Feb
18

සෙක්ස් කියන්නෙ බඩගින්න වගේ අත්‍යාවශ්‍ය සාමාන්‍ය දෙයක්

 
1018 Views
   
Sex-is-as-essential-and-normal-as-hunger  

ඔහු පොලිස් නිලධාරියෙක්. ආරක්ෂාව පතාගෙන නීතිය හමුවට එන සුරූපි තරුණිය තවත් අනාරක්ෂිත වෙන්නෙ ඔහුගේ නොමනා ක්‍රියාකලාපය නිසාවෙන්. පාලනය කරගත නොහැකි හැඟීම්වලට කතා කරන්න ඉඩ දී, ගලාගෙන යන සිද්ධි දාමයක් ඔස්සේ සිනමාපටය ඉදිරියට දිවෙයි. ඒ වෙන කිසිවක් නෙවෙයි , සිනමා ශාලා ගිනියම් කරවන ගිනි මල් පොකුරු යි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව කතා බහකට සම්බන්ධ කරගත්තෙම, මේ මල් පොකුරු ගිනි මල් වුණු හැටි අහන්නයි. ඒ ගැන වගේම තවත් විස්තර ඔහු අපිත් එක්ක බෙදාගත්තා.

මේ දවස්වල ලබන ප්‍රතිචාර ගැන කියලම අපි කතාව පටන් ගනිමු ?

සිහින ගෙනෙන කුමාරිට ලැබෙන ප්‍රතිචාර ගැන කීවොත්, ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා එහි මගේ චරිතයට. වයස් භේදයකින් තොරව ඒ ලැබෙන ප්‍රතිචාරවල කිසිම අඩුවක් නෑ. ඊගාවට ගිනි මල් පොකුරු. සීමාවක් තියෙනවනෙ මේ නිර්මාණය නරඹන්න පුළුවන් පිරිස පිළිබඳව. ඉතින් ඔවුන්ගේ ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. හොඳ සහ නරක කියන දෙකම අඩු වැඩි වශයෙන් ඒ ඇතුළෙ තියෙනවා. මොකද මම කියන පුද්ගලයාට නෙවෙයි ,අදාළ චරිතයටයි මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ.

රංගනය තුළ ඔබට සීමා නෑ කියලා කීවොත් ?

සීමාවක් නෑ ඇත්තටම. හැබැයි එහෙම කියලා හැමදේම කරන්න යන්නෙත් නෑ මම. නිර්මාණාත්මක වටිනාකම, පිටපත අධ්‍යක්ෂවරයා, අනෙකුත් නළු නිළියන් කවුද… ඔය වගේ කරුණු කිහිපයක්ම සලකලයි මම චරිතයකට මගේ රංගනය ලබාදෙන්නෙ.

රංගව දකිනකොට මොකද හිතුණෙ ?

ඔහු නීතිය හසුරුවන පුද්ගලයෙක්. නීතිය රකින්න ඕනි ඔහු නීතිය පාවිච්චි කරන්නෙ තමන්ගෙ වුවමනාවන් වෙනුවෙන්. එහෙම වෙද්දි මිනිස්සු යන්නෙ කවුරු ළඟටද කියන කාරණය නිර්මාණය පුරාවටම ප්‍රශ්න කරනවා. 95%ක්ම හොඳ මිනිස්සු ඉන්න ඔය තැන, 5%ක් විතර රංගලත් ඉන්නවනෙ. මටත් හිතුණෙ ඒකම තමයි.

සාර්ථකයි කියලා හිතුණද ඔබ රසිකයෙක් විදියට නිර්මාණය විඳිනකොට ?

අධ්‍යක්ෂවරයා සතුව තමයි මේ අපි කතා කරන සිනමාව සහ ටෙලි නාට්‍යවල සාර්ථක හෝ අසාර්ථක බව රැඳිලා තියෙන්නෙ. අපේ රංගනය ඔහුට ප්‍රමාණවත් නම් එතන අපි සාර්ථකයි කියන කාරණය කියවෙනවා. එහෙම බලද්දි මං හිතනවා සාර්ථකයි කියලා. හැබැයි ඕක වේදිකාවේ එහෙම නම් වෙනස්. එතන තියෙන්නෙ තනිකරම රංගන ශිල්පීන්ගේ වැඩක්. ඒ මොහොතෙ අපි කරන්නෙ මොකක්ද ,ඒක තමයි රසිකයින් විනිශ්චය කරන්නෙ. කොහොම නමුත් චිත්‍රපටය සාර්ථකයි කියන තැන මම ඉන්නවා. හොඳ සහයෝගයක් තිබුණා කවුරු අතරත්.

අමතක නොවන අත්දැකීම් පිරිලා ඇති මේ නිර්මාණය පුරාවට ?

අමතක කරන්නම බැරි ඉතින් කොරෝනා තමයි. දර්ශන තලයෙ වෛරසය පැතිරෙන්න වුණා. නිර්මාණ කටයුතු නතර කරලා PCR කරන්න සිදුවීම , නිරෝධායනය වෙන්න වීම වගේ දේවල් තමයි අමතක කරන්න බැරි අත්දැකීම්.

ඔබත් එක්ක රඟපෑ ඇය ගැන කතා නොකරම බෑ නේද ?

ඇත්තටම ඇය කළේ කැපකිරීමක්. මොකද අපි මේ නිර්මාණ කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට. ඉතින් අපේ සංස්කෘතිය ඇතුළෙ සමහර කෙනෙක් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න තියෙන ඉඩ වැඩියි. සමහරවිට ආයෙම ඇයට වැඩ නොලැබී තියෙන්නත් පුළුවන් මේ වැනි චරිතයකට පණ දෙනකොට. නමුත් චූලක්ශි ඒ අභියෝග හොඳින් බාරගෙන තිබුණා.

ඇයගෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඇති ඔබට ?

ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. අභියෝගයක් කියලා හිතෙන චරිත බාරගෙන ඉස්සරහට යන්න කැමති කෙනෙක් ඇය. ඒ වගේම හැකියාව දියුණු කරගන්න කැමති කෙනෙක්. අපි ඔය කතා කරන තාරකාවක් කියන තත්ත්වය ‍රැකගන්න ,ඒ වෙනුවෙන් වෙහෙසෙන්න උත්සාහ කරන කෙනෙක්. මම ඇයගෙන් දකින ගුණාංග ඒවා. මේ නිර්මාණය පුරාවටමත් ඇයගෙන් ලැබුණු සහය ඉතාමත් ඉහළයි.

තරුණ නිළියක් එක්ක මේ වැනි රංගනයක යෙදීම අභියෝගයක් වුණේ නැද්ද ?

මොකක්ද කරන්නෙ නෙවෙයි ,ඇයි අපි මේක මෙහෙම කරන්නෙ ‘ කියන තැනින් හිතලා වැඩ කරනවා නම් ,අභියෝගයක් වෙන්නෙ නෑ කිසිම රංගනයක්. එහෙම බලද්දි මේකත් අභියෝගයක් නෙවෙයි. චිත්‍රපටවල රණ්ඩු වෙනවා ,මරාගන්නවා ,බනිනවා හැබැයි ඒ ඇත්තටම නෙවෙයි. ඒවා රඟපෑම්. මෙතනත් එහෙමයි. අර විදියට රණ්ඩු වෙන්නෙ, බැනගන්නෙ ඇත්තටම තරහින් නෙවෙයිනෙ. ඒකම තමයි මේ වගේ රංගනයන් තුළත් තියෙන්නෙ. ඔය එක්කම කියන්න ඕනි සෙක්ස් කියන්නෙ ශරීර අවශ්‍යතාවයක්. බඩගින්න වගේ අත්‍යාවශ්‍ය සාමාන්‍ය දෙයක්. රංගනය තුළ ඒක වෙනස් වෙන්නෙ සවිඥානික සහ අවිඥානික බව කියන කාරණා එක්ක.

දැන්ම විවාහ වෙන්න සූදානමක් නැද්ද ?

මේ අවුරුද්දෙ විවාහය සිද්දවෙනවා.

ඇය ගැනත් කියමුද ?

අපි ඒ කාලෙටම වැඩි විස්තර කතා කරමු.

ඇයත් ගිනි මල් පොකුරු බලන්න ඇති. මොකක්ද ඇය දක්වපු ප්‍රතිචාරය ?

මුලින්ම කියන්න ඕනි ඇය මාවත් මගේ වෘත්තියත් ඉතාමත් හොඳින් තේරුම් අරන් ඉන්න කෙනෙක්. හුස්ම චිත්‍රපටය ගැනත් ඇයට තිබුණෙ හොඳ ප්‍රතිචාරයක්. ඊට පස්සෙ තමයි ගිනි මල් පොකුරු. සාමාන්‍යයෙන් මේ වගේ චරිතවලට පණ දෙන්න මටත් වඩා ඇය කරන කැපකිරීමයි සෑහෙන්න වැදගත් වෙන්නෙ. ඒ හින්දා මේ සාර්ථකත්වයේ ගෞරවය ඇයටයි. මට නිර්මාණ තෝරගන්න දීලා තියෙන නිදහස වෙනුවෙන් ඇයට ස්තූති කරන්න ඕනි. ඒ දරාගැනීමට ස්තූතියි.

දිගටම රඟපාන්නද කල්පනාව ?

ඔව් ඔව්..මං මැරෙන තුරුම කරන්නෙ රඟපෑම ම තමයි.

නඳුනි ආරියවංශ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්