Mar
5

දුන්න සම්මානයක් එපා කියූ කළණ

 
1932 Views
   
Those-who-said-no-to-a-given-award  

ජීවිතය යහපත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහාත් අප සතුව ඇති යුතුකම්, වගකීම් ඉටුකිරීම උදෙසාත් යම් වෘත්තියක යෙදීමට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අපට සිදුවේ. එ්තුළ බොහෝ විට අපට කඩාවැටීම්, බිඳවැටීම් සිදුවීම අහඹුවක් නොවේ. ඒ හමුවේ ඇතිවන විවිධ කලකිරීම් ඔස්සේ අපට ආශාවෙන් උනන්දුවෙන් අප තෝරාගත් වෘත්තිය, ව්‍යාපාරය අතහැර දැමීමට සිදුවීමද විය හැකිය. එහෙත් ඒ සියල්ල අපට මුහුණදීමට සිදුවන අභියෝග පමණකැයි සිතා ඒවාට මුහුණදීමට අපට හැකි නම් අප තුළින් අදාළ වෘත්තියට, ව්‍යාපාරයට මෙලොව සිටින දක්ෂතම මිනිසා අවදි කර ගැනීමට හැකිවනු ඇත. කලකිරීම්, වේදනාවන් සමඟ ගැටෙන අප වටා ලෝකයෙහි ඒවා එසැණින් අමතක කර ඊළඟ මොහොතට යාමට අපට හැකි නම් අපි සැබෑ ලෙසම ජය ලැබූවෝ වෙමු. යථාර්ථය තුළ අපගේ පැවැත්ම වඩා සොඳුරු ද වනු ඇත.

අද අප හමුවන ඔහුට තම දෙමව්පියන් දුන් නමට වඩා වෘත්තිය තුළින් හිමිවූතාවයන් භාවිත කරමින් අමතන්නෝ බහුල වෙති. ප්‍රියන්ත මහඋල්පතගම, සුන්නා, එසේත් නොමැතිනම් ප්‍රිමාල් ලෙස අප කාගෙත් හිතට වඩාත් සමීප වූ රංගන ශිල්පී කළණ ගුණසේකර නම් වූ ඔහුගේ කතාව මෙවර හදසර My Story තුළින් ඔබට කියවීමට ඉඩකඩ හිමි වේ.

පිළියන්දල සහ කෝරළඉම අතර ඇති නගරයට මෙන්ම ගමටද නෑකම් කියන වෙනිවැල්කොළ ඔහු උපන් ග්‍රාමයයි. පිළියන්දල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාව සම්බන්ධ ඩිප්ලෝමාවක් හිමිකරගත් අතර පූනා චිත්‍රපට හා ටෙලිනාට්‍ය ආයතනයෙන්ද තම දැනුම තර කර ගත්තෙකි. රජයේ සේවකයන් වූ කළණගේ දෙමව්පියෝ, ඔහු රංගනය තෝරාගැනීම ගැන එතරම් කැමැත්තක් නොදැක්වූහ. පියා කාර්මික අභ්‍යාස ආයතනයේ සේවය කළ අතර මව මහවැලියේ සේවය කළාය. කළණට බාල සහෝදරයකු සිටින අතර මේ වනවිට පියා ජීවතුන් අතර නොමැත.

පාසල් වේදිකාවෙන් රංගනයට අවතීර්ණ වූ ඔහු මුතුහර ළමා සමාජය ඔස්සේ ද තම දක්ෂතා ඔප්නංවා ගත්තෙකි. පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයකු වූ කළණ දක්ෂ කථිකයෙක් ද විය. ඒ ඔස්සේ ඔහුට බොහෝ අත්දැකීම් ලබන්නට හැකි විය. ඔහු පාසල් කාලයේදීම යෞවන සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කළ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වූ අතර අද දක්වාම සාර්ථක රංගන ගමනකට එය ආශිර්වාදයක් විය.

උදය නිපුණආරච්චි සහ නෙරංජන් චන්ද්‍රාදිත්‍ය ආදීහු ඒ ගමනේදී ඔහුට සවියක් වූහ. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ප්‍රේමකුමාර කරුණාරත්න මහතා රංගනය හැදෑරීම සඳහා ඔහුට හමුවූ තවත් එක් සුවිශේෂ ගුරුවරයෙක් විය. ඉන් පසු ධර්මප්‍රිය ඩයස් සමඟින් එක්වූ ඔහු වේදිකා කළමනාකරණ කටයුතු වෙනුවෙන් එක්වූ අතර සරත් කොතලාවලගේ සූකරයෙක් සමඟ නාට්‍ය ඉන් එකකි. රුවන් මලිත් පීරිස් සමඟින් එක්ව නාට්‍යයක් අධ්‍යක්ෂණයට යොමු වූයේ ඉන් අනතුරුවය. එය දාස මල්ලිගෙ බංගලාව නම් වූ අතර යෞවන සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතක් දිනාගැනීමට එයට හැකි විය.

පාසල් කාලයේ සිටම මිතුරන් සමඟ අලුත් අලුත් දේ අත්හදා බලන්නට යොමු වූ කළණ තම යහළුවන් සමඟ එක්ව අපූරු වික්‍රමයක් සැලසුම් කළේ හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීය. රෑපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් නැරඹූ මේ කුඩා කොලුගැටයන් පිරිස දුනු ඊතල ආදිය සකසා ගනිමින් දින ගණනක් පුරා එම වික්‍රමය සැලසුම් කළ අතර සියලු අවි ආයුධ සකසාගෙන අවසානයේ ඔවුන් බලාපොරොත්තු වූයේ යාල අභයභූමියේ සංචාරයක් යාමටය.

එහෙත් මිතුරන් පිරිස අතරේ සිටි එක් මිත්‍රයකු මේ වග පාසලේ ගුරුතුමෙකුට දැන්වූ අතර ගමන එතැනින්ම හමාර විය. දෙමව්පියන් පාසලට කැඳවූ අතර සැලසුම් කළ වික්‍රමය අවසානයේ හොඳ හැටි දඬුවම් ලබන්නට ඔවුනට සිදුවිය.

ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් අතර ප්‍රේක්ෂක මෙන්ම විචාරක ඇගයීමද නිරන්තරයෙන් ලබන කළණ තමන් බාරගන්නා ඕනෑම චරිතයක් වෙනුවෙන් දැඩිව කැපවෙන ශිල්පියෙකි. මෙගා නාට්‍ය සඳහා ඔහු සහභාගි නොවීමට ප්‍රධානතම හේතුවද එයයි. දීර්ඝකාලීනව එක් චරිතයකට කොටුවීම තුළ අනෙකුත් නාට්‍යවල විවිධ චරිත සඳහා කැපවෙන්නට නොහැකිවීම නිසා ඒවායෙන් තමන් තරමක් දුරස් බව ඔහු පවසයි.

 

මේ දිනවල ඔහු අප හමුවන පොදූ නාට්‍ය බාරගැනීමත් සමඟ තවත් ටෙලිනාට්‍ය දහසයක් තමන්ට ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව ඔහු පවසයි. මුලින්ම වේදිකාවට පෙම් කළ කළණ රෑප රචනා අධ්‍යක්ෂණය කටයුතු සඳහා ද සම්බන්ධ විය. යෞවන සම්මාන උළෙලේදී යළි ඔහු සම්මානිත වූයේ හොඳම නළුවා ලෙසය. ඒ නාමල් ජයසිංහ හා ප්‍රසන්න මහගමගේ නිර්මාණය කළ ග්ලැඩියේටර් ප්‍රේමය වෙනුවෙනි. මේ කාලයේදීම ඔහුට බහුචිතවාදියා වෙනුවෙන් ආරාධනාවක් ලැබුණු අතර ආනන්ද අබේනායක නිර්මාණය කළ පොහොය නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක විය. ඉන් අනතුරුව ආනන්ද අබේනායක නිර්මාණය කළ මේ වසන්ත කාලයයි සමඟ කළණ ගුණසේකරට ටෙලිනාට්‍ය වසන්තය උදා විය. ගිනිඅවි සහ ගිනිකෙළි හි සුන්නා ලෙසද, කූඹියෝ හි ප්‍රියන්ත මහඋල්පතගම ලෙසද, පොදූ හි ප්‍රිමාල් ලෙසද ඔහු ප්‍රේක්ෂක මතකයෙහි නොමැකෙන ලෙස රුඳෙන්නට සමත් විය.

රංගන ශිල්පියකු ලෙස චිත්‍රපට කරළියේද තම දක්ෂතා දැක්වූ ඔහු විය සිදුර ඔස්සේ ජාත්‍යන්තර සම්මාන මෙරටට හිමිකර දීමට සමත් විය. අයිස්ක්‍රීම්, ඉක්කා, සුස්ති, මංකි මෑන් ආදී නිර්මාණ ඔස්සේ ඔහු පිටපත් රචකයකු බවට ද පත්වූ අතර හැපි වෙඩින්ග් මචං ඔහු අත තාමත් රැඳී ඇති නිර්මාණයක් යොදා නොගත් පිටපතකි. රචකයකු ලෙස ඔහුගේ භූමිකාවද ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්වූවකි.

රංගන ශිල්පියකු වීම, අවස්ථා ලබාගැනීම ආදිය පහසු විය හැකිය. එහෙත් ඒ තුළ රැඳී සිටින්නට නම් දැඩි කැපවීමක් හැදෑරීමක් අවශ්‍යය. එසේ සාර්ථක පදනමක් මත පියවර තබා යා හැකි නම් රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂක ආදරය ලබාගැනීම ඉතා පහසුවෙන් සිදුවනු ඇත. කළණ එසේ හැදෑරීම් සහ අත්දැකීම් ලබමින් ඒ ඔස්සේ ඉදිරියට යන රංගන ශිල්පියකු ලෙස සම්මාන ලැබූ රංගවේදියෙකි. කූඹියෝ, අඩෝ, හුස්ම සහ ඔක්සිජන් ආදියේ රංගනයන් වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලැබූ ඔහු වරෙක දැඩි කතාබහකට ලක්වූයේ සම්මානයක් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ නිසාය. ඒ හොඳම නැගී එන නළුවා සම්මානයයි. ඒ වනවිට ඔහු රංගන ක්ෂේත්‍රයේ යම් දුරක් පැමිණ තිබූ අතර ඒ වෙනුවෙන් නිර්දේශිත අනිකුත් ශිල්පීන්ට ඒ අවස්ථාව ලබාදීම වඩා සුදුසු බව පවසමින් ඔහු සම්මානය ප්‍රතික්ෂේප කළේය. කෙනකු එතරම් පරිත්‍යාගශීලී වීමද සමහරවිට පුදුමය දනවන කරුණකි. ඉදිරියේදී ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 12ක් පමණ තිරගත වීමට නියමිතය. ලැබෙන සෑම නිර්මාණයක්ම බාර නොගෙන නිර්මාණ තෝරා බේරා ගනිමින් රංගනයේ යෙදෙන ඔහු අනාගතයේද තම ආදරණීය ප්‍රේක්ෂකයා වෙත රසවත් හරවත් බොහෝ දේ තිළිණ කරනු ඇත.

ප්‍රේක්ෂකයන් තම පෞද්ගලික ජීවිතය රසවිඳීම, විමර්ශනය කිරීම වෙනුවට තමා ලියන දේ තුළ බොහෝ දේ රසවිඳිය හැකි වග ඔහු පවසයි. ප්‍රේමණීය සරාගිනිය නවකතාව සහ මූසිලය කාව්‍ය ග්‍රන්ථය ඔස්සේ කළණ ගුණසේකර නම් මිනිසා කියවීමට, හඳුනා ගැනීමට ඔහු ආරාධනා කරයි. සුදුත් නොවන කළුත් නොවන චරිත අතරේ තමා වඩාත් විශේෂ යැයි හඳුන්වා දෙන්නට, තමා සතු දේ පිළිබඳව උදම් අනන්නට නොනැවතී තමා කරන කියන දේ තුළින් තමාව හඳුන්වා දෙන්නට උත්සාහ ගැනීම වඩා අගනේය. තවත් අපූරු නිර්මාණ ඔස්සේ ජනහද දිනන්නට හදසර අපි කළණ ගුණසේකරට සුබ පැතුම් එක් කරන්නෙමු.

මොනිකා සේරසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්