Nov
6

“තෝරා බේරා ගන්න තරම් චරිත ලැබෙන්නේ නැහැ” – චරිත් මධුරංග

 
1001 Views
   
 

කලින් කලට පුංචි තිරය තුළින් අලුත් මුහුණු අපිට මුණගැහෙනවා. ඒ අයගේ දක්ෂතා නිසාම ඉතා කෙටි කලකින් වුවද ප්‍රේක්ෂක හදවත් වල ලැගුම් ගන්නා චරිත බවට පත්වෙනවා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ නදුන්ගේ චරිතයත් එවන් වූ චරිතයක්. ඒ නිසාම අද දවසේ රසඳුන මේ කතාබහ කියා දෙන්න ආදරේ තරම් හි නදුන්ගේ චරිතයට පණ පොවන චරිත් සමඟ.

නම – තවලම ගමගේ චරිත් මධුරංග

උපන් ගම – ගාල්ල

පවුලේ විස්තර – අම්මා තාත්තා සහ මම. පවුලේ එකම දරුවා.

පාසල – ගාල්ල මහින්ද විද්‍යාලය

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පාසල් යන කාලේ ඉඳන්ම පාසල් වේදිකාව එක්ක නිර්මාණ කළා. පාසල් නාට්‍යය උළෙලේ දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේ සහ ටවර් හෝල් නාට්‍යය වලදී ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. උසස් පෙළට හදාරන්නේත් කලා විෂය ධාරාවන්. 2012 දී උසස් පෙළ කළාට පස්සේ කොළඹට එනවා කොළඹ නාට්‍යය කරන්න. ඊට පස්සේ නැවත මම රජරට විශ්වවිද්‍යාලයට යනවා උපාධිය හදාරන්න. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළත් විශ්වවිද්‍යාලය ඇතුළෙ

නාට්‍යය සහ කෙටි චිත්‍රපට කරනවා. ඒවා වෙනුවෙන් සම්මාන පවා ලැබිලා තියෙනවා. සංචාරක කළමනාකරණ උපාධිය තමා මම එහිදී ලබා ගන්නේ. උපාධියෙන් පස්සේ මම එනවා මහරගම තරුණ සේවා සභාවට නාට්‍යය ඩිප්ලෝමාව හදාරන්න. එතැනදී යූත් එකට සහ රාජ්‍ය නාට්‍යය උළෙලට නාට්‍යය කරනවා.

වේදිකාවේ රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන මතක් කරොත්?

ප්‍රසන්නජිත් අබේසුරියගේ “කුවේණි” කියන වේදිකා නාට්‍යය. මහාචාර්ය උපුල් රන්ජිත් අධ්‍යක්ෂණය කළ මහත්මා ගාන්ධි.කොම්. රාජිත දිසානායක ගේ අලුත්ම වේදිකා නාට්‍යය වන “ජුලිමාසයේ දවසක්” කියන නාට්‍යයේ මම රඟපානවා. ඒ වගේම පිටස්තරය, සිහින නොරිකො සන්, ගිනිගත් දවසක්, වගේ වේදිකාවේ නිර්මාණ රැසකට මට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ වගේම මම මගේම නාට්‍යය නිර්මාණයක් කරනවා යෞවන සම්මාන උළෙලට සහ රාජ්‍ය සම්මාන උළෙලට “අන්කලුයි මමයි” කියලා.

වේදිකාවටද වැඩි ඉඩක් දීලා තියෙන්නේ?

වේදිකාවෙ ලැබුණු අවස්ථා වැඩියි. ඒ වගේම වේදිකා නළුවෙක් වීමෙන් මට හොඳ අත්දැකීම් එකතු කර ගන්න ලැබුණා. පෙර පුහුණුවීම් එක්ක හඬ පාලනය වේදිකා පාලනය මේ හැමදේම අපි වේදිකාවෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම විවිධ චරිත කරන්න අවස්ථාව ලැබුණා. නළුවෙක් වෙන්න ඒ දේවල් මට ලොකු ප්‍රයෝජනයක් වුණා.

මුල්ම ටෙලි නිර්මාණය?

දෙරණ නාළිකාවේ “ධරණී” නාට්‍යය තමා මගේ මුල්ම ටෙලි රංගනය එහි කනිෂ්කගේ චරිතය. ඊට පස්සේ හිරු නාළිකාවේ විකාශය වූ “අකුරු මැකී නෑ” හි තිලංග. ඒ එක්කම ධනුෂ්ක රත්නායකගේ “දාම්” හි මම සුළු චරිතයක් කළා. ඊට පස්සේ තමා ඔහු මට කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ නදුන් කියන චරිතය දෙන්නේ. තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ රුකී හි හුසේන් චරිතය රඟපෑවා.

නදුන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ දවස්වල කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය ට්‍රෙන්ඩ්ඩින් අතර තියෙන නිසා මඟ තොටේදී මාවත් හඳුනා ගන්නා පිරිස ඉන්නවා. ඒ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

වසන්තගේ ගෝලයා නිසා කට්ටිය වැඩිය කතාවට එන්නේ නැද්ද?

නැහැ එහෙම නම් නැහැ. දැක්කම මේ ඒ ඉන්න ඔයාමද කියලා අහන අය ඉන්නවා. ඒ චරිතේ එහෙම ගෝලයෙක් වුණාට සැබෑ ජීවතේ බොහොම නිදහසේ පාඩුවේ ඉන්න කෙනෙක්.

චරිත තෝරා බේරා ගැනීමක් කරනවද?

එහෙම තෝරා බේරා ගන්න තරම් චරිත ලැබෙන්නේ නැහැ. නමුත් ආරාධනාවක් ලැබුණොත් ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුණොත් මම අනිවාර්යෙන්ම බාර ගන්නවා.

උපාධිය ලබාගත්ත පැත්තෙන් රැකියාවක් කරන්න අදහසක් නැද්ද?

මම කාලයක් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කළා. නමුත් මගේ හිත තියෙන්නේ කලාව එක්ක. ඒ නිසා දැන් ඒ පැත්තෙන් නම් රැකියාවක් කරන්නේ නැහැ.

එතකොට ඔබේ වෘත්තීය රංගනය ද?

මම වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට සම්බන්ධ Black Lotus ආයතනයේ රැකියාවක් කරනවා. ‍වෙ‍ෙළඳ දැන්වීම් වල පෙනී ඉන්නවා වගේම වෙ‍ෙළඳ දැන්වීම් ලියන්න මට හැකියාවක් තියෙනවා. මට එතැනින් රංගන කටයුතු කරගෙන යන්නත් ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ගෙදරින් කැමති ද උපාධියක් තියාගෙන රඟපෑමට යොමු වුණාට?

අම්මා තාත්තා කවදාවත් මට නීති දාලා නැහැ. දන්නවා වැරදි දෙයක් කරන්නෙත් නැහැ කියලා. ඒ නිසා විරුද්ධත්වයක් මතු වෙලා නැහැ. මගේ වැඩවලට සහයෝගයක් තමා හැමදාම ලබා දෙන්නේ.

කලාව එක්ක දිගු ගමනක් යන්නද කැමැත්ත?

අනිවාර්යෙන්ම. මොන දේ කළත් මම කලාව කියන දේ අතහරින්නේ නැහැ. මේ වෙද්දී මම කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තියෙනවා.

අනාගත බලාපොරොත්තු?

මම කැමතියි මේ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ දක්ෂ නිර්මාණශීලි අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ එක්කම නළුවෙක් විදියට සාර්ථක වෙන්න කැමැත්තක් තියෙනවා.

රසඳුන (අනූෂා රණසිංහ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්