May
29

දේශපාලනයට සම්බන්ධ වෙන්න තරම් මට ඒ ගැන දැනුමක් නැහැ. ඒ වගේම අත්දැකීමක් නැහැ.

 
651 Views
   
I-do-not-know-enough-to-get-involved-in-politics.-And-no-experience.  

අමිලට පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලයටද? ඇයි ඒ?

එක කාලයක මම දුර පැනීමේ මලල ක්‍රීඩා ඉසව්වෙන් බොහෝ ජයග්‍රහණ ලබපු කාලයක් තිබුණා. එතකොට මම හය වසර පන්තියේ හිටියේ. බොහෝ විට තනියම පුහුණුවීම් කරලා ගොඩක් මහන්සි වුණා. මම දුර පැනීමේ ඉසව්වෙන් සමස්ත ලංකා තරගයෙන් වාර්තාවකුත් අතැතිව ජයග්‍රහණ ලබාගත්තා. ඒ නිසාම පාසලේදි බොහෝ දෙනෙක්ගේ ආදරයත් එක්ක ජනප්‍රිය චරිතයක් වුණා. මලල ක්‍රීඩා ඉසව් පුහුණුවීම් කළේ මගේ මුල්ම පාසල වුණු කළුතර මහ විදුහලෙයි. ඒකෙන් ලබපු ජයග්‍රහණත් එක්ක මට කොළඹ නාලන්දා විදුහලට එන්න අවස්ථාව ලැබුණා. මම බෝඩිම් වෙලයි පුහුණුවීම් කළේ. මගේ ගෙදර කළුතර නාගොඩ. ගෙදර ආවමත් ගමේ යාළුවෝ එක්ක එල්ලෙ ගැහුවා. මැරතන් දිව්වා. ඒ වගේ සුන්දර කාලයකට ආයෙත් යන්න ආසයි.

නොහිතපු මොහොතක කලා ක්ෂේත්‍රයෙන් ඔයාව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

සමහර වෙලාවට හිතාගෙන හිටපු වෙලාවටත් අපිව ප්‍රතික්ෂේප වෙන එකේ නොහිතපු මොහොතක ප්‍රතික්ෂේප වීම ගැන මම ඒ තරම් හිතන්නෙ නැහැ. ඕනෑම දේකදි අපි ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා. අපි හැමවෙලේම දිනන්නෙ නැහැ. ඒ නිසා නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් මාව ප්‍රතික්ෂේප වුණත් මම ඒක ඒ තරම් හිතන්නෙ නැහැ. එහෙම මාව ප්‍රතික්ෂේප වෙන්න හේතුව වුණේ මගේ යම් අඩුපාඩුවක් නම් මම ඒක හදාගන්න උපරිම උත්සාහ කරනවා. මම මේ කලා ක්ෂේත්‍රයට හරි ආදරය කරන කෙනෙක්. ඒ නිසා අඩුපාඩු හදාගෙන ආයෙත් මම කලා ක්ෂේත්‍රයට එකතු වේවි.

නොකරපු වරදකට ඔබට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත්?

එහෙම දඬුවමක් ලැබුණොත් ‘මම නෙමෙයි මේකෙ වැරදිකාරයා’ කියලා කිය කියා හඬා වැටෙන්න මම ලොකුවට මහන්සි වෙන්නෙ නැහැ. මම ආත්ම විශ්වාසය තියාගෙන ඉන්න කෙනෙක්. කවුරුන් හෝ වරදක් කළොත් ඒකට කවදා හෝ කෙසේ හෝ දඬුවම් විඳින්න වෙන බව මම විශ්වාස කරනවා. නොකළ වරදකට දඬුවම් ලැබුණොත් ඒක මට විඳින්න වේවි. හැබැයි කවදා හරි ඒකට ඒ අයට දුක් විඳින්න වේවි. සොබාදහමෙන්ම මාව දවසක නිවැරදිකරු කරාවි.

දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් සහ අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත්?

ඇත්තටම එහෙම ආරාධනාවක් ලැබුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරාවි. දේශපාලනයට සම්බන්ධ වෙන්න තරම් මට ඒ ගැන දැනුමක් නැහැ. ඒ වගේම අත්දැකීමක් නැහැ. මම හැම මොහොතකම ජනතාවගේ පැත්තෙ ඉන්න, ජනතාවට උදව් කරන්න කැමති කෙනෙක්. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න කැමති කෙනෙක්. ඒ වෙනුවෙන් දේශපාලනය කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

හිතපු නැති මොහොතක කෝටි ගණනක විශාල ලොතරුයියක් ඇදෙනවා. එහෙම වුණොත්?

මේ දවස්වල ආර්ථික ප්‍රශ්න බහුලව තියෙන කාලයක්. ඒ නිසා කොටි ගණනක ලොතරුයියක් ඇදුණොත් ජීවිතේ කර ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා එහෙම එකක් ඇදුණොත් කොහොම හරි මම ටිකක් තනිවෙන්න බලාවි. එහෙම නැත්නම් කවුරුත් නැති තැනකට ගිහින් මම ලොකු සතුටකින් එහෙ මෙහෙ දුවමින් කෑ ගසාවි. සමහරවිට මට ඇඬේවි. මට පවුලක් තියෙනවා. මම තනියම ගොඩක් මහන්සි වෙන කෙනෙක්. මගේම කියලා පොඩි ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා ලොතරුයියක් ඇදුණොත් ඒක මාරයි.

ජීවිතේ වෙච්චි එක්තරා සිදුවීමක් අමතක කරන්න අමිලට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්නෙ?

මම ජීවිතේ වෙච්චි ප්‍රශ්න, වැරදුණු තැන් මතක් කරමින් ඉන්නෙ නැහැ. ඒ තුළින් මම ඉස්සරහට යන කෙනෙක්. ඒ නිසා මම පරාජය වුණු, අහිමි වුණු තැන්, අමතක කරනවා.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නෙ?

මේ කාලයේදි රංගන ශිල්පියෙක් විදිහට වැඩ කළාට මම ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරනවා. මම වෘත්තියෙන් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. ඒකත් කලාවට සම්බන්ධයි. මම ගොඩනැගිලි නිර්මාණ කලාවටත් හරි කැමති කෙනෙක්. මගේ හිත හැම මොහොතකම කලාත්මක නිර්මාණ දිහාට නැඹුරු වෙනවා. කාලයක් මම මෝස්තර නිරෑපණ ශිල්පියෙක් විදිහටත් කටයුතු කළා. මගේ හිත හැම මොහොතකම කලාවට සම්බන්ධ දේවල් එක්ක බැඳිලා තියෙනවා.

ඉතා හොඳ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ නිර්මාණයක හොඳ චරිතයකට අමිලට ආරාධනා ලැබෙනවා. හැබැයි අඩු ගෙවීමක් යටතේ. එහෙම වුණොත්? 

එහෙම ආරාධනාවක් ලැබුණොත් මම බාරගන්නවා. මම මුදල්වලට වඩා නිර්මාණවලට කැමතියි. හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසයි. මගේ හැකියාව මත අධ්‍යක්ෂකවරයා මාව නිර්මාණවලට සම්බන්ධ කර ගනීවි. අපි යම් දෙයකට උනන්දුව ඇතිව, කැපවීමෙන් අපේ දායකත්වය ලබා දුන්නොත් ඒ නිර්මාණය ඇතුළේදි පමණක් නෙමේ කොහේදි කොතනකදි හෝ එයට වටිනාකමක් ආපිට ලැබෙන බව මම විශ්වාස කරනවා.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

මම චිත්‍රපටවලට හරි ආසයි. චිත්‍රපටයක් බලද්දි ඒක අධ්‍යක්ෂණය කරන විදිහ ගැන මම බලනවා. මම විදෙස් චිත්‍රපටවලට ගොඩක් කැමතියි. මම කැමති අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. හැබැයි මට අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් සුදුසුකම් තියෙනවා කියලා මම තවම විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා මට යම් නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණොත් ලංකාවේ ඉන්න මම කැමති අධ්‍යක්ෂවරයෙක්ට මම ඒ වැඩේ බාරදීලා මම ඔහු යටතේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කරාවි. මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ආසයි.

මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉතා හොඳ රැකියාවකට, ඉතා හොඳ වැටුපකට, ඉතා හොඳ රටකට යන්න අමිලට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

එහෙම වුණොත් නම් මම යනවා. මම ලංකාව දාලා යන්න ආසා නැහැ. හැබැයි පවතින තත්ත්වයත් එක්ක එහෙම හොඳ අවස්ථාවක් ලැබුණොත් මම ගිහින් ආයෙත් ලංකාවට ඒවි.

දිශානි

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්