May
31

ආයෙ රඟපාන්නෙ උසස්පෙළ විභාගෙට ලියලා

 
793 Views
   
Acting-again-after-writing-the-AL-examination  

මං කියන්නද රහසක්

මේ අහස ලස්සන ගීයක්

එකම පිටුවක පාට පාටින්

මං ලියූ පෙම් ගීයක්

මගේ විතරමයි අහසත්

තුරුණු රංගන ශිල්පීනී ටාෂියා කාලිදාස මේ විදියට ගිටාරය වයමින් මුමුණන්නේ හැපි බර්ත් ඩේ චිත්‍රපටයේ ඇය රඟපාන චරිතය වෙනුවෙනි. මල්කි විජේමාන්නගේ පද රචනයට චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය ගයා ඇත්තේ අයිෂා ෂාර්මින්ය. මේ කතා කරන්නට සූදානම් වන්නේ මේ ආදරණීය ගීතය ගැන නොවේ. හැපි බර්ත්ඩේ චිත්‍රපටයේ චරිත රංගනයක යෙදෙන තුරුණු ශිල්පිනී ටාෂියා කාලිදාස සමග තාරුණ්‍යයේ කතා බහක නිරතවීමටය.

ටාෂි, හැපි බර්ත් ඩේ ෆිල්ම් එක ගැන කතා කරන්නට පෙර ටාෂි ගෙ බර්ත්ඩේ එක ගැන කතා කරමු?

මගේ හැපි බර්ත්ඩේ එක ඔක්තෝබර් 4 වැනිදා.

හැපි බර්ත් ඩේ, ටාෂිගෙ කීවැනි චිත්‍රපට රංගනය ද?

මගේ ප්‍රථම චිත්‍රපට රංගනයයි. ඒ නිසා මගේ රංගන දිවියේ හැපි බර්ත් ඩේ එකක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවනි.

මේ හැපි බර්ත් ඩේ රූගත කිරීම් කළෙත් ටාෂිගේ සැබෑ ජීවිතයේ බර්ත් ඩේ එක තිබූ දිනවල දී නේද?

මගේ උපන්දිනය යෙදී තිබුණුදාට සතියකට විතර පස්සෙ මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තෙ. ඇඩම්ස් මහත්තයා තමයි මුලින්ම මේ චිත්‍රපටයෙ චරිතයකට මාව යෝජනා කරලා තිබුණෙ. ඊට පෙර මම එතුමා එක්ක වැඩ කරලා තිබුණා. පසුව අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මහතා කතා කරලා මට මේ චිත්‍රපටයෙ චරිතය ගැන පැහැදිලි කළා. එතුමා තමයි මාව මේ චරිතයට තෝරා ගත්තෙ.

චරිතයේ නම?

නතාලියා.

නතාලියා මොන වගේද?

ඇය එන්නෙ එංගලන්තයේ ඉඳලා. අම්මයි, නංගියි එක්ක එක් රාත්‍රියක සොරුන් පිරිසකට මැදිව මුහුණ දෙන සිදුවීමක් චිත්‍රපටය පුරා විකාශය වෙනවා.

නතාලියාට හොරු එක්ක සටන් කරන්නත් වෙනවා. කොහොමද සටන් ක්‍රම එහෙමත් ඉගෙන ගෙන තියෙනවද?

ඇත්තටම නම් සටන්ක්‍රම දන්නෙ නැහැ, මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුණේ රාත්‍රී කාලයේ දී. ඉතින් දහවල් කාලයේ දී මෙම සටන් ජවනිකා පුහුණුවට ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙක් ඇවිත් අපට කියාදීම් සිදුකළා.

සටන් කරන්න ගිහින් වෙච්ච සිදුවීම් එහෙම තියෙනවද?

සුරංගා අක්කා එක්ක මට ගහගන්න තිබුණා. ඒ අවස්ථාවේදි මගේ කරාබුව පැටලිලා කනෙන් ලේ ගැලුවා. තවත් දර්ශන රූගත කිරීමකදි සූර්යාට මගේ කනට ගහන්න තිබුණා. එයා ගැසූ පහරේ සැරට කන තුවාල වෙලා ලේ ගැලුවා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. එයාලටත් හරිම දුකයි. එයාලා ඔක්කෝම ඒ වෙලාවෙ හරියට දුක්වුණා. මොකද ඒ කනට ගැසූ පහර නිසා මුහුණත් තඩිස්සි වෙලා තිබුණෙ. සටන් කරද්දි වැටිලා දණහිසත් තුවාල වෙලා ටිකක් අමාරු වුණා. මුලින්ම මේ චිත්‍රපටයෙ රූගත කළේ මම (නතාලියා) එයාගේ අම්මා (දිල්හානි අශෝකමාලා) සහ නංගි (යොහානි) එක්ක වාහනයේ එද්දි ගීතයක් කියන දර්ශනයයි.

මොකක් ද ගීතය?

මං කියන්න ද රහසක්

මේ අහස ලස්සන ගීයක්

ටාෂිගෙ ජීවිතෙත් රහස් තියෙනවද?

රහසක් කියන්නෙ ඉතින් රහසක්නෙ. ඒක කිව්වොත් රහසක් වෙන්නෙ නැහැනෙ.

කමක් නැහැ අපට කියන්න?

අම්මයි අක්කයි මා ළඟ ඉතින් බැහැ කියන්න. අනේ එහෙම නැහැ අනේ, මොකද මට රහස් නැහැ. සෑම දෙයක්ම අම්මට කියනවා. ඉතින් රහස් නැහැ.

ටාෂියා සැබෑ ජීවිතේ රහස් කියන්නෙ කාටද?

අම්මා එක්ක. එදිනෙදා වෙන සියලු දේ එකක් නෑර අම්මට කියනවා.

අම්මයි අක්කයි මේ ෆිල්ම් එක බැලුවද?

අම්මා නම් නැරඹුවා. අක්කාට තවම බැරි වුණා. අම්මයි තාත්තයි දෙන්නම ප්‍රිමියර් එකට ආවා මංගල දර්ශනය නරඹන්න.

හැපි බර්ත් ඩේ නරඹන අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

සමහරු අහනවා ඔයාට සටන් කරන්නත් පුළුවනිද? කරාටේ ඉගෙන ගෙන තියෙනවද? එහෙම කියලා. හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ.

කොහොමද දිල්හානිගෙන් ලැබුණු ප්‍රතිචාර?

ඇය වැනි ප්‍රවීණ ශිල්පිනියක් චිත්‍රපටයේ මගේ අම්මා වීමම මම ලැබූ ලොකු භාග්‍යයක්. ඇය හරිම හොඳයි. නිතරම මාව අගය කළා. රූගත කිරීම්වලට පෙර දර්ශන තලයේ සිටිය දී, මම ඇය ළඟින් යනකොට ‘ආ ඔන්න අපේ ස්ටාර්’ කියලා මාව දිරි ගැන්වූවා. ඉතින් මට ගොඩාක් ආඩම්බරයි.

හැපි බර්ත් ඩේ, රස මතකයන් මොනවද?

හොඳම මතකය වුණේ දවල්ට නිදාගෙන රෑට අවදියෙන් ඉන්න සිදුවීමයි. මොකද මේ චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම් සිදුකළේ රාත්‍රී කාලයේ දී. ලොකු බංගලාවක ෂූටිං කළේ. මේ සියල්ල මට හොඳ මතකයන්.

කොහොමද ටාෂිගෙ ජීවිතේ? සරුද?

මට හැමදාම සරුයි. අම්මා, තාත්තා, අක්කා, නෑදෑයෝ, රසිකයින්, ඒ ඔක්කෝම එක්ක මේ පුංචි කාලය වන විට පුංචි ජනප්‍රියත්වයක් හරි ලැබීම සතුටක්.

තවම ඒ ලෙවල් විභාගයට ලිව්වෙත් නැහැ නේද?

ඔව්, ඊළඟ අවුරුද්දෙ ලියන්න තියෙන්නෙ

ඒ නිසාද රඟපෑම් අංශයේ සියලු දේ වෙතින් ඉවත් වෙලා දිගට හරහට පාඩම් කරන්නෙ?

එහෙමම කියලා මහා ලොකුවට මහන්සි වෙන්නෙ නැහැ. ඒ ලෙවල් හොඳට කිරීම තමයි අරමුණ. මම ඒ ලෙවල් කරන්නෙ භාෂා අංශයෙන්.

භාෂා කීයක් ඉගෙන ගන්නවද?

ප්‍රංශ සහ ජර්මන්. අනෙක් විෂය තර්ක ශාස්ත්‍රය.

අරගලයට ජර්මන් භාෂාවෙන් කියන්නෙ කොහොමද?

හ්ම්ම් දන්නෙ නැහැ.

ප්‍රංශ භාෂාවෙන්?

ඒකත් දන්නෙ නැහැ. අරගලය කියන එකේ ඉංග්‍රීසි වචනෙ දැනගත්තෙත් මෑතකදි.

වැඩියෙන්ම දැනට පුළුවන් ජර්මන් භාෂාව ද? ප්‍රංශ භාෂාව ද?

ප්‍රංශ භාෂාවට වඩා ජර්මානු භාෂාව අමාරුයි. ප්‍රංශ භාෂාව කුඩා කාලයේ ඉඳලම මම ටික ටික පුහුණු කරන්න පටන් ගත්තා.

ඒ ලෙවල්වලින් පසුව මොන වගේ රැකියාවක් කරන්නද බලාපොරොත්තුව?

ගුවන් සේවිකාවක වීමට.

ටාෂිගෙ අක්කත් ගුවන් සේවිකාවක් ද?

එයා මානව සම්පත් අංශයේ කළමණාකාරවරියක්.

රඟපාන අතරේ, ඒ ලෙවල්වලට පාඩම් කරන්න කාලය තියෙනවද?

මේ දිනවල මම තාවකාලිකව රඟපෑම්වලින් ඉවත් වෙලා ඉන්නෙ. ඒ ලෙවල් විභාගය ඉවර වුණාට පස්සෙ තමයි අයෙත් සුපුරුදු පරිදි රඟපෑමට එන්නෙ.

ටාෂි හොල්මන්වලට බය නැහැලු නේද?

ඔව්, මොකටද නොපෙනෙන දේට බය වෙන්නෙ? කොහොමටත් මම හොල්මන් විශ්වාස කරන්නෙ නැහැ.

ටාෂි වෙන මොනවට ද බය නැත්තෙ?

රඟපාන්න බය නැහැ. මොකද කැමරාව ඉදිරියේ රඟපෑමට හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑ.

වැඩියෙන්ම බය?

අම්මට. අම්මා බැලුවත් බයයි. එයා අපට ගහලා තරවටු කරලා නැහැ. ඒත් ඒ බැල්මෙන් අපට කියාදෙන උපදෙස් බොහෝමයි. අක්කයි, මමයි දෙන්නම වැඩියෙන්ම බය අම්මට. හැබැයි මගේ හොඳම යාළුවත් අම්මා.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්