Nov
6

“ගෑස් හිඟය විදෙස් සමාගමක ලොකු ගේමක්” – මාධ්‍යට වසන්ව සිටි ලිට්රෝ සභාපති සියල්ල හෙලි කරයි

 
1500 Views
   
 

රටේ පවතින ගෑස් හිඟය පිටුපස මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම සහ ඔවුන්ට අනුබල දෙන කූඨ ජාවාරම්කාර නිලධාරීන් පැලැන්තියක් ඇතුළු පිරිසක් සිටින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ සඳහන් කළේය. විදෙස් සමාගම ඔවුන්ගේ දෙවසරක සේවා ගිවිසුම තවත් දෙවසරකින් දික් කර ගැනීම සඳහා සිදු කළ දැඩි බලපෑම හේතුවෙන් මෙරට බරපතළ ගෑස් හිඟයක් නිර්මාණය වූ බව හෙතෙම සඳහන් කළේය.

“නැව ළඟටම ඇවිත් ගෑස් ලබා නොදී ගිවිසුම දික් කර ගැනීම සඳහා ඔවුන් අපිව බිත්තියටම හේත්තු කළා” යැයි හෙතෙම කීවේය. මේ හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස පළමු වැනිදා දක්වා එකඳු ගෑස් සිලින්ඩරයක් නිෂ්පාදනය කිරීම සඳහා තොග සිය සමාගම සතු නොවූ බවත් එබැවින් මෙරට බරපතළ හිඟයක් නිර්මාණය වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් එම සමාගමේ බලපෑමට යටත් නොවී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත්වීම මත නැව නිදහස කරගනිමින් ගෑස් තොග ලංකාවට ලබා ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. ඒ අනුව දින කිහිපයක් තිස්සේ පැවති ගෑස් හිඟය ඉදිරි දින 07 තුළ මුළුමනින්ම අවසන් කිරීමට හැකි වනු ඇති බවත් තුෂාර ජයසිංහ මහතා ප්රකාශ කළේය.

මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම් 2020 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සිට 2022 වසරේ පෙබරවාරි 28 වැනිදා තෙක් මේ රටට ගෑස් සැපයීමේ කොන්ත්රාත්තුව ලබා ගෙන ඇති බවත් ඔවුන් මෙරට ජනතාව පීඩාවට පත් කර ඔවුන් ඇපයට තබා ගිවිසුම තවත් වසර දෙකකින් දික් කර ගැනීමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් හෙතෙම පැවසීය.

මේ පිටුපස කූඨ මාෆියාවක් ක්රියාත්මක වන බවත් අඩු මුදලට ගෑස් ලබා ගැනීමට වෙනත් විකල්ප හැකියාවක් තිබියදීත් මෙම සමාගමට අවස්ථාව ලබාදීම පිටුපස දැවැන්ත මූල්ය වංචාවක් සිදු වෙමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ පිටුපස ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක එසේත් නොමැති නම් රුපියල් කෝටි 1000 ක පමණ වංචාවක් සිදු වෙමින් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා තව දුරටත් සඳහන් කළේය.

මේ ගෑස් ඒකාධිකාරිය බිඳ හෙළීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත් මෙරට ජනතාව අතරට තබා කිසිදු කරන කූඨ ගනුදෙනු නතර කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. මේ පිටුපස නිලධාරීන් පැළන්තියක් සිටින බවත් චෝදනා කළේය. ලිට්රෝ ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය පවතින ගෑස් හිඟය මඟහරවා ගැනීම සඳහා අඩු මුදලට හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බව ප්රකාශ කළ තෙෂාර ජයසිංහ මහතා මේ වන විට දෛනිකව ගෑස් සිලින්ඩර 85000 ක පමණ ප්රමාණයක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

මෙරට ගෑස් අවශ්යතාවය ගෑස් සිලින්ඩර 75000 වන බවත් පැවසූ සභාපතිවරයා තමන් මෙතෙක් කලක් මාධ්යයට වසන් වී සිටියේ පවතින තත්වය ජනතාව හමුවේ තැබීමේ අපේක්ෂාවෙන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ඒ මහතාට සියල්ල හෙළි කර මෙම හෙළිදරව් කිරීම සිදු කරන බවත් ප්රකාශ කළේය. ජාවාරම්කාර මාෆියා සොරුන්ගේ වළල්ලට පක්ෂ පාට අදාළ නැති බවත් ඔවුන් එකම කණ්ඩායමක් බව පිළිගත යුතු යථාර්ථයක් බවත් තෙෂාර ජයසිංහ මහතා ප්රකාශ කළේය.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ මෙම අදහස් පළ කළේ යූනියන් පෙදෙසේ පිහිටි එම සමාගමේ ප්රධාන කාර්යාලය ශ්රවණාගාරයේ පැවැති විශේෂ මාධ්ය හමුවකදීයි. එම අවස්ථාවට එම සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයද එක්වී සිටියේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්