටම දායකත්වය ලබාදෙන අපූරු දක්ෂතා ඇති චරිතයකි. නාට්‍ය වේදිකාව, සිනමාව, ටෙලි නිර්මාණ, හඬ කැවීම් ඇතුළු මේ සියලු අංශවලට දායකත්වය ලබා දෙන හරි අපූරු කාන්තා ශිල්පිනියක ලෙස හැඳින්වීමට වඩා හොඳය. මේ වැඩ සියල්ලට අමතරව අධ්‍යාපනයෙන් විවිධ අංශ ස්පර්ශ කරමින් මනස පුරවාගත් සහ තව තවත් නුවණින් ජීවිතය පුරවා ගන්නට උත්සාහ කරන චරිතයක් ලෙස බිම්සරා හැඳින්වීමට හැකිය. පියාඹන මූනිස්සම් නාට්‍යයේ ශාඛ්‍ය ඇමතිගේ බිරිඳ සඳගෝමරී නොහොත් සදා ලෙස මේ දිනවල බිම්සරා අප හමුවට පැමිණෙන්නීය. මේ පිළිසඳර දක්ෂතාවයෙන් සහ බුද්ධියෙන් හැඩකාර වූ බිම්සරා ප්‍රේමරත්න සමගයි.

බිම්සරා ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ආවේ ආනන්ද අබේනායකගේ අප්පච්චි ටෙලි නාට්‍යයෙන්. එතැන් සිට හැඳින්වීමක් කළොත්.

එයින් පසුව මේ දක්වා ටෙලිනාට්‍ය කීපයකටම සම්බන්ධ වුණා. ඒත් මේ දක්වා විකාශය වෙලා තියෙන්නේ ආනන්ද අබේනායකගෙම බැද්දේ කුලවම්ය සහ දැන් විකාශය කෙරෙන අනුරුද්ධ ජයසිංහගෙ පියාඹන මූනිස්සම් විතරයි.

රඟපෑ චිත්‍රපට අතරින්?

තිරගත වෙලා තියෙන්නේ චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කළ එකෝර්ඩින් ටු මැතිව් According to metthew චිත්‍රපටය. තව ඉදිරියේ දී වැඩ ඉවර කරන්න නිර්මාණ දෙකක් විතර තියෙනවා.

බිම්සරා එක් විෂයයකට සීමා නොවූ චරිතයක් අපි ඒ ගැන කියමු.

අධ්‍යාපන අංශයෙන් මම හැදෑරුවේ ඉංජිනේරු විෂයය. මුල්ම උපාධිය ඒක. ඉන් පස්සේ ජාත්‍යන්තර සබඳතා නීතිය ගැන හැදෑරුවා. ශාස්ත්‍රිපති උපාධිය ඒ අංශයෙන් ලබා ගත්තා.

කලා ක්ෂේත්‍රයට එන්නේ

අධ්‍යාපනයට සමගාමීව කුඩා කාලයේදීම වගේ කලාවට සම්බන්ධ වුණේ.

බිම්සරා හැදී වැඩුණෙත් කොළඹ ද?

කොළඹම තමයි, ඉගෙන ගත්තේ. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ආච්චිලාගෙ සීයලගේ ගෙවල් තියෙන්නේ හෝමාගම.

බිම්සරා විතර ද නම ?

ප්‍රසාදි කියලා තව මැද නමක් තියෙනවා. ඒත් භාවිත වෙන්නේ බිම්සරා ප්‍රේමරත්න කියලයි.

බිම්සරා එක්තරා විදියක පැකේජයක් කිව්වොත් හරි ? පුළුවන් මොනවද කියලා අහනවට වඩා බැරි මොනව ද කියලා කිව්වොත් හරි. මොකද හිතන්නේ?

විවිධ විෂයයන් හදාරන්න ආසයි සහ හැදෑරීමට පෙළෙඹෙනවා. ඒක මගේ කැමැත්ත. මෑතක සිට මම බටහිර වෛද්‍ය විද්‍යා අංශය නොවන වෛද්‍ය අංශයේ විෂයයන් හදාරන්න පෙළැඹී සිටිනවා. මේ සියලු දේ නිසා තමයි නිතරම වගේ කලාවේ දකින්න නැත්තෙත්.

ප්‍රධාන වෘත්තිය මොකක්ද?

කලාව තමයි. හඬ කැවීම් ශිල්පිනියක ලෙස රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් වලටත් වෙළඳ දැන්වීම් වලටත් දායක වෙනවා. ප්‍රකට දැන්වීම් රැසකම වගේ හඬ අහන්න පුළුවනි.

බිම්බාදේවි නොහොත් යසෝදරා, චිත්‍රපටයේ හැඳින්වීමේ කොටස් වලට හඬ කැවීම් කළා. හැබැයි මම එහි රඟපෑවේ නැහැ.

කොහොම වුණත්, බිම්සරා කියන්නේ අමුතු හඬක්, අමුතු හැඩයක් අමුතු විදියක් තියෙන ශිල්පිනියක් කිව්වොත් වඩා නිවැරදියි නේද?

ඒක හරි. මම හිතන්නේ අපි හැමෝටම තම තමුන්ට ආවේනික හැඩයක් තියෙනවා. කලා ක්ෂේත්‍රයට ආවාම බාහිර සමාජයේ දී සිටිය යුතු විදිය ගැන සමහර වෙලාවට සමහර අය විදියක් හදාගන්නවා. මම පුද්ගලිකව උත්සාහ ගන්නේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහටම ගත කරන්නයි. චරිතයක් ලැබුණාම ඒ චරිතයට අනුගත වෙනවා. රසික රසිකාවියන්ට මම ගරු කරනවා. ආදරය කරනවා. හැබැයි එක්තරා සීමාවක ඉන්න මම කැමතියි. එතකොට චරිතය කරන්න මට පහසුයි. ඕනෑවට වඩා එයාලට ළං වුණොත් නිතරම දන්නා හඳුනන චරිතයක් වුණොත් ඔවුන්ට මම සහ ඒ චරිතය වෙන්කර ගන්න බැරි වේවි. ඒ නිසා මම හිතන විදියට මගේ ක්‍රමයේ දී අප කරන චරිත එක්ක එයාලට වඩා සමීප වෙන්න පුළුවන් වේවි.

මෑතක දී බිම්සරා වේදිකාවේ දායක වූ නාට්‍ය චරිත මොනවා ද?

රාජිත දිසානායකගෙ නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ වත්සලාගේ චරිතය රඟපෑවා. ඉංග්‍රීසි වේදිකාවේ දි, ලොක් ඩවුන් වෙන්න කලින්, 2020 මැයි වල දී මමම නාට්‍යයක් කළා. ඒත් පැවැති තත්ත්වය එක්ක අතරමගදී නිර්මාණ කටයුතු නතර වුණා. මේ වසරේ අග ඒ නාට්‍ය නැවත නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ.

අපි එමු පියාඹන මූණිස්සම් නාට්‍යයේ චරිතයට?

සඳගෝමරි කියන්නේ මතුපිටින් සරලව පෙනුනට සංකීර්ණ චරිතයක්. සඳගෝමරී උඩුවේතැන්න කියන්නේ උඩරට රදල වගේ සම්ප්‍රදායික පවුලකින් පැවැත එන කෙනෙක්.

ඇය කුඩා කාලයේ දී හැඳී වැඩු​ණෙ පිටරටක. විවිධ හේතු එක්ක එයාගේ ප්‍රතිචාර වෙනස් වෙන්නේ. අභ්‍යන්තරයේ ඇති දෙයක් නිසයි. එයා විවාහ වෙන්නේ වයසින් ටිකක් මුහු කුරා ගිය කාලයක දී. ඇමතිවරයෙක් එක්ක විවාහ වෙන්නේ. යෝජනාවකින් කසාඳ බැන්ඳ දෙන්නෙක්. මතුපිටින් පෙනෙන දේ නෙවෙයි ඒ චරිතය ඇතුලාන්තයෙන් එන්නේ.

බිම්සරාගේ පුද්ගලික ජීවිතය මොන වගේ ද?

මම මගේ ගැන කිව්වොත් තවම අවිවාහකයි. විවාහයට කෙනෙක් තෝරා ගෙනත් නැහැ. විවාහ වෙන්න ඕනෑමයි කියලා අදහසකුත් නැහැ. විවාහය කියන මාතෘකාවේ දී මම තරමක් උදාසීනව සිටින කෙනෙක්.

විවාහය ආදරය ගැන පුද්ගලිකව හිතන්නේ කොහොම ද?

කෙනෙක්ට තමන්ට ආදරය කරන හෝ තමුන් ආදරය කරන කෙනෙක් ඉන්නම ඕනෑ. හිටියොත් හොඳයි ජීවිතය බෙදා ගන්න කෙනෙක් අවශ්‍යයි. තනියම සිටිය යුතුත් නැහැ. ඒත් ඒක විවාහය කියලා පුද්ගලයකු තෝරා ගැනීමට වඩා තමුන්ට පවුලේ අයත් එක්කත් ආදරයෙන් ගත කරන්න පුළුවනි. හිතමිත්‍රයන් ළඟින් ඇසුරු කරන අය එක්ක ජීවිතය අදහස් බෙදා හදා ගන්නවා නම් කසාදයක් කියන දේ අත්‍යාවශ්‍යම දෙයක් නෙමෙයි.

කසාදය හොඳයි, පුද්ගලිකව ගත්තොත් මම වගේ කෙනෙකුට විවාහය කියන දේ ටිකක් අමාරු වේවි. මොකද මම කරන කියන නියැලෙන දේ සහ මගේ කටයුතු එක්ක වැඩ එක්කම ඉන්න කෙනෙක්. කසාදයක් කියන්නේ ලොකු අවබෝධයක් එක්ක කළ යුතු දෙයක්. ඒ කසාදයේ දී අනෙක් කෙනා වෙනුවෙන් සහ ජීවිතය වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න ඕනෑ. හරි දැන් අපි කසාඳ බැන්දා ඒක ඉවරයි කියලා එතැනින් එහාට අත්හැරලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පවත්වාගෙන යන්න මහන්සි වෙන්න ඕනෑ. ඒ නිසා ඒකට යොදන කාලය වෙනත් විෂයයකට යොදවන්න ආසයි. පිළිකා රෝගය වෙනුවෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් යම්කිසි දෙයක් ඉදිරියේ දී කරන්නත් අරමුණක් තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා.

මොකක්ද හේතුව

මගේ ඉතාම ළඟම කෙනෙක් පිළිකා රෝගය නිසා මිය ගියා. ඉතින් ඒ වගේ දේ එක්ක මෙතෙක් මම උගත් දේ සමඟ ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්නවා. ඒ විදියට මම ඉදිරියේ දී හිතාගෙන ඉන්න දේ කරන්න නම් මේ විදිහට ඉන්න එක විවාහ වෙනවාට වඩා හොඳයි. හැබැයි එහෙමයි කියලා විවාහ නොවී ඉන්න කියලා මම කාටවත් කියන්නෙත් නැහැ. නමුත් විවාහය කියන්නේ දරුවෝ ඉන්නවා කියන්නේ පවුල් ජීවිතය කියන්නේ සුන්දර දෙයක්. එහෙම වෙන්න නම් ඊට කැපවිය යුතුමයි. ඒ කැපවීම කරලා විවාහ ජීවිතය සාර්ථකව ගත කරන අය ගැන මට තියෙන්නේ ගෞරවයක්.

බිම්සරා විවිධ විෂයයන් වෙතින් පෝෂණය වී සිටින ඔබ දේශපාලනයට සුදුසු චරිතයක් බවයි පෙනෙන්නේ.

මම කොහොමටවත් යම්කිසි විදියකට සමාජ දේශපාලනයක නියැලී සිටින කෙනෙක්. එහෙමයි කියලා ඡන්ද මත පදනම් වූ දේශපාලනයත් සහ ඒ ස්වභාවය එක්ක පාර්ලිමේන්තු යාමේ දේශපාලනයක් මට අවශ්‍ය නැහැ. කොහොම වුණත් ඔබ අහපු ප්‍රශ්නයට නැහැ සහ ඔව් කියලා කියන්න පුළුවනි. සමාජයේ අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලනයේ යෙදෙන බව මගේ හැඟීමයි.

සමාජය දැනුම්වත් කරන වැඩ වලදී සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදීත් සම්බන්ධ වේවි. විවෘත මනසකින් බලලා ඒ විදියට ඒවා සිද්ධ වේවි.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්