May
31

‘සතුටු වෙන්න මට අයිතිය තියෙනවා’ බර්ත්ඩේ පාර්ටි ගැන චන්දිමාල් කියන කතාව (Video)

 
2124 Views
   
 

චන්දිමාල් ජයසිංහ කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණු රූපලාවන්‍ය ශිල්පියෙක්. විශේෂයෙන් මෙවර විවාහක කිරුළ පිළිබඳ සිද්ධියේදිත් ඔහුට විශාල චෝදනාවක් එල්ල වුණා. අද චන්දිමාල්ගේ උපන්දිනය. ඔහු මීටපෙර වසරවලදී උපන්දිනය සැමරුවේ ‘රෝයල් බර්ත්ඩේ පාටියක්’ පවත්වමින්. මෙවරත් ඒ ආකාරයටම උපන්දිනය සමරනවාද කියලා දැනගන්න අපි චන්දිමාල්ව සාරවිට කතාබහකට එකතු කරගත්තා.

 

සුබ උපන්දිනයක් චන්දිමාල්
බොහොම ස්තූතියි.

 

මේ දිනවල කාලය ගත වෙන්නේ කොහොමද?
මේ දවස්වල ගෙදර තමයි ඉන්නේ. විවාහ උත්සව හැම එකක්ම කැන්සල් නිසා අපේ ජොබ් එකත් කරන්න නැහැනේ. ඒ නිසා ගෙදරට වෙලා තුන්වෙනි රැල්ල ඉවර වෙනකල් බලාගෙන ඉන්නවා.

 

මෙවර උපන්දිනයට මොකද කරන්නේ?
මේ පාර පන්සලට ගිහිල්ලාවත් මුකුත් කරන්න බැහැනේ. ගිය අවුරුද්දේ නම් පන්සලට හරි ගියා. ඒ නිසා මේ අවුරුද්දට මුකුත් කළේ නැහැ. මේ තත්ත්වය ඉවර වුණාම ඉස්සරහට හරි බලමු.

 

ඒ කියන්නේ ඉදිරියේදීවත් රෝයල් පාටිය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
රටේ තත්ත්වයත් එක්ක ඒක ඉස්සරහට කරනවාද කියලා බලමු. අවුරුදු තුනක්ම එකදිගට රෝයල් බර්ත්ඩේ පාටිය කරන්න බැරි වුණානේ. රටේ තත්ත්වය එක්ක කිසිම සාදයක් ගන්න බැහැනේ දැන්.

 

රෝයල් පාටිය නතරවීම ගැන දුකක් දැනෙනවාද?
නැහැ. මම ජීවිතේ එන හැමදේටම මුහුණ දෙන කෙනෙක්. දුකක් නැහැ. මේ තත්ත්වය මට විතරක් නෙවෙයි හැමෝටම එක විදිහට බලපාපු දෙයක්නේ. ලබන අවුරුද්දේ හරි ගන්න බලමු. මට වැඩිය මගේ ක්ෂේත්‍රයේ අය හරි කැමතියි රෝයල් බර්ත්ඩේ පාටියට. මොකද අපි හැමෝම හරි සංතෝසයෙන් සතුටු වෙන දවසක්. ඉතින් හැමෝම කියනවා මේ තත්ත්වය ඉවර වුණාම හරි පාටිය දාන්න කියලා.

 

එකවරක් ඔබේ උපන්දින පාටිය නිසා බදු පිළිබඳ ප්‍රශ්නයකුත් ආවා නේද?
ඔව්. මම හිතන්නේ ඒක මේ සමාජයේ විදිහ. සමහරවිට මම ගැන වැරදි මතයක් මතුවෙන්න ඇති. ඊටපස්සේ මම ඉදිරිපත් වෙලා ඒ හැමදේම නිවැරදි කළා. මම වැරදි වැඩ කරලා මුදල් හම්බකරන කෙනෙක් නෙවෙයි. බොහොම සාධාරණව මුදල් හම්බකරන කෙනෙක්. මගේ ජීවිතයේ සතුටු වෙන්න මටත් අයිතියක් තිබෙනවා. ජනප්‍රිය වුණා හෝ නැතුව හෝ මිනිස්සුන්ගේ සතුට එකයි. මාව ප්‍රසිද්ධ නිසා විවිධ කතා පැතිරෙන්නේ. නැත්නම් ඒ වගේ උපන්දින සාද ලංකාවේ ඕනෑ තරම් පුද්ගලයෝ ගන්නවා. හැබැයි ඉතින් අපි වගේ තනියෙන් නැගිටපු අයට පහර දෙන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගැන මම දුක්වෙන්නේ නැහැ. මම සම සිතින් හැමදේටම මුහුණ දීලා ජීවත් වෙනවා.

 

එවැනි මඩ ප්‍රහාර ගැන ඔබ තකන්නේ නැද්ද?
නැහැ. මොකද ලෝකේ කවුරු මොන දේ කිව්වත්, මගේ හෘද සාක්ෂියට අනුව මම හරි නම්, මම සතුටු වෙනවා නම් අනිත් අයගේ තරහා වෛරය මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ අම්මා, මගේ පවුලේ අයට මගෙන් වෙන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරලා ජීවත් වෙන කෙනෙක්. මිනිස්සු මොන දේ කිව්වත් මම ඒ දේවල් බාරගන්නේ නැහැ.

ඔබ දේශපාලනයට එනවා කියලා කතාවකුත් පහුගිය දිනවල පැතිරුණා. ඒකේ ඇත්තක් තිබෙනවාද?
එහෙම ආරාධනාවන් තිබෙනවා. සමහර වෙලාවට ඒක ජනප්‍රියත්වයත් එක්ක ආව එකක් වෙන්න පුළුවන්. මම ඒ ගැන ලොකුවට තවම හිතලා නැහැ. මම ඒ දේ කරනවා නම් මගේ වෘත්තීය පැත්ත නතර කරන්න ඕනේ. තවම දේශපාලනයට එනවා කියලා සම්පූර්ණයෙන් තීරණය කරලා නැහැ. මට තව වයස තිබෙනවා කාලය තිබෙනවා. ඒ නිසා ඉස්සරහට බලමු.

 

ලංකාවට මිසිස් වර්ල්ඩ් කිරුළ අහිමි වීම ගැන මොකද හිතෙන්නේ?
මම මගේ රට වෙනුවෙන් උපරිම දේ කළා. ඉස්සරහටත් කරනවා. මට කෙනෙක්ගේ රූපය ලස්සන කරන්න පුළුවන් වුණාට මට කෙනෙක්ගේ ඇතුල ලස්සන කරන්න බැහැ. ඒ සිදුවීමම එයාලාගේ පෞද්ගලික දේවල් එක්ක, ඉරිසියාව එක්ක සිදුවුණු දෙයක්. ඒ ගැන මම මුකුත් හිතන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අදටත් ඔවුන් දෙදෙනා අතර තමයි නීතිමය කටයුත්ත වුණත් තියෙන්නේ. ඒක මගේ දෙයක් නෙවෙයි. කිරුළ අහිමි වුණු එක ගැන කණගාටුවක් තිබෙනවා. පුෂ්පිකාගෙනුත් සමස්ත ලෝකයෙනුත් සමාව ගන්න කියලා එයාට කිව්වා. එයා ඒ දේ කළේ නැති නිසායි අපිට කිරුළ අහිමි වුණේ. මට ඒ නතර කරන්න බැරි වුණා ඉතින්.

කැලුම් දේවින්ද

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්