Apr
13

නන්දා මාලනි ගෝල්ෆේස් පිටියේදි නොකියූ ගී පද

 
849 Views
   
 

එදා 88/89 ප්‍රේමදාසගෙ කාලෙදි “පවන” කියලා ගී ප්‍රසංගයක් තිබුණා. නන්දා මාලනි තමයි පවනේ සිංදු කිව්වෙ.. ඒකෙ සිංදු කියලා එදා නන්දා මාලනි මරණ බයට ඉන්දියාවට පැනලා ගියා

හෙලයෙ මහා ගීත කෝකිලාවිය නන්දා මාලනිට අද පවනෙ සිංදු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඇවිත් කියන්න නිදහස තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මේ රටට දුන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය..

නන්දා මාලිනී ඊයෙ ගෝල්ෆේස් පිටියට ඇවිත් එදා පවනෙ තිබූ ගීතයක පද කිහිපයක් කියනවා.

“යදමින් බැඳ විලංගු ලා – මගේ පුතා රැගෙන යති
ඉදිකටු ඇන ඇඟිලි තලා – දෙතිස්වදය පමුනුවති
අළුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය – නීතිය හා විනිසුරන්ව”

ඒත් මේ ගීතය අදට වලංගු ද..?

එදා 88/89 දී ජවිපෙ කැරැල්ල නිසා මේ රටේ තරුණ තරුණියො 67600 ක් දෙතිස් වදය දීලා අමු අමුවෙ ඝාතනය කරා. ඒත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා වසර 2 1/2 ක් ගතවෙලත් එකම එක මිනිසෙක් වත් ඝාතනය කරලා නෑ.

ගෝඨාභය ගෝ හෝම් කියලා තරුණ තරුණියො දසදහසක් විතර එලියට බැහැලා උද්ඝෝෂනය කරන්න පටන් අරගෙන සතියකට වැඩියි. ගෝඨාභයගෙ ගේ ඉදිරියට ගිහින් පවා ඒ අය උද්ඝෝෂනය කලා විතරක් නෙවේ බස් පවා ගිනි තිබ්බා. ඒත් ඔය දෙතිස් වදය දුන්නා කියලා කිසිම මාධ්‍යයක අපි දැක්කෙ නෑ.

ඒත් ඒ ගීතයෙම තියෙන ඉතිරි පද ටික ඊයෙ ගෝල්ෆේස් එකේදි නන්දා මාලනි කිව්වෙ නෑ. කිව්වා නමි එතන ඉන්න අයට ගාළු පාර මදි වෙනවා දුවන්න. ඒ පද ටිකත් අපි අහලා බලමු..

” කකා බිබී නටන අතර – නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල – පාසල් වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දුටු – මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම – වරදක් දැයි මට කියන්..”

රට ගිනි ගෙන ඇති මොහොතක ගෝල්ෆේස් එකේ කකා බිබී නටන නරුමයන් කවුද…?

පන්දූ කෙලින ඉහළ පෙලේ පාසල් වල අමනයන් කිව්වෙ සංගක්කාරට, රොෂාන් මහනාමට නෙවේ වෙන්නැති කියලා මම හිතනවා.

මේ ගීතයෙ ඉතිරි පද ටික තවත් ලස්සනයි..

“ගිනිගන්නා රටක කෙලින – මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි – සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා – මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව් ලෙස මම ඉන්නම් – එවන් පුතුන් ලඟ උතුම්”

ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්.. මේ පුතුන් මී හරකුන් ලෙස ගෝල්ෆේස් එකේ කෙලින පිස්සුව ගැන ඊයේ දිනයේදි උපුල් ශාන්ත සන්නස්ගල ලස්සනට පැහැදිලි කරා.. මෑත කාලයේදී සිර ගෙයක් තුළ මිය ගිය පුතෙක් ගැන වාර්තා වන්නේ ද නැත. ඒ නිසා ඇයගෙ කිරි අම්මා සිහිනය අදට වලංගු නැත.

නන්දා මාලනීය රෑ 12 ට 1 ට විතර ගෝල්ෆේස් පැත්තෙ ගියා නම් බීලා වැටිලා ඉන්න දරුවො දැකලා ” කෝටි ගණන් බිහිවේවා – මගෙ පුතු වැනි තව පුතුන් ” කියන කෑල්ල අනිවාර්යයෙන්ම ලොවෙත් කියන්නෙ නෑ.

එදා මේ ගීතය කියූ නන්දා මාලිනීය සහ මේ ගීතය ලියූ සුනිල් ආරියරත්න ඉන්දියාවට පැනලා ගිහින් ජීවිතය බේර ගත්තා. ඒත් එදා මේ සිංදුව ලියලා පෝස්ටර් ගහපු දහස් ගණනකට මේ රටින් පැනගන්න බැරි උනා. ඔවුන් ජීවිතයෙන් සමුගත්තා.

නන්දා මාලනිගෙ මම ආස කරන තවත් ගීතයක් තියෙනවා..

උඩඟු ලියන් ගොතා බඳින – නීල වරල සරසන්නට

මා පිපුනේ නැත – මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවකුගේ
අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිල්ලෙන්,
තැලී වෙළී සැනහී මියයන්නෙම් …

මගේ පරම පැතුම එයයි
එමඟට මා විසිකරන්න…

ආඩම්බරකාර කොළඹ හතේ නෝනලාගෙ කොන්ඩයෙ ගහන මලක් වන්නට මා පිපුනෙ නැත. රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවකුගෙ මළමිනිය ගෙනියනකොට ඒ මාර්ගයට මා විසි කරන්න. ඒ පෙරහැරේ යන ජනතාවගෙ පයට පෑගි පොඩි වී මිය යාම මට ඇති එකම බලාපොරොත්තුවයි.

එහෙම කියපු නන්දා මාලනීට පේන දුරින් ගෝල්ෆේස් පිටියෙ රට වෙනුවෙන් කැප වුණු රණවිරුවෙක් වෙච්ච ශවේන්ද්‍ර සිල්වාගෙ චායාරූපයක් තියලා තියෙනවා ඉලක්කයට වෙඩි තියන පුවරුවක් විදිහට හදලා. හොඳ වෙලාවට නන්දා මාලනි ඒක දැක්කෙ නැත්තෙ.

තව ටිකක් රෑ වෙලා භනන්දා මාලනිය ගෝල්ෆේස් ආවා නම් කොළඹ හතේ ” උඩගු ලියන් ” ද නන්දා මාලනීයට දැක ගත හැකිව තිබුණි.

ගෝල්ෆේස් යාම නොයාම නන්දා මාලනියගෙ පරම අයිතියකි. එයට මට හෝ කාටවත් අභියෝග කල නොහැකිය. ඊයෙත් අදත් මම කැමතිම ගායිකාව නන්දා මාලනියයි. ඇය ගෝල්ෆේස් ගියා කියා එය වෙනස් වන්නේද නැත. හෙටත් මගේ ප්‍රියතම ගායිකාව ඇයයි. මේ ඇයගෙ නොකියූ පද ටික සම්පූර්ණ කරා පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්