Nov
6

කතරගම තැටියේ අලගිය මුලගිය සම්පූර්ණ කතාව

 
2757 Views
   
 

රුහුණු කතරගම පුදබිම වන්දනා කරගැනීමට ජාති ආගම් භේදයකින් තොරව තරුණ මහලු වැඩිහිටි මෙන්ම කුඩා දරුවන්ද වැල නොකැඩී එන්නේ හාස්කම් ඇතැයි ඔවුහු විශ්වාස කරන බැවිනි. කතරගම දෙවියන් ඉදිරියේ අනේක පුද පඬුරු තබන්නේද එබැවිනි. දෙවියන් පිළිබඳව අති මහත් විශ්වාසයෙන් යුතුව කතරගම වන්දනාවට පැමිණෙන පිරිස මෙන්ම විනෝද වීම සඳහා කතරගමට එන පිරිස් ද බාර හාර වන්නට මෙන්ම පඬුරු පුදන්නට ද අමතක නොකරති. මේ නිසා කතරගම දේවාලයට බැතිමතුන් පූජා කරන වස්තුව අතිමහත් වේ. මෙලෙස දෙවියන් හමුවේ පූජා කරන රන් රිදී මුතු මැණික් වැනි වටිනා භාණ්ඩ ඇතැම් පුද පූජා බාර ගන්නා කපු මහත්වරුන්ට බාර දුන්නත් සාමාන්ය සම්ප්රදාය නම් ඒවා බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට භාර දීමෙන් අනතුරුව දෙවියන් හමුවේ පූජා කිරීම බවයි කියවෙන්නේ.

ඒ අනුව කාර්යාලය මගින් එම පූජා භාණ්ඩ ලේඛන ගත කෙරෙයි. ඉන් අනතුරුව කතරගම දේවාලයට බාර කෙරෙන එවන් වටිනා භාණ්ඩවල බර කිරා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරේ. කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කිරීමෙන් පසු එම භාණ්ඩ භාරගන්නේ තේවාභාර කපු මහතාය.

අනතුරුව ඒවා දේවාල මාලිගාවේ සුරක්ෂිතව තැන්පත් කෙරේ. දේවාලයට ලැබෙන වටිනා භාණ්ඩ ලේඛනගත කිරීමෙන් පසු භාර කෙරෙන්නේ දේවාලයේ ගබඩා රාළටය. මෙලෙස ලැබුණු රන් භාණ්ඩ හා මුදල් මාස කිහිපයකට වරක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වෙයි.

කතරගම දේවාලයේ සියලු වත්කම් වල වගකීම ඇත්තේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාටය. එමෙන්ම බැතිමතුන් පූජා කරන භාණ්ඩ වල වගකීම ඇත්තේ ඔහුටය. මේ නිසා බස්නායක නිලමේවරයා සතු කාර්යභාරය ඉමහත්ය. කතරගම දේවාල මාළිගාව තුළට යෑමට හැකියාව ඇත්තේ සීමිත සංඛ්යාවකට පමණි ඒ දේවාලයේ තේවාවන් කරන කපු මහත්වරුන් 14 දෙනාට අමතරව බස්නායක නිලමේවරයාට බැතිමතුන් පූජා කරන රන් රිදී මුතු මැණික් තැන්පත් කෙරෙනුයේ මෙම මාලිගාව තුළය .

මේ නිසා දේවාලයේ තැන්පත් කෙරෙන එවන් වටිනා දෙයක් සුරා ගත්තේ නම් එය කරන්නේ පිටස්තරයකු නොව දේවාලයට සම්බන්ධ අයෙකි. ඉකුත් දිනෙක බැතිමතෙකු විසින් කතරගම දෙවියන් හමුවේ පූජා කරන ලද ලක්ෂ හතළිහකට ආසන්න වටිනාකමක් ඇති රන් බන්දේසියක් කතරගම දේවාල කඩා වෙන් අතුරුදහන් වීමේ පුවතක් මාධ්ය මගින් ප්රචාරය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිවිණි.

මේ පුවත දුටු රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාද මේ සම්බන්ධයෙන් දැනුවත් විය ඒ වන විට ඔහු මෙවන් රන් බන්දේසියක් දේවාලයට ලැබී තිබුණු බවක් හෝ එම රන් බන්දේසිය දේවාලයෙන් අතුරුදන් වූ බවක් නොදැන සිටි අතර මින් නිලමේවරයා ද පුදුමයට පත්විය.

මෙවන් රන් බන්දේසියක් දේවාල ගබඩාවෙන් අතුරුදහන් වීම විශාල ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන් තම වගකීම ඉටු කළ යුතු බවත් දත් නිළමෙවරයා වහා මේ පුවත ගැන බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා දැනුවත් කළේය. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බස්නායක නිලමේවරයාට දැනුම් දුන්නේ වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි. ඒ අනුව බස්නායක නිළමේවරයා පොලිස්පති චන්දන වික්රමරත්න මහතාට ඔක්තෝබර් 18 වැනිදා මේ බව දැනුම් දුන්නේය.

“දේවාලයේ සියලු වත්කම් වලින් බැතිමතුන් පූජා කරන දේවල් වලත් වගකීම ඇත්තේ දේවාලයේ බස්නායක නිලමේවරයාට. ඒ වගේම පූජා භාණ්ඩයක් නැතිවෙලා කියනවා නම් රටේ පවතින නීතියට අනුව මට කරන්න තියෙන්නේ පොලිස්පතිතුමාට හෝ පොලිසියට පැමිණිලි කරන්න. මේ ගැන 18 වැනිදා මම පොලිස්පතිතුමාට පැමිණිලි කළා.” මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කීවේය.

ඒ වන විට එම රන්තැටිය පූජා කළ අයෙකු ගැන කිසිදු දෙයක් තමා නොදත් බවද ඒ මහතා කීවේය. පොලිස්පතිවරයාගේ නියෝගය මත බස්නායක නිලමේවරයාගේ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසය භාර අධ්යක්ෂවරයාට යොමු කරනු ලැබීය. ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ විමර්ශන භාරවූයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාටයි.

“නෙවිල් පැමිණිල්ලක් කරන්න කතරගම දේවාලයේ නිලමේ එනවා. ඒක කොහොමහරි හොයන්න බලන්න. මේ කතරගම දෙවියන්ට පූජා කරපු දෙයක්නෙ. දේවාලයටත් හානියක් නොවන විදිහට පුළුවන් ඉක්මනට මේ වැඩේ කරන්න.” පොලිස්පතිවරයා එසේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇමතුවේය.

ඉන්පසු ගුණසේකර නිලමේවරයා තමාට ලැබී ඇති තොරතුරු සියල්ල පොලිස් විමර්ශන හමුවේ හෙළි කළේය. ඔහුගේ ප්රකාශය ලබාගැනීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායම කතරගම දේවාල භූමිය බලා ගියහ. විමර්ශන ඇරඹූ නිලධාරීහු කතරගම දේවාලයේ තේවාව කරන කපු මහත්වරුන්ගෙන් ප්රකාශ ලබා ගත්හ.

කපු මහත්වරුන් ගෙන් ප්රකාශ ලබාගැනීමෙන් පසු දේවාලයේ ප්රධාන කපු මහතා ගෙන් ද ප්රශ්න කොට ප්රකාශයක් සටහන් කර ගැනුණි. මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්රමරත්න ගුණසේකර මහතාගෙන් ද ගබඩාරාළගෙන්ද ප්රකාශ ලබාගෙන තිබුණි. විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම දින දෙකක් කතරගම නතරව සිට තවත් තොරතුරු සොයා ගැනීමට උත්සුක වූ අතර අතුරුදහන්ව ඇති රන් බන්දේසිය දේවාලයට පූජා කළ තැනැත්තියගේ නමද අනාවරණය කරගැනීමට කණ්ඩායමට හැකි විය.

රන් තැටිය පූජා කර ඇත්තේ 2019 ජුනි මස 03 වැනිදාය. ඒ තම දරුවකුට සෙත් පැතීම සඳහාය. මේ වන විට ලැබී ඇති තොරතුරු වලට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය පවසන්නේ එම තැනැත්තිය පාතාල කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ කාන්තාවක් බවය. රත්නපුර කොලොන්නේ පදිංචිව සිටි ඇය පූජාව පිණිස කතරගමට පැමිණ නගරයේ එක්තරා හෝටලයක නතර වූයේ ඇගේ ඥාතීන් හා දරුවෙකුද සමගිනි.

ඒ අතර ඇය තමා පැමිණි කාරණය එම හෝටලයේ අරක්කැමියාට කියා තිබේ. ඉන්පසු අරක්කැමියා ඒ බව පත්තිනි දේවාලයේ කපු මහතාට පවසා තිබේ. පවුම් 38ක් පමණ බරැති එම තැටිය 2019 වසරේ දී කතරගම දේවාලයට පූජා කෙරුණේ ඉන්පසුවය. අදාළ පූජාව භාර ගෙන ඇත්තේ ප්රධාන කපු මහතා බව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ. රන් තැටිය දේවාලයට පූජා කළ අවස්ථාවේ එම කාන්තාව විසින් එහි පින්තූරයක් ද ලබාගෙන ඇත. එම ඡායාරූප කොළඹ අපරාධ කොට්ඨාසය සතුව තිබේ.

මෙලෙස විමර්ශන සිදු කරද්දී ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා කතරගම සෙල්ල පාරේ පදිංචි අජිත් පුෂ්පකුමාර යන අය රුහුණු මහා කතරගම බස්නායක නිලමේවරයා හමු වීමේ අදහසින් පැමිණියද ඒ අවස්ථාවේ ඔහු නොසිටි නිසා පරිපාලන ලේකම්වරයා මුණ ගැසී තිබේ. ඒ රන් පැහැති බන්දේසියක් සමඟිනි. පසුව ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරුව නිලමේවරයා අද දැනුවත් කිරීමෙන් පසු එම පුද්ගලයා ගෙන් පැමිණියේ ඇයි දැයි විමසා ලිඛිත සටහනක් ලබා ගැනීමට ලේකම්වරයා පියවර ගෙන තිබේ.

එහෙත් එම පුද්ගලයාට ලිපිය ලිවීමට නොහැකි බව පවසා ඇති අතර සම්බන්ධය සිය පරිපාලන ලේකම්වරයා විසින් භාර ගන්නා ලදී. තමා අද ප්රධාන කපු ධුරන්දර සෝමපාල රත්නායක මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දේවාලයට අයත් රන් බන්දේසියක් ගෙදර තිබෙන බවත් එම බන්දේසිය දේවාලයේ පරිපාලන ලේකම් තුමා වෙත භාරදෙන ලෙස පවසා බන්දේසිය තමාට ලබා දුන් බවත් එම බන්දේසිය දේවාලයට ගෙන විත් පරිපාලන ලේකම්තුමාට ලබාදුන් බවත් ඔහු ලිඛිතව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී තිබිණි.

ප්රශ්නය උග්ර වූයේ ඉන්පසුවය. ප්රධාන කපු වරයාගේ නිවසින් රන්තැටියක් මතු වීම සම්බන්ධයෙන් ‘මව්බිම’ පුවත්පත මුල් වරට පළ කිරීමෙන් පසුව මෙම පුවත සාවද්ය බව කියමින් සොම්පාල රත්නායක මහතා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයෙන් අස්ථානගත වී ඇති රන් තැටියක් මගේ නිවසේ තිබී පුද්ගලයකු මාර්ගයෙන් දේවාලයට බාර දුන් බවට පැතිරෙන පුවත මුළුමනින්ම අසත්ය බවත් ප්රකාශ කරන සෝමපාල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

” රත්රන් තැටියක් පිටස්තරයකු අත යැවීමට තරම් මා නූගත් නැහැ. එසේ තිබුණා නම් මමයි එය බස්නායක නිලමේ තුමාට භාර දෙන්නේ. මෙම තැටිය භාරදී තියෙන්නේ ගබඩා භාරකාර කපු මහත්තයාගේ මල්ලි විසිනුයි. මම රන්තැටියක් දුන්නා කියලා කරන ලද වංචාවට ඒ පුද්ගලයාට එරෙහිව නීතිය මඟින් පියවර ගන්න. මේ වන විටත් කතරගම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මම මේ ගැන රහස් පොලිසියටත් කියනවා. මෙම තැටිය හැදුවේ කවුද ? නැත්නම් හම්බ උනේ කොහොමද ?කියලා පරීක්ෂණයක් කරන්න කියලා. දේවාලයේ ඇති බඩු පූජනීය වස්තු. ඒවා ගබඩා භාරකාර කපු මහත්තයාගේ භාරයේ තියෙන දේවල්. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ පරීක්ෂණයක් කරලා මෙහි ඇත්ත හෙළි කර ගත යුතුයි.”

ප්රධාන කපු මහතා මාධ්ය හමුවේ එසේ පැවසූ අතර මේ වන විට ඒ මහතාගේ නිවසේ තිබී බාර ගත් බව කියන රන් බන්දේසිය රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් කතරගම දේවාල කාර්යාල සේප්පුවේ තබා මුද්රා තබා ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද දැනුවත් වීමෙන් පසු යළිත් කතරගම දේවාලයට ගිය පොලිස් කණ්ඩායමකුත් දෙවැනි දා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් හා බස්නායක නිලමේවරයා ද සමඟ එම බන්දේසිය ඉන් ඉවතට ගෙන පරීක්ෂාකර බලා යළි එහි තැන්පත් කර තිබේ.

රන් බන්දේසියක් බාරදීම සම්බන්ධයෙන් ලැබී තිබූ ලිපිය ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර පොලිසිය එම බන්දේසිය භාර දුන් පුද්ගලයා ගෙන් හා ප්රධාන කපු මහතාගේ නිවසේ සිටි කිහිපදෙනෙක්ගෙන්ද ප්රකාශ ලබා ගැනීමේ සූදානමින් සිටී. ප්රධාන කපු මහතාගේ නිවසේ තිබියදී ලබා දුන් බව කියන රන් බන්දේසිය අතුරුදහන් වූ බන්දේසියමද යන්න නිශ්චිතවම දැන ගැනීමට අපරාධ කොට්ඨාශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ සඳහා රන්තැටිය කතරගම දේවාලයට පූජා කළ කොලොන්න ප්රදේශයේ පදිංචි කාන්තාව හමුවීම සඳහා පොලිස් කණ්ඩායමක් මේ වන විට කොලොන්න ප්රදේශයට ගොස් සිටී.

මෙම තැටිය ඇය පූජා කළ එකද නැද්ද යන්න දැනගැනිම විමර්ශනයේ අරමුණයි. මේ අතර මේ වන විට මුද්රා තබා ඇති එම රන්තැටිය කතරගම දේවාලයට පූජා කළ නියම රන්තැටියද එසේත් නැත්නම් එම රන් තැටියට සමාන රන් තැටියක් සාදා එය යළි ලබා දුන්නේද යන්න දැනගැනීම සඳහා ඉදිරි විමර්ශන සිදුකරන බවත් දැනට දේවාල පාරේ ඇති එම රන් තැටියේ බර හා එහි ඇති රන් ප්රමාණය මැන බැලීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යන්ද ඊට අදාළ වාර්තාව ලැබූ පසු මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට රන් බන්දේසිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර ගැනීමට නියමිතය.

බැතිමත්තියක් විසින් පූජා කරන ලද මෙම රන් බන්දේසිය කතරගම දේවාල මාලිගාවේ ගබඩා රාළගේ අධීක්ෂණය යටතේ පැවතිය යුතුව තිබුණත් 2019 වසරේ සිට එම තැටිය එම ගබඩාවෙන් නොතිබීමත්, මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු රන්තැටිය හිටි හැටියේ මතුවීමත්, ඔද තෙද බලැති කතරගම මහා දෙවියන්ටවත් නොපෙනුණේ මන්දැයි බැතිමතුන් ප්රශ්න කර සිටිති.

“මෙහෙම රත්රන් පූජා කරන්නේ ඇයි දැයි මම දන්නේ නැහැ. මේ මිනිස්සු තවම දැනුවත් නැහැ ඇයි මෙහෙම රත්රන් පූජා කරන්නේ. දෙවියන්ට ඕන පින්. විහාර දේවාලගම් පනත යටතේ කිසිම දෙයක් කාටත් ගන්න බැහැ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කරන්නේ නැතුව.” සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේ දී රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා පැවසීය.

පොලිස්පති චන්දන වික්රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන හා සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඇතුළු කොස්තාපල්වරුන් වූ දැල්පිටිය, සමීර, ඇල්ලේපොල, සංජීව, විචක්ෂණ යන නිලධාරීහු මෙම විමර්ශනයට එක්වී සිටිති.

උපුටාගැනීම – මව්බිම පුවත්පත

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්