අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ඉදිරි මාස කිහිපය තුළ රටේ උද්ධමනය 40%කින් පමණ ඉහළ යා හැකිය. දිළිඳු සහන වැඩි කිරීමෙන් ඇති වන ඉල්ලුමේ ප්‍රසාරණයත් උද්ධමනය ඉහළ යෑමට බලපාන සාධකයකි. එහෙත් පවතින ජීවන දුෂ්කරතාවලට අනුව එම කරුණු ඉටු කිරීම සාධාරණ බව පෙනී යයි. ජනතාව ජීවත් කරවන අතර, ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම අගමැතිවරයාගේ ඉලක්කය බව පෙනී යයි. මේ සමඟ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට ද පියවර ගත යුතුව තිබේ. එක අතකින් බදු ප්‍රතිශතය ඉහළ දැමීම වැදගත්ය. තව අතකින් අපනයන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය.
ඊළඟ මාස කිහිපය සඳහා සහන අයවැයක් ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් බව පෙනී යයි. ඇතැම් විට ලබන සති දෙක ඇතුළත එය ඉදිරිපත් කිරීමට පුළුවන. සහන අයවැයෙහි මූලික අරමුණ ජනතාවගේ ආර්ථික පීඩනය අඩු කිරීම බව සඳහන් වී ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරමින් ජීවන බර සැහැල්ලු කිරීමට සහන අයවැය උපයෝගි වනු ඇතැයි විශ්වාස කළ හැකිය. සහන අයවැයෙහි රහස් හෙළි වී නැතත් බදු ප්‍රතිශතය ඉහළ යන බවට ද ඉඟි පළ වී ඇත. මෙය උපායමාර්ගික වශයෙන් වැදගත් බව බැලූ බැල්මටම පෙනී යයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මැතිනිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් මේ මොහොතේ සිහියට නැඟේ. දීර්ඝ කාලයක් අසිරිමත් රාජ්‍යයක් ලෙස පැවතුණු ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්ත්වය වේදනාකාරීය. මේ ආර්ථික අර්බුදයට මූලික හේතුව වැරැදි මූල්‍ය කළමනාකරණයයි. එය වහා නිවැරැදි කර ගත යුතු අතර, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන වැරැදි කළමනාකරණය යන්න අපගේ අවධානයට ලක් විය යුතු කාරණයකි. අයවැය සකස් කිරීමේදී මූල්‍ය කළමනාකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය. අනාගත ප්‍රතිවිපාක පිළිබඳ සලකමින් තීන්දු – තීරණ ගත යුතුව තිබේ.
ලෝක බැංකුවේ ප්‍රධානියා වන ඩේවිඩ් මැල්පාස් මහතා ද ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් යම් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. ඊට අනුව ඉදිරි කාලය තුළ සමස්ත ලෝකයටම බලපාන අයුරින් ආහාර, බලශක්ති හා පොහොර යන ක්ෂේත්‍රවල අර්බුද ඇති වන්නට පුළුවන. ඩේවිඩ් බැල්පාස් මහතා එය ලෝක ආර්ථික අවපාතයක් ලෙස හඳුන්වයි. චීනයෙන් ආරම්භ වූ කොවිඩ් ලෝක වසංගතය ද රුසියා යුක්රේන යුද්ධය ද මීට හේතු සාධක ලෙස ඔහු පෙන්වාදෙයි. අපේ ආර්ථික විශේෂඥයන් කුමන මතවාද පළ කළ ද කොවිඩ් වසංගතය හා රුසියා – යුක්රේන යුද්ධය ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කර තිබේ. අප දැන් පසු වන්නේ එහි ප්‍රතිවිපාක තීව්‍ර වන අවස්ථාවක බව ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරන අය වටහා ගත යුතුව තිබේ.
ලෝකය මීට වඩා දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දී ඇත. මූල්‍ය අර්බුද, ලෝක වසංගත, ස්වභාවික විපත් ඊට නිදසුන් ලෙස පවතී. එහෙත් ලෝකයේ කිසිදු රාජ්‍යයක් එම අර්බුද හමුවේ පරාජයට පත් වී නැත. කාලය ගනිමින් හෝ අර්බුද පරාජය කොට නැඟී සිටින්නට රටවල් සමත් වී ඇත. අපට ද මේ අර්බුදය ජය ගත හැකි බවට විශ්වාසයක් ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කිරීම සිදු විය යුතුය.