අපේ රටේ වෘත්තීය සමිතිවලට සැලකිය යුතු ඉතිහාසයක් තිබේ. එලෙසම අපේ වෘත්තීය සමිතිවල පැරණි නායකයන් බාල දේශපාලනයට යටත් නොවූ බුද්ධිමත් සමාජ ක්රියාධරයන් සේ සැලකිය හැකිය. ඔවුන් තීන්දු-තීරණ ගත්තේ මහජනයා අපහසුවට පත් නොවන ආකාරයෙන්ය. ඔවුන්ගේ තව විශේෂත්වයක් වූයේ වැඩ වර්ජනය හා විරෝධතා පෙළපාලි දැක්වීම අවසන් තුරුම්පුව ලෙස පවත්වාගෙන යෑමය.
එදා වෘත්තීය සමිති නායකයන් වැඩවර්ජනය විහිළුවක් බවට පත් කළේ නැත. එබඳු වගකීමකින් යුතුව වෘත්තීය සමිති හසුරවන නායකයන් දැන් නැත. වර්තමාන නායකයන් සටන පටන් ගන්නේම පළමුව වර්ජනයක් සිදු කිරීමෙන්ය. මේ නිසාම අද පවතින බොහෝ වෘත්තීය සමිතිවලට කිසිදු මහජන සහයෝගයක් ලැබෙන්නේ නැත.
දැන් පවතින උත්සව සමය තුළ නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බවට සෞඛ්ය අංශ අනතුරු හඟවා තිබේ. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ යළි සංචරණ සීමා පැනවීම ඉතා යෝග්ය බවය. මේ අතර සති දෙකකටවත් රට වසා දැමිය යුතු යැයි කියන පිරිසක් ද සිටිති.
තත්ත්වය එසේ පවතින අතර කොළඹ නගරය තුළ විරෝධතා රැල්ලක් ඇති කිරීමට වෘත්තීය සමිති උත්සාහ දරයි. ඔවුන්ගේ ප්රධාන ඉලක්කය ද ආණ්ඩුවට එරෙහිව සටන් පාඨ කියමින් මහ පාරේ විරෝධතා දැක්වීමය. මෙය කොවිඩ් ව්යාප්තියට බලපාන ප්රධාන සාධකයකි. කොවිඩ් වයිරසයේ නව ප්රභේදය වන ඔමික්රෝන් පැතිරයෑමට සුදුසු පසුබිමක් වෘත්තීය සමිති විසින් නිර්මාණය කරනු ලැබේ. ඊයේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයෙහි යම් ප්රමාදයක් ඇති විය.
මගීන් බැණ වදින්නේ වෘත්තීය සමිතිවලට නොව; ආණ්ඩුවටය. වෘත්තීය සමිති නායකයන්ගේ ඉලක්කය ද එයමය. තත්ත්වය එසේ තිබියදී රට, ජනතාව හා අනාගතය ගැන වෘත්තීය සමිති නායකයෝ කතාකරති. එය වැදි බණ හැටියට ප්රතික්ෂේප කළ යුතුය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩවර්ජන, උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කළ හොත්; පොදු ජනතාව ඊට එරෙහිව නැඟී සිටින්නේ නැත යන්න අපගේ විශ්වාසය වෙයි.
ජනතාවට වෘත්තීය සමිති කෙරෙහි ඇත්තේ බලවත් කලකිරීමකි. ගුරු විදුහල්පති වර්ජනයේදී ද එය දැකගන්නට ලැබිණි. එම වර්ජනය අවසන් නොවූයේ නම්, මවුපියන් ගුරුවරුන්ට එරෙහිව පාරට බසිනු ඇත. වෘත්තීය සමිතිවල ඊනියා ක්රියාමාර්ග නිසා රටට සිදු වී ඇති ආර්ථික පාඩුව කිසිවෙක් ගණනය කර නැත.
එසේ ගණනය කළේ නම්, මහජනතාව වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පාරට බසිනු ඇත. අපට පෙනෙන හැටියට රටේ පවතින නිදහස වැඩිය. උපරිම මානව නිදහසක් පැවතිය යුත්තේ උසස් සමාජ තුළ පමණකැ’යි සමහරු පෙන්වා දෙති. එය පිළිගත හැකි සත්යයකි. ශ්රී ලංකාව තුළ නිදහස අවභාවිත වෙයි
. ජනමාධ්ය ක්ෂේත්රය පවා ඊට අදාළය. පොහොර ඉල්ලා පෙළපාළි යන ගොවියන්ගේ විස්තර ඕනෑවටත් වඩා උපුටා දක්වන ජනමාධ්ය කාබනික පොහොර යොදා ගනිමින් වගා කටයුතුවල නිරත වන ගොවීන් ගැන කිසිවක්ම සඳහන් කරන්නේ නැත. ඉතින් රටක් ඉදිරියට යන්නේ කෙසේ ද?