May
9

අවුරුදු අටකට කලින් ප්‍රවීන්ගෙන් මම අජිත් ද සිල්වාව දැක්කා – අර්ජුන

 
3102 Views
   
 

මුරලිගේ හා රංගනගේ දඟ පන්දුවෙන් ලෝකයම මට්ටු වෙද්දී ඔවුන්ගේ සමුගැනීමෙන් පසු ඔවුන්ගේ අඩුව බොහෝ සේ දැනුණේ මුරලි සහ රංගන හේරත් ආසන්නයටවත් ඒමට සමත් දඟ පන්දු යවන්නෙක් සොයාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට නොහැකි වූ බැවිනි. මෙරට දඟ පන්දු තණතීරුවලත් ‘ආගන්තුකයන්’ කරණම් ගසද්දී ඉක්මනින්ම ඉස්තරම් දඟ පන්දු යවන්නෙක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මේ සොයා යෑමේ මෙහෙයුමේදී අකිල ධනංජය හා ලසිත් ඇඹුල්දෙණිය එහි මූලිකත්වය ගත්තද, අකිල අයි.සී.සී.යේ ලුහුබැඳීමකට ලක්වූ නිසාත්, ඇඹුල්දෙණිය ආබාධයකට ලක්වීම හේතුවෙනුත් ක්‍රිකට් තේරීම් කමිටුව යළිත් බලවත් අර්බුදයකට ලක්විය.

මේ නිසාම බංග්ලදේශය සමඟ පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දුව ‘නන්නත්තාර’ වෙද්දී දෙවැනි තරගයට යොදාගත් තුරුම්පුව ශ්‍රී ලංකාවට වාසනාව ගෙන ආවේය.

නවක පන්දු යවන්නකු වන 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රමට හා එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති රමේෂ් මෙන්ඩිස්ට බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු බළඇණියේ භාරදූර වගකීම පැවැරීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණේ ඔවුන් පිළිබඳව පැහැදිලි වැටහීමක් තිබූ නිසාවෙනි.

බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවාගනිමින් මංගල තරගයේදීම ලොව එවැනි ‘විජ්ජාවක්’ කළ පළමු

වමත් දඟපන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රම පත්වෙද්දී ප්‍රවීන් දෙස ලෝකයේම දෑස් එල්ල විය.

පළමු තරගයේදීම ආධුනික යන ලේබලය ගලවා දමා බංග්ලාදේශයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ප්‍රවීන් ජයවික්‍රම පිළිබඳව ඔහුගේ මව නිමාලි පීරිස් මහත්මියගෙන් තොරතුරු විමසීමට අපි තීරණය කළෙමු.

“ප්‍රවීන් එක්ක මට පුතාලා හතර දෙනෙක් ඉන්නවා. ලොකු පුතා (අරුන්), ඊළඟට ප්‍රවීන්. ඊට පස්සේ මෙවන් සහ හිරුන් කියලා පුතාල දෙන්නෙකුත් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 10ක් වගේ වෙනකොට සිරිකුරුස විදුහලේ ඇකඩමියක් තිබුණා. ඒක කළේ නීල් රාජපක්‍ෂ කියලා සර් කෙනෙක්. ඒ සර්ගේ ප්‍රැක්ටි්‍රස් එකට අයියව ගෙනියන්න ලෑස්ති වෙනකොට ප්‍රවීන් පුතාගෙනුත් බේරිල්ලක් නැහැ එයාටත් යන්න ඕන කියලා. එතකොට ප්‍රවීන්ට වයස අවුරුදු 6ක් විතර ඇති.

ඒ නිසා එයත් එක්කන් ගියා. අයියා සෙල්ලම් කරන දිහා බලාගෙන මෙයත් සෙල්ලම් කළා. ඔය විධියට ගිහිල්ල ප්‍රවීන් පුතාට අවුරුදු 10ක් විතර කාලෙදි සිරිකුරුස විදුහලේම සනත් ද අල්විස් කියලා සර් කෙනෙක් ඇකඩමියක් කළා. ඒ ඇකඩමියට මම පුතාව භාර දුන්නා. ඔහොම ඒකෙ ඉඳලා සිරිකුරුස විදුහලේ අවුරුදු 13න් පහළ කණ්ඩායමට සමන්ත සර් පුතාව සිලෙක්ට් කරගෙන තිබුණා. මෙයා අවුරුදු 13න් පහළ අවසාන වසරේ හොඳින් සෙල්ලම් කරනවා දැකලා ඒ විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායම පුහුණු කළ දාබරේ සර් පුතාව අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඇතුළත් කර ගත්තා.

ඊට පස්සේ අවුරුදු 15න් පහළ දෙවැනි වසරේදී පුතාව අවුරුදු 15න් පහළ දිස්ත්‍රික් පිලට තෝරාගත්තා. ඒ කාලේ දිස්ත්‍රික් කෝච් විධියට හිටියේ චමිල ගමගේ සර්. ඒ සංචිතයට පැතුම් නිස්සංක පුතත් තේරුණා. දිස්ත්‍රික් තරගවල හොඳින් කරපු නිසා මෙයාලා දෙන්නම පළාත් තරගවලට ගියා. ඒ පළාත් තරගාවලියේ හොඳම පන්දු යවන්නා වුණේ පුතා. හොඳම පිතිකරුවා වුණේ පැතුම් නිස්සංක පුතා. මේ දක්‍ෂතාව නිසා අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා සංචිතයටත් පුතා තේරුණා” යැයි සඳහන් කළ පීරිස් මහත්මිය මඳක් නිහඬ විය.

“මට මුලින් දෙයක් කියන්න අමතක වුණා. පුතා අවුරුදු 15න් පහළ දිස්ත්‍රික් තේරීම් තරගවලට මුහුණ දෙන්න හිටිය අවස්ථාවක, ඒ කියන්නේ පුතාට අවුරුදු 14ක් විතර වෙද්දී පුතාගේ තාත්තා (ඉන්ද්‍රජිත් ජයවික්‍රම) හාට් ඇටෑක් එකක් හැදිලා නැති වුණා. තාත්තගේ හීනෙ වුණෙත් පුතා ශ්‍රී ලංකා පිලට සෙල්ලම් කරන එක. මහත්තයා නැති වෙන දවසෙ රෑත් මට කිව්වේ පුතා ශ්‍රී ලංකා පිලට සෙල්ලම් කරයි කියල තමයි”.

“මම මේ හතර දෙනාම පාසලට දාලා වැඩට යනවා. ඒක මට ලේසියි. ඉස්සර මහත්තයා තමයි මේ හතර දෙනාටම බත් කැව්වේ. පුතා මෙහෙම දක්‍ෂතා දක්වද්දි ලොකු ලොකු පාසල් පුතාව ඉල්ලුවා. පුතා කොළඹ පාසලකට දැම්මොත් පුතාටයි, මටයි ටිකක් අමාරු වෙන නිසා පාසල මාරු කරන්න හිතුවේ නැහැ. ඒත් පුතාගේ දිස්ත්‍රික් පුහුණුකරු චමිල ගමගේ සර්ට මම කතා කරලා කිව්වා පුතාව වෙන පාසල්වලින් ඉල්ලනවා මොකද කරන්නේ කියලා.

පස්සේ චමිල සර් මැදිහත්වෙලා පුතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට දැම්මා. ඒ විදුහලේ අවුරුදු 17න් පහළ දෙවැනි වසරේදී එයා කඩුලු 90ක් වගේ ප්‍රමාණයක් ගත්තා. මේ කාලෙදි පුතා අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිලටත් තෝරාගත්තා. එයා ඒකෙ අවුරුදු 2-3ක් විතර සෙල්ලම් කළා. 2018 නවසීලන්තයේ තිබුණු අවුරුදු 19න් පහළ ලෝක කුසලානයටත් පුතා සහභාගි වුණා. ඊට පස්සේ ක්‍රීඩා සමාජවලින් පුතාට ආරාධනා ලැබුණ නිසා එයා මුවර්ස් තෝරාගත්තා.

පුතා මේ හැම තීරණයක්ම ගත්තේ චමිල ගමගේ සර්ගෙන් අහලා තමයි. කොහොම වුණත් අවුරුදු 19න් පහළ සෙල්ලම් කරලා අවුරුදු 3ක් ගියාට පස්සෙවත් එයාට කිසිම අවස්ථාවක් ලැබුණේ නැති නිසා පුතා එංගලන්තයට යන්න හැදුවා. ඒත් චමිල සර් තමයි ඒ ගමන වැළැක්වුවේ”.

“පුතා ශ්‍රී ලංකා පිලට තේරුණා කියන ආරංචිය පුතාමයි මට කිව්වේ. ඒ වෙලාවෙ ඇතිවුණ සතුට වචනයෙන් කියන්න බැහැ. මේ අවස්ථාව ලැබෙන තෙක් මගේ මහත්තයා බලාගෙන හිටියත් එයාට ඒක දකින්න වාසනාව නැති වුණා. ඒත් එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති. මේ හතර දෙනා වැදගත් ගමනක් යනකොට තාත්තගේ සොහොනට ගිහින් වැඳලා තමයි යන්නේ.

පුතා අවුරුදු 15න් පහළ සෙල්ලම් කරන කාලේ අර්ජුන රණතුංග මහත්තමයා පුතා පළමුවෙන් ඉගෙන ගත්ත සිරිකුරුස විදුහලට ආවා. එතනදී ක්‍රිකට් සෙල්ලම් කරන දරුවන් පිට්ටනියට දාලා අර්ජුන මහත්මයා පිට්ටනියේ මැද හිටගෙන හිටියා. එතනදී හැමෝම බෝල් කරනවා, බැට් කරනවා දිහා බලන් හිටිය අර්ජුණ මහත්තයා පුතාව අරගෙන බෝල් කරනවා මම දැක්කා.

අර්ජුන මහත්තයා විදුහල්පතිවරයාට කියලා ගිහින් තිබුණා පුතා හරි දක්‍ෂයි, මෙයා කවදහරි ශ්‍රී ලංකාවට සෙල්ලම් කරනවා කියලා. විදුහල්පතිතුමා මට ඔය දේ කිව්වහම මගේ ඔළුවට ඒක තදින්ම වැදුණා. ඒ පාර මම හිතාගත්තා පුතාට ගමනක් තියෙනවා කියලත්, පුතාට උපරිම සහයෝගය ලබා දෙනවා කියලත්. දැන්නම් මට ගොඩක් සතුටුයි.

මම මහන්සි වෙච්ච එකේ ප්‍රතිඵලය ලැබුණා කියලා අද මට හිතෙනවා. ප්‍රවීන්ගේ අයියා මේ වෙනකොට නීතිය හදාරනවා. තුන්වැනියා මේ පාර උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් කරලා ‘ඒ’ සමාර්ථ දෙකයි, ‘බී’ සමාර්ථයක් අරගෙන තියෙනවා.” යැයි පැවැසුවේ තමන්ගේ මහන්සිය අපතේ නොගිය බව පසක් කරමිනි.

“කළුතර සිරිකුරුස විදුහලේ කැමිලස් ෆාදර් ඇතුළු සියලුම විදුහල්පතිවරුන්ට, සිරිකුරුස විදුහලේ සමන්ත, සනත්, නෙවිල්, දාබරේ යන ක්‍රිකට් පුහුණුකරණ මහත්වරුන්ට, ක්‍රිකට් භාර ආචාර්යවරුන්ට, සෙබස්තියන් විදුහලේ ඉමල් බොතේජු, නලින් විජේසිංහ යන ක්‍රිකට් පුහුණුකරණ මහත්වරුන්වත්, බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමාත්, කළුතර ක්‍රිකට් ඇකඩමිවල පුතාට පුහුණුව ලබා දුන් සළුවඩන, නීල් රාජපක්‍ෂ යන මහත්වරුන්ටත්, වසර 8ක් පමණ පුතාට සෑම අතින්ම ගුරුහරුකම් ලබා දුන් චමිල ගමගේ සර්වත් මතක් කරන්නම ඕන.

පළමු තරගයේදීම ලොව ක්‍රිකට් ප්‍රජාවේම අවධානයට ලක්වූ ප්‍රවීන්ගේ දුරකතනයට විවේකයක් නොතිබුණු අවස්ථාවක වුවද තමන්ට හිමි වූ මෙම අනගි අවස්ථාව පිළිබඳව ඔහු අපට පැවැසුවේ මෙවැන්නකි.

“අපේ කණ්ඩායමෙන් උපරිම සහයෝගය මට ලැබුණා. දිමුත් අයියයි, අනෙක් ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම කිව්වේ ඔයා කිසිදේකට බයවෙන්න එපා, ක්ලබ් එකේ කරපු දේ ඔයා උපරිමය කරන්න. මෙතන කිසිම ප්‍රෙෂර් (පීඩනයක්) එකක් නැහැ, කලබල වෙන්න එපා කියලයි. ඒ සඳහා මමත් එක්ක එකම ක්ලබ් එකේ සෙල්ලම් කරන රමේෂ් අයියගෙනුත් උපරිම සහයෝගය ලැබුණා. කොහොම වුණත් මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ සිහිනයක් වුණේ ශ්‍රී ලංකා පිලට සෙල්ලම් කරන එක. ඒක මගේ විතරක් නොවෙයි මගේ තාත්තගේ, අම්මගෙත්, අපේ පවුලේ හැමෝගේම ලොකු සිහිනයක් වෙලා තිබුණා. කරුණු කාරණා කෙසේ වුවත් ප්‍රවීන්

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන බවට කිසිදු සැකයකින් තොරව සනාථ කළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් කරුණු විමසීමට අමතක නොකළෙමු.

“මෙයට අවුරුදු 8කට කලින් මම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙලා ඉන්න කාලේ හැම සෙනසුරාදාවකම ක්‍රිකට්වලට දක්‍ෂතා තියෙන අඩු ආදායම් ලබන පවුල්වල දරුවන් වෙනුවෙන් පුහුණු සැසියක් සංවිධානය කළා. ඒක කරගෙන යද්දී එක් අවස්ථාවක කළුතර සිරිකුරුස විදුහලේ විදුහල්පති කැමිලස් පියතුමා මගෙන් ඉල්ලීමක් කළා ඒ පාසලේ දරුවනුත් මේ පුහුණු කඳවුරට සම්බන්ධ කරගන්න කියලා. ඒ අනුව තමයි මම මේ අයට පුහුණු සැසියක් පැවැත්වුවේ.

එතැනදී වමතින් දඟ පන්දු යවන එක දරුවෙක් පළමු පන්දුව යවපු ගමන්ම මගේ ඔළුවට ආවේ අජිත් ද සිල්වා. ඒ පාර මම එයාට තව පන්දු දෙකක් යවන්න කිව්වා. මේ දරුවා ඉතාමත්ම දක්‍ෂ විධියට පන්දුව දඟ කවලා නියම ස්ථානයේ පතිත කරමින් හොඳට පන්දු යැව්වා. එතැන හිටියා ඒ පුහුණු සැසිය සංවිධානය කරන්න උදවු කරපු කළුතර ක්‍රිකට් සම්බන්ධීකාරකවරයකු වුණු තිස්ස සිල්වා. තිස්සට මම කිව්වා මේ දරුවා කවදහරි ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න පුළුවන් දරුවෙක්, මෙයාව හොඳට බලාගන්න කියලා.

මම ඒ දරුවගේ අම්මට කතා කරලා කිව්වා ‘මේ දරුවා කවදහරි ශ්‍රී ලංකා සෙල්ලම් කරනවා. ඒ නිසා මෙයාට දිගටම ක්‍රිකට් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න කියලා’. ඒ අම්මා කිව්වා ප්‍රවීන්ගේ තාත්තත් මේ ළඟදි නැති වුණා. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අයටත් ඉගෙන ගන්න උදවු කරන ගමන් තමයි ප්‍රවීන්ට ක්‍රිකට් ගහන්න උදවු කරන්නේ කියලා.

මම ඒ අම්මට කිව්වා මොන ගැටලු ආවත් ප්‍රවීන්ගේ ක්‍රිකට් නවත්වන්න එපා කියලා. එදා මම එහෙම අඳුනගත්ත ප්‍රවීන් පළමු ටෙස්ට් තරගයේදීම විශිෂ්ට දස්කම් දක්වපු එක ගැන මට හරිම සතුටුයි. ක්‍රිකට් දක්‍ෂතාව වගේම විනයත්, හැදියාවත්, මුල අමතක නොකිරීමත් දිගටම පවත්වාගෙන ගියොත් ප්‍රවීන්ට විශාල ක්‍රිකට් අනාගතයක් තියෙන බව මම අදත් කියනවා” යනුවෙන් එදා මෙන්ම අදත් දැඩි විශ්වාසයකින් යුතුව අර්ජුන පැවැසීම තුළ ප්‍රවීන් කෙතරම් දක්‍ෂයකුද යන්න තේරුම් ගත හැක.

කෙසේ වෙතත් තිස්ස සිල්වා මහතාද එදා අර්ජුන සඳහන් කළ අනාවැකිය පිළිබඳව සනාථ කළේය. “අර්ජුන අයියා මේ දරුවව ළඟට ගෙනැල්ල පන්දු යවන්න කියලා කිව්ව දෙයින්ම මට තේරුම් ගියා මේ දරුවා ගැන අර්ජුන අයියාගේ හිතට වැදුණා කියලා.

ඒ දරුවා පළමු හා දෙවැනි පන්දුව දානකොටම අර්ජුන අයියා මම දිහාට හැරිලා කිව්වා ‘තිස්ස, මේ දරුවා නොවරදවාම ශ්‍රී ලංකාව නියෝජනය කරයි, ඒ නිසා මේ දරුවා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. අර්ජුන අයියා අපෙන් කළ ඉල්ලීම නිසා අපි ඒ දරුවා ගැන අවධානයෙන් බලාගෙන හිටියා. අදත් මට පුදුමයි අර්ජුන අයියගේ ඒ අනාවැකිය ගැන.”

වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් මට තියෙනවා. තාත්තා නැති වුණාට පස්සේ එදා ඉඳන් අද වෙනකල් මගේ ළඟම හිටියේ අම්මා නිසා මම ටෙස්ට් පිලට තේරුණා කියන ආරංචිය මම මුලින්ම කිව්වෙත් අම්මට. එදා තරගයට යන කොට පොඩි බයක් තිබුණත් ඒ බය කණ්ඩායමේ සියලු දෙනාම නැති කළා. ඒ සම්බන්ධයෙන් ඒ අයියලාටත්, පාසල් කාලේ ඉඳලා අද වෙනකම් මට සහයෝගය ලබා දුන් සියලු දෙනාටමත් ස්තුති කරන්නම ඕන.

විචිත්‍ර වීරසිංහ

Courtesy – Sunday Mawbima

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්