Feb
4

අජිත් මුතුකුමාරණට කේ සුජීවාගෙන් උත්තර

 
922 Views
   
 

ආදරය නිසා රිදුම් විඳින තැවුණ ඒ හිත ආයෙමත් ආදරය ගැන සුන්දර ගීතයක් ගායනා කරලා. ඒ තමයි ‘සුන්දර ගීයකි ආදරේ.’ ඇත්තටම ජීවිතේ ගීතයක් තරම් සුන්දරයිද කියලා අපි සුජීවාගෙන් ඇහුවා.

සුජීවා නවතම ගීතය ගැයුවෙත් ආදරය ගැනම නේද? 

ඔව්, ආදරය හරිම සුන්දර දෙයක්නේ. ඒ නිසා ‘සුන්දර ගීයකි ආදරේ’ නමින් අලුත්ම ගීතය රසිකයන්ට තිළිණ කළා. ‘පාදා දුන් ආකාසෙ’ ගීතයට පස්සෙ මගේම නිෂ්පාදනයක් විදිහට කරපු ‘සුන්දර ගීයකි ආදරේ’ පහුගිය එකොළොස් වැනිදා හවස පහයි එකට එළිදැක්වූවා.

පහයි එකට ගීතය එළිදක්වන්න තීරණය කළේ නැකතක් බලලද? 

නැහැ, මම නැකැත් බලලා ජීවිතේ දේවල් කරන කෙනෙක් නෙවෙයි. මේ වෙලාවට මේ ගීතය එළිදක්වන්න කියන එක ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීමට අනුව මම ඒ ගිතය එම වෙලාවට එළිදැක්වූවේ.

රෝස් දක්වපු දස්කම ගැනත් අපි තව ටිකක් කතාකරමු… 

ඇත්තටම රෝස් මේ ගීතයට සංගීත අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ ළාබාලම සංගීත අධ්‍යක්ෂවරු අතරට එක්වෙලා අවසන්. හැබැයි සමහරුන්ට ඒක ප්‍රශ්නයක්. රෝස්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවා. මම අහනවා ඇයි රෝස්ට ඒ වගේ දෙයක් කරන්න බැරි? එයාගෙ තාත්තා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්, අම්මා සංගීත ශිල්පිනියක්. එයාට උපතින්ම ඒ හැකියාව උරුම වෙලා තියෙනවා. එයා හැදුනෙ සංගීත පරිසරයක. රෝස් කොහොමද මේ තරම් දෙයක් කරන්නේ කියලා අහන අයගෙන් මම පෙරළා අහන්න කැමතියි කෙනෙක්ට තවත් දරුවෙකුගේ දක්ෂතාවක් දැකලා සතුටු වෙන්න බැරි ඇයි කියලා. ඒ වගේ අය මේ ගීතය ඇහුවෙ නැතත් මට කමක් නෑ.

සුජීවා මේ හැම වැඩකටම එළියට බහිද්දි රෝස් හා අංජලීත් ඔබ සමග යනවද? 

ගොඩක් වෙලාවට මම මගේ වැඩවලට ගියේ අංජලී එක්ක. එතකොට රෝස්ව ගෙදර තියලා යන්න බැරි නිසා එයාවත් එක්ක යනවා. ඒ නිසා අපි තුන්දෙනාම එකට යන්න පුරුදුවෙලා හිටියා. හැබැයි මේ දෙසැම්බර් මාසෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් කර ගත්තා. පහුගියදා නත්තල් වැඩසටහනට මම රෝස්ව ගෙනිහින් ඇරලලා එයාට කිව්වා කාගෙවත් අදහස් අරන් නෙවෙයි, ඔයා ඔයාම විදිහට ඔය වැඩේට මුහුණ දෙන්න කියලා. රෝස්ට වගේම අංජලීටත් වැඩසටහන් තියෙනවා. මම ඒ දෙන්නව ඒවට තනියම ගිහින් මුහුණ දෙන්න හුරු කරමින් ඉන්නෙ.

පහුගිය දවස්වල විරහ වේදනාවයි චෝදනාවලටයි එකටම මුහුණ දෙන්න වුණා නේද? 

මගේ ජීවිතයේ මම කාටවත් චෝදනා කරල නැහැ. හැබැයි මම මගේ ජීවිතයට වෙච්ච දේවල් කිව්වා. ඒ වෙලාවෙ ඇතැමුන් ඒක තමන්ට කරගත්තා. මම ප්‍රතිපත්තියක් විදිහට මගේ ජීවිතය ළඟින් කවුරුන් හෝ හිටියා නම් වේලක් හරි එකට කෑම ටිකක් කෑවා නම් ආදරයෙන් හිටියා නම් ඒ වගේ කෙනෙකුට ආපහු හැරිලා පහර ගහන්න තරම් පහත් තත්ත්වයට වැටෙන්නෙ නැහැ.

ඔබලාගේ ප්‍රශ්නය මාධ්‍ය තුළ මහ ඉහළින් කතා වුණා නේද? 

මාධ්‍ය මගින් මට ලොකු හානියක් වුණේ නැහැ. සමාජ මාධ්‍ය මගින් මොනවා හරි දෙයක් වුණා නම් මට ඒවා අදාළ කරගන්නෙ නැහැ. මොකද මම ගායිකාවක් විදිහට මගේ රසික රසිකාවියන්ට මගේ නිර්මාණ ගැන කියනවා. ඔවුන් මම කරපු නිර්මාණයක දොස් දැක්කා නම් ඒ ගැන මම හිතනවා. හැබැයි මගේ පෞද්ගලික ජීවිතයේ මම කාටද ආදරය කරන්නෙ, මම කවුරු එක්කද ජීවත් වෙන්නේ, මම යන්නේ එන්නේ කොහෙද වගේ දේවල්වලට උත්තර දෙන්න මට වුවමනාවක් නැහැ.

සුජීවා තනි මවක් විදිහට මේ ගෙවන ජීවිතය ලොකු බරක්ද? 

single parent කියන්නෙ තමන්ගේ දරුවාගේ සියලු වගකීම් දරන මවකට හෝ පියකුටයි. ඔව්, මම සිංගල් පේරන්ට් කෙනෙක් තමයි. හැබැයි ඒක මට බරක් නෙවෙයි. මගේ දරුවො දෙන්නා වෙනුවෙන් හැම දෙයක්ම කරන්නේ සතුටින්. මම ඇඳුමක් ගත්තත් ගන්නේ ඒ දෙන්නටත් අඳින්න පුළුවන් ඇඳුමක්.

සුජීවා වැඩිපුර ස්වර්ණාභරණ පලඳින ගායකාවක් ලෙස කැපී පෙනෙන්න උත්සාහ කරනවද? 

මම කවදත් වැඩිපුර ස්වර්ණාභරණ පලඳපු කෙනෙක්. මං හිතන්නේ ස්වර්ණාභරණ එක්රැස් කරන එක හොඳ ආයෝජනයක්. කිසිම දෙයක් ස්ථිර නැති මේ ලෝකේ මාව ඊළඟ මොහොතේ නැතිවෙන්න පුළුවන්. ඒ වගේ මොහොතක මගේ දරුවෝ දෙන්නට අනිත් දේපළවලින් මුදලක් ලැබෙනකම් ජීවත් වෙන්න ක්ෂණික මුදල් බවට පත්කරගන්න පුළුවන් දෙයක් විදිහටයි මම ස්වර්ණාභරණ දකින්නේ. ඒ නිසා මගේ සල්ලිවලින් මම ස්වර්ණාභරණ මිලදී අරන් ඒවා පලඳිනවා. ඒවා මට කවුරුවත් අරන් දීපුවා නෙවෙයි.

සුජීවා නැවතත් ආදර සම්බන්ධතාවක් ඇතිකරගන්නෙ නැහැ කියන්නෙ ඇයි? 

ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ආදරය සුන්දරයි කියන එක මම හැමදාම කියනවා. හැබැයි අපට ආදරයේ සුන්දරත්වය විඳින්න හරියන කෙනා හමුවෙන්න ඕනෑ. අද මම බැඳීම්වලිත් තොර ඉතා නිදහස් දිවියක් ගත කරනවා. ඒ නිදහස මගේ හිත සතුටින් තියනවා. ඉතින් මම කැමැති නැහැ ආයෙමත් ඒ නිදහස, ඒ සතුට නැතිකර ගන්න බැහැ.

සුජීවා තව කෙනෙක් වෙනුවෙන් හම්බ කරපු කාලයක් තිබ්බද? 

ඒ ප්‍රශ්නයට මම උත්තර නොදී ඉන්නවා.

ධම්මිකා සුරංජි පතිරණ – අරුණ පිනි පලස. 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්