Feb
27

දුෂ්ටයාගෙ චරිතයට හුඟාක් කැමැතියි – මේ මගෙ ආදර කතාවද මන්දා

 
2069 Views
   
I-like-the-character-of-the-villain-very-much---why-is-this-my-love-story  

කියා දෙන්න ආදරේ තරම් හි නිර්වාන් – දිගැසි කියන්නෙ මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියම පෙම් යුවළක්. මේ දෙදෙනාට අද බොහෝ දෙනෙක් ආදරය කරන නිසාම ඔවුන් ගැන කතාබහ කරන නිසාම මෙවර සඳැල්ලෙන් මේ දෙපළ ගැන කතා කරන්නට ඉඩක් වෙන් කරන්න හිතුවා.

නිර්වාන් මේ දිනවල ගොඩක් බැනුම් අහනවා නේද?

ඔව්. මේ ටිකේ නම් ගොඩක්ම බැනුම් තමයි. ඒ මුලින් මගේ චරිත රංගනයත් එක්ක දැන් රංගනය ටිකක් වෙනස්වෙලා තියෙන නිසා. ඔහු ඇත්තටම බැනුම් ඇහුවත් ගොඩක් හිත හොඳ කෙනෙක්. හැමෝම ගැන හිතලා බලනවා. කාගෙවත් හිත රිදවන්නෙ නැහැ. හිත හොඳ අහිංසක කොල්ලෙක්. බැනුම් අහන්න වෙලා තියෙන්නෙත් අහිංසක නිසානෙ. ඉතින් ඉදිරියේ දී ඒ තත්ත්වය වෙනස්වෙයි කියලා හිතනවා. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය එක්ක දිගටම රැඳිලා හිටියොත් ඒ දේ බලාගන්න හැකිවෙයි.

ඒ බැනුම් අහද්දි මොකද හිතෙන්නෙ?

බැනුම් අහද්දී මට නම් සතුටුයි. මොකද ප්‍රේක්ෂකයෝ කලින් හොඳ කියලානෙ දැන් බනින්නෙ. ඒ බනින්නෙ මම චරිතයට හොඳ සාධාරණයක් කරන නිසානෙ. ඉතින් මට හිතෙනවා තිර පිටපතට අවශ්‍ය විදියට මම මගේ රංගනය ඉදිරිපත් කරනවා ඇති.

අද පුංචි තිරයේ ජනප්‍රිය පෙම් යුවළක් විදියට නිර්වාන් සහ දිගැසිට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා? ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඔව්. ඇත්තටම අපේ චරිතවලට ආදරය කරන බොහෝ පිරිසක් අද වෙද්දි ඉන්නවා. මේ කතාව බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳගෙන තියෙනවා. ඉතින් දිගැසි සහ නිර්වාන් චරිත දෙකත් ප්‍රේක්ෂකයන්ට හිතට වැදිලා ඉන්නවා.

අපි කොහේ ගියත් කතාබහ කරනවා. චරිතවලට ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ විදියට ඉහළ ප්‍රතිචාර ලැබෙන්න අපි දෙන්නගේ රංගනයත් සාර්ථක වෙන්න ඕනැනෙ. මොකද  සචින්තනීගෙන් මට රංගනයේ දී විශාල සහයෝගයක් ලැබෙනවා. අපි දෙන්නට දෙන්නා උදව් කරගන්නවා රංගනයේ දි. නැත්තම් මේ දේ අපිටත් සාර්ථකව කරගන්න බැහැනෙ. කොහොමත් ඇයත් එක්ක වැඩ කරන්නත් ඉතා පහසුයි.

පළමු ටෙලිනාට්‍යයෙන්ම ඔබ දෙපළට ඉහළ ප්‍රතිචාරයක් ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ගොඩාක් සතුටුයි. මට හිතෙන විදියට මුලින්ම ඕනෑ වෙන්නෙ හොඳම නළුවා හෝ හොඳම නිළිය කියන දේ නෙමෙයි. මුලින්ම ජනප්‍රිය නිළිය නළුවා වෙලා ජනතා ආකර්ෂණය දිනාගන්නයි ඕනෑ. මිනිසුන්ගේ ආදරය ඉතාම වැදගත්. රංගනයෙදී ලැබෙන හොඳම සම්මානය තමයි ජනතා සම්මානය. ඒ දේ ගන්න ඇත්තටම මාරම අමාරුයි.

නමුත් මේ ටෙලි නිර්මාණය තුළින් අපිට ඒ ආදරය ලැබිලා තියෙනවා. මට සචින්තනීට සහ ශලනිට ඒ ආදරය ලැබිලා තියෙනවා. ශලනිට නම් ඒ ආදරය කොහොමත් තිබුණා. නමුත් මම සහ සචින්තනී ක්ෂේත්‍රයට අලුත්නෙ. අපි දෙන්නගෙම පළවෙනි නාට්‍යය. ඉතින් අපි මේ දේවල් ගොඩක් මහන්සිවෙලා කැප කිරීමක් කරලා තමයි ලබාගන්නෙ. මේ දේවල්වලට මහන්සි වෙන විදිය ගැන අපි තමයි දන්නෙ. සමහර වෙලාවට කන්න බොන්නවත් වෙලාවක් නැති තරම්. උදේ පාන්දර රූගත කිරීම්වලට ආවම ආයෙත් යන්නෙ මහ රෑ වෙලා. ඒ තරම් කැපකිරීමක් මහන්සියක් දරනවා. නමුත් අපේ නිර්මාණවලට හොඳ ප්‍රතිචාර ලැබෙද්දී අපි කරපු කැපකිරීම් සහ මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙනවා.

මේ සැබෑ වෙලා තියෙන්නෙ සචින් දැකපු හීනයක් ද?

නැහැ. ඇත්තටම මේ මට ලැබුණු අහඹු අවස්ථාවක්. මගේ හීනය වුණේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න. නමුත් යම් යම් හේතු මත මට ඒ අවස්ථාව මඟ ඇරුණා. ඉන් පසුව තමයි රංගනයට එන්න අවස්ථාවක් ලැබෙන්නෙ. මුලින්ම මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ඒ 2017 වසරේ.

ක්‍රිකටර් කෙනෙක් වෙන්නනෙ හීන දැක්කා කිව්වෙ? ඒ කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්?

ඔව්. මම දැනටත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ක්ලබ් එකකත් සෙල්ලම් කරනවා මේ වෙද්දී. හොඳටම සෙල්ලම් කළේ පාසලේ දී. නමුත් මම අදටත් ක්‍රීඩාව අතඇරලා නැහැ. ඉඩක් ලැබෙන විදියට ඒ දේටත් සම්බන්ධ වෙනවා.

ඉදිරියේ දී කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොයි විදියට ද සැලසුම් කරලා තියෙන්නෙ?

ඉදිරියෙදී නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම ඉදිරියෙදී චරිත භාරගද්දි ටිකක් පරීක්ෂාකාරී වෙන්න ඕනෑ. මොකද මට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය ගැනත් දැන් හිතන්න ඕනෑ. ඒ නිසා ලැබෙන චරිත ඔක්කොම භාරගෙන කරන්න යන්නෙ නැහැ. පුළුවන් තරම් ඉවසගෙන ඉන්නවා හොඳ වැඩක් එනකම්. ඉදිරියෙදී මම සම්බන්ධ වුණ එක නිර්මාණයක් එන්න තියෙනවා. තවත් නිර්මාණයක් සාකච්ඡා මට්ටමක තියෙන්නෙ. ගොඩක් වෙලාවට එකම චරිතයකට කොටු නොවී විවිධාකාර චරිතවලින් ඉදිරියට එන්න තමයි මම කැමති. විශේෂයෙන් පෙම්වතාගෙ චරිතයෙන් මිදිලා දුෂ්ටයාගේ චරිතය වගේ කරන්න ගොඩක් කැමතියි. ඉතින් මම කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය තුළ ද්විත්ව චරිත රංගනයක් කළා දුෂ්ටයා සහ පෙම්වතා දෙකම. ඒක මට ලොකු අවස්ථාවක් වුණා. ඉදිරියෙදිත් මම මට මේ ලැබුණ ආදරයත් ආරක්ෂා කරගෙන මහන්සියෙන් ඉදිරි ගමනක් යන්න තමයි කැමති.

ඒ කියන්නෙ රංගන ශිල්පියෙක් විදියට ඕනෑම අභියෝගයක් භාරගන්න සූදානමින් ඉන්නවා ?

අනිවාර් යෙන්ම මම දැනටත් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉදිරියෙදී වෙනස් චරිතවලට යන්න සූදානම්.

වෙනස් චරිතවලට යන්න කැමතියි කිව්වනෙ? පැවිදි චරිතයකට වගේ යන්න කැමති ද?

ඔව්. අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබුණොත් භාර ගන්නවා.

මේ දවස්වල ජනප්‍රියම පුංචි තිරයේ පෙම්වතෙක් විදියටනෙ? ඉතින් සැබෑ ජීවිතේ පෙම්වතෙක් නෙමෙයි ද?

පෙම්වතෙක් වෙලා හිටියා. ඒත් දැන් නම් නැහැ.

ඒ කියන්නෙ මේ පාර වැලන්ටයින් නැහැ?

නැහැනෙ. මේ වතාවෙ වැලන්ටයින් සමරන්න වෙන්නෙ තනිකඩ කොල්ලෙක් විදියට.

සමරලා නැද්ද මීට පෙර?

එක වතාවක සමරලා තියෙනවා. මට මතකයි මට එක වතාවක අත් ඔර්ලෝසුවක්, ෂර්ට් එකක් රෝස මලක් එහෙමත් ලැබුණා.

මේ දවස ගැන මොකද හිතෙන්නෙ?

මම හිතනවා වැලන්ටයින් කියලා දවසක් වෙන් කරන එක වටිනවා කියලා. මොකද කැඩිච්ච හිත් දෙකක් වුණත් එකතුවෙන්න මේ දවස සමහර වෙලාවට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් එක දවසක විතරක් ආදරේ පෙන්නන්නෙ නැතිව හැමදාම ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නෙ.

දිගැසි නිර්වාන් ප්‍රේමයට කණ කොකා හඬලා වගේ නේද?

ඔව්. මේ දවස්වල නම් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නෙ. තවම හිතාගන්න බැරිව ඉන්නෙ දිගැසිට මොනවා වෙයි ද කියලා. මොකද මේ ටිකේ හැඬූ කඳුලින්නෙ ඉන්නෙ. ඉදිරියට තවත් ගොඩක් අඬන්න වෙයි වගේ. ඉතින් බලමු ඉදිරියෙදී දිගැසිට මොකද වෙන්නෙ කියලා.

මේ අනුවේදනීය කතා පුවතක් නේද?

ඔව්. ඇත්තටම තුන්කොන් ආදරයක් විදියට ගලාගෙන යනවා. ප්‍රේක්ෂකයන්ටත් ලොකු කුතුහලයක් තියෙනවා මේ සම්බන්ධව. මොකද ගොඩක් දෙනෙක් අද වෙද්දි මේ කතාවට ඇබ්බැහිවෙලා ඉන්නවා. ඒ දේ අපිට හොඳින්ම තේරෙනවා. ලැබෙන ප්‍රතිචාර වලින්. පෞද්ගලිකව මුණගැහෙන පිරිස වගේම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් අති විශාල විදියට ප්‍රතිචාරයන් දක්වනවා. ඉතින් මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ නාට්‍යයේ අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙනවා.

සචින්තනීට දිගැසි චරිතය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මට දිගැසි හරිම පව් කියලා තමයි හිතෙන්නෙ. ඒ වගේම කියන්න ඕනෑ මගේ සැබෑ චරිතයට දිගැසි චරිතයේ ගොඩක් සමානකම් තියෙනවා. සමහර වෙලාවට මේ සචින්තනීගේ කතාවක්දෝ කියලා හිතෙන තැනුත් තියෙනවා.

ඒ කියන්නෙ සචින්තනීගෙ ආදරය මැදටත් කෙනෙක් එන්න උත්සාහ කළාද?

ඒක තමයි කිව්වෙ. මේ මගේම ආදර කතාවක්දෝ කියලාත්. තමන්ගේ ආදර කතාවට තවත් කෙනෙක් එනවා කියන එක ලස්සන ආදර කතාවක් දෙකඩ වෙන්න විශාල හේතුවක් වෙනවා. ඒ වගේ අත්දැකීම් අද බොහෝ දෙනෙක්ට තියෙනවා. සමහරවිට මේ කතාවට ගොඩක් දෙනෙක් ඇබ්බැහිවෙලා ඉන්නෙත් මේ ඔවුන්ගෙම කතාවක් නිසා වෙන්න පුළුවන්. මෑත කාලයේ ගොඩක්ම මෙවැනි කතා තියෙනවා. ඉතින් දිගැසිට වගේම මේ දේවල්වලට සචින්තනීටත් මුහුණදෙන්න වෙලා තියෙනවා.

ඒ කියන්නෙ ඔබ සැබෑවට මේ චරිත තුළ ජීවත් වෙනවා?

අනිවාර්යයෙන්ම. මොකද අපි දැන් කාලයක් තිස්සෙ මේ නාට්‍ය එක්ක ඉන්නවා. රූගත කිරීම් කරගෙන යනවා. එතකොට දැන් ඒ චරිතත් අපේ වෙලා. ඒ වගේම අපේ කණ්ඩායමේ රංගන ශිල්පීන් සහ අනිත් හැමදෙනාටමත් අපේම පවුලක් වගේ තමයි දැන්. ඒ තරමට බැඳිලා ඉන්නෙ.

මේ ටෙලි නිර්මාණයක් වුණත් මිනිස්සු මේ කතාව තුළ ජීවත්වෙනවා. නිර්වාන් – දිගැසි ආදර කතාවට කැමති පිරිසක් ඉන්නවා නිර්වාන් ස්නේහා ආදර කතාවට කැමති පිරිසක් ඉන්නවා. ඉදිරියෙදි නිර්වාන් කාට අයිති වෙයිද දන්නෙ නැහැ නේද?

ඒක ඇත්තටම කියන්න බැහැ. තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා සහ අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රත්නායක තමයි ඒක දන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනැ පිටපත් රචනය, අධ්‍යක්ෂණය, රංගනය මේ හැමෝගෙම සාර්ථකත්වය මත තමයි ප්‍රේක්ෂකයො අද මේ විදියට ප්‍රතිචාර දක්වන්නෙ සහ ලොකු කුතුහලයකින් මේ දිහා බලාගෙන ඉන්නෙ. මුලදි ඇත්තටම දිගැසිට ගොඩක් දෙනෙක් බැන්නා ඕනෑවට වඩා නිර්වාන්ගෙ පස්සෙන් යනවා කියලා. ඉතින් දැන් තවත් පිරිසක් ස්නේහාට බනිනවා නිර්වාන්ගෙ පස්සෙන් යනවා කියලා. ඒ විදියට ගිහින් ඇත්තටම ඉදිරියෙදී මොනවා වෙයිද දන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ නිර්වාන් දිගැසි ආදර කතාව අවසන් වෙයි කියලාත්. බලාගෙන ඉන්න තමයි වෙන්නෙ. නිර්වාන්ව ලැබෙන්නෙ දිගැසිට ද? ස්නේහාට ද කියලා?

සචින්තනීට ඇත්තටම සචින්ව මුණගැහෙන්නෙ කොයි කාලෙ ද?

මට සචින්ව මුණගැහෙන්නෙ හිරු අවුරුදු කුමරා කුමරිය තරඟයේදී. අවසන් 12 දෙනා අතරට එන්න හැකිවුණා. අපි දෙන්නාට ඒ 2019 වසරෙදි. එහිදී තමයි සචින්ව දැන හඳුනාගන්නෙ. නමුත් ඒ කාලෙදී දැන් වගේ නම් යාළුකමක් තිබුණෙ නැහැ. මේ නාට්‍යයට සම්බන්ධවීමත් එක්ක තමයි අපි හොඳම යාළුවා වුණේ.

හොඳම යාළුවො විතර ද?

ඔව්. මම සචින් සහ ශලනි අක්කා හොඳම යාළුවො, සහෝදරයො වෙලා ඉන්නවා දැන්.

සචින්, සචින්තනී, ශලනි තිදෙනාටම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවනෙ දැන්. සමාජ ජාලා ඔස්සේ ගොඩක් ජනප්‍රියයි. ඔවුන් එකතු කරන කමෙන්ට්ස් බලනව ද?

අනිවාර්යයෙන්ම බලනවා. මොකද මම හරි ආසයි ඒවා කියවන්න. මට කෙනෙක් කමෙන්ට් කළොත් මම සාමාන්‍යයෙන් ඒවට ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඒ ප්‍රතිචාර ගැන හරි සතුටුයි. ඒවා බලන එකත් හරි විනෝදයක්. සමහර කමෙන්ට්ස් හරිම සුන්දරයි. දකිද්දිත් හිනා යනවා. ඇත්තටම ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය අපේ චරිත වැළඳ ගන්න විදිය සහ ඒවා බලන එක අපේ පැත්තෙන් ලොකු උදව්වක්. මම විශ්වාස කරන විදියට. මොක ද ඒ ප්‍රතිචාර අපිට ගොඩක් වටිනවා ඉදිරි ගමනක් යන්න.

නාට්‍යය රූගත කිරීම්වල දී සිදුවුණ මතකයෙ රැඳෙන සිදුවීම් ඇති ?

අම්මෝ ඔක්කොම මතකයේ රැඳෙනම සිදුවීම් තමයි. එක දවසක් කොට්ටාවේ රූගත කිරීම් සිදුකරද්දී කොරෝනා වැඩිම කාලෙදි. පාරෙ අයිනෙ මගෙයි සචින්ගෙයි රූගත කිරීමක් තිබුණා. ඒ මුල් කොටස්වල වගේ. ඉතින් අපි රූගත කිරීම්වල යෙදිලා ඉද්දි මාස්ක් පාවිච්චි කරන්නෙත් නැහැනෙ. අපි ඒ රූගත කිරීම් කරන අවස්ථාවෙ කැමරා එහෙමත් ඈතින් තිබුණෙත්.

මොකද පාරෙනේ රූගත කිරීම තිබුණේ. ඉතින් ඒ තැනට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපිට බැනගෙන බැනගෙන ගියා. සචින් ඒ මොහොතෙම සාක්කුවෙන් අරගෙන මාස්ක් එක දාගත්තා. මට මාස්ක් එකක් නැහැනෙ. ඉතින් අපි රූගත කිරීමක් කියලා පොලිස් නිලධාරියා පසුව තමයි දැන ගත්තෙ.

ඉතින් මේ ටික කාලෙට ලැබුණු ප්‍රේක්ෂක ආදරේ ගැන මොක ද හිතෙන්නෙ?

ඒ ආදරය ගැන කියන්න වචන නැහැ. ඒ තරම් සතුටුයි. මොකද මාව ගොඩක් දෙනෙක් දැන ගත්තෙ දිගැසි චරිතය හරහා ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවෙ පිට ඉන්න අයගෙනුත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරේ ඉතින් මාරම වටිනවා මට.

ප්‍රේක්ෂක ආදරේ ඇර වෙනත් විශේෂ ආදරයක් නැද්ද?

එහෙම ආදරයක් දැන් නැහැ.

ඒ කියන්නෙ සචින්තනීටත් වැලන්ටයින් නැහැ?

මම ජීවිතේට වැලන්ටයින් එකක් සමරලා නැහැ. සමරන්න අවස්ථාවක් උදාවෙලත් නැහැ. ඒ කාලෙදි තියෙන ලව් එකක් හරි නැතිවෙනවා විතරයි. ඉතින් මම ඒ දවසට අම්මට තමයි ආදරෙයි කියන්නෙ. මේ වතාවෙත් ඉතින් සමරන්න වෙන්නෙ නැහැ. කාලය මදිනෙ. නමුත් මම කියන්නෙ පෙම්වතුන්ගේ දවසට විතරක් සීමා නොවී ආදරය කියන දේ හැම දිනයකම වෙනස් නොවී හැමදාම තියාගන්න පුළුවන්නම් එක තමයි සැබෑම ආදරය. එහෙම වුණොත් හැමදාම වැලන්ටයින් තමයි.

ධනු විජේරත්න / ඡායාරූප –  සජීව ලක්ෂාන්

හැඩගැන්වීම – ලක්කිත උක්වත්ත

ඇඳුම් නිර්මාන – ප්‍රනීත් රණවීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්