Apr
10

මිනිස්සු මට කැමති වුණේ ‘හුංගි’ හින්දා

 
854 Views
   
People-liked-me-because-of-'Hungy'  

සුජීව ප්‍රියාල් රංග ශිල්පියා අධ්‍යක්ෂණය කළ Inter නැසනල්-2 නාට්‍ය මේ දිනවල විකාශය කෙරෙනවා. එහි ‘හුන්ගි’ නමැති කටකාර කෙල්ලකගේ චරිතය රඟපාන ඇය  කවුද? කියා බොහෝ ටෙලිනාට්‍ය  ප්‍රේක්ෂකයින් සොයන මොහොතක මේ විදියට අපට ඇයව සොයා ගන්න පුළුවන්  වුණා. නාට්‍යයේ හුංගි වූ ඇය කවුද? ඇයගෙන්ම ඒ ගැන අපි අහමු. 

Inter නැසනල්-2 නාට්‍යයේ හුංගි ඇත්ත නම මොකක්ද?

මගේ නම තිලිණි ජයමාලි ජයසේන.

තිලිණි, ජයමාලි, ජයසේන? මොන නමින් අපි කතා කළොත් හොඳයි කියලද හිතන්නෙ?

‘ජයමාලි’ කියන නමට කැමතියි. තිලිණි ජයමාලි කියලා තමයි වැඩි දෙනෙක් මට කියන්නෙ. ජයේ කියලත් කියනවා.

ජයේට එතකොට ජයයිද?

ජයේට ජයයි. දැන් චුට්ටක්. තවම ගමනක්‍ පටන් ගත්තා විතරයිනෙ.

‘ජයමාලි කවුද?

මෙම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඒ අතරේ ටෙලි නිර්මාණ සහ වේදිකා නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඒවා කරනවා. මගේ ගම රත්නපුරයේ. වැලිකැටිය. සා/පෙළ දක්වා ගියේ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළට ලිව්වේ රත්නපුර සීවලී විද්‍යාලයෙන්. පවුලේ  අම්මයි, මමයි, අක්කලා දෙන්නයි, අයියයි. තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තා නැති අඩුව පිරෙව්වෙ අපේ අම්මා. අක්කලා දෙන්නා අයියා විවාහ වෙලා ඉන්නෙ.

ජයමාලි කලාවට ආවේ පාසල් වේදිකාවෙන්ද?

නැහැ, මම පාසලේදි නාට්‍ය කරලා තිබුණේ නැහැ. චුල්ල දසනායක සර් රඟමඬල රංග සංසදය කියලා කුරුවිට දෙල්ගම රජමහා විහාරයේදි රංගනය ගැන වැඩමුළුවක් කළා. ඒකට අපේ පොඩි අක්කාත් ගියා. පොඩි කාලයේ ඉඳලම මාත් අක්කා යන යන තැන ගිහින් ඒවා දැක බලා ගත්තා. මාත් පසුව  එතැන සාමාජිකාවක ලෙස පොඩි කාලයේ ඉඳලාම හිටියා. රංගනය ගැන ආසාවක් ආවේ එතැනින්. ඒ සර් නිසා තමයි මගේ   රංගන ගමනට ආඩි තාලම වැටුණේ. පසු කාලයක රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට එහෙම සම්බන්ධ වුණා. පසුව නිලංක නාමල් උඩුමුල්ල අයියගෙ නාට්‍යවල රඟපෑවා. වැඩිපුරම රංගනය කෙරෙහි මට ආසාව ඇතිවුණේ අක්කා තක්ෂිලා නිල්මිණි නිසයි. එයා කොළඹ දිස්ත්‍රික් සම්මාන ගත්ත ශිල්පිනිනියක්.

ජයමාලි කොළඹට ඇවිත් රඟපෑ විදිය ගැනත් කියමු?

වේදිකාවෙන් තමයි මම වැඩිපුරම රංගනයට එක්වුණේ. ‘ලෙටර්’ කියලා  නාට්‍යයක් 2017 දි කළා. ඒකට යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුණා. 2011 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ සබරගමු පළාත් හොඳම නිළිය ලෙස සම්මාන ඒ වනවිට දිනා සිටියෙ. පසුව 2020 දක්වා වේදිකාවේ ආ ගමනේදී විවිධ සම්මාන උළෙලවලදී සම්මාන ලැබුවා. 2020 දී රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම සහය නිළිය දෙවැනි ස්ථානය ලැබුණේ මට. එතෙක් රඟපෑ සෑම නාට්‍යයක මම රඟපෑ චරිතය බොහෝ විට හොඳම නිළිය සහ සහාය නිළියට නිර්දේශ වුණා.

ටෙලි ක්ෂේත්‍රයට ආවේ?

ITN එකේ විකාශය වූ ‘පෝය’ ටෙලිනාට්‍ය වලින්. පොහෝදා විකාශය කළ නාට්‍යය කීපයකම රඟපෑවා. පුංචි තිරයේ කැමරාව ඉස්සරහට ආවේ එහෙමයි. ඉන් පස්සේ ගිරිදේවි නාට්‍යයේ පුංචි චරිතයක් රඟපෑමට ලැබුණා. ඒ විදියට ආ ගමනෙදි අද වැඩි දෙනෙක් කතා කරන්නෙ මේ ‘Inter නැසනල්-2’ නාට්‍යයේ ‘හුංගි ගේ චරිතය නිසයි. මිනිස්සු මට කැමති වුණේ  හුංගි නිසයි.

කොහොමද හුංගි වුණේ? කොහොමද ඒ චරිතයට තෝරා ගත්තේ?

අසංක  සායක්කාර අයියනෙ ඒකෙ තිර රචනය ලියන්නෙ. වේදිකා නාට්‍ය නිසා අයියා මාව දැනගෙන හිටියෙ. එයාගෙ නාට්‍යයකත් රඟපෑවා. ඒත් තවම ඒක වේදිකාගත කළේ නැහැ. ඒ හැඳුණුම්කම එක්ක අසංක අයියා මට මේ චරිතය ගැන කිව්වා. මේක ලිව්වෙ ඔයාට ඉතින් කරලා බලන්න කියලා. ඒ විදියට තමයි මම හුංගි වුණේ.

කොහොමද ප්‍රතිචාර?

හරි වැඩේ කියන්නෙ කැම්පස් එකේ යාළුවො වුණත් අද මට කියන්නෙ ‘ජයේ’ කියලා නොවෙයි. ‘හුංගි’ කියලයි. බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්ත නාට්‍යයක් තමයි Inter නැසනල්-2. මුලදි මම මේ චරිතයට එච්චර ආසා වුණෙත් නැහැ. ඒත් දුලිකා අක්කලා, සරත් අයියලා එක්ක ඉඳිද්දී, ආලෝක අයියලා එක්ක වැඩ කරද්දී සහ කාලය එක්ක  චරිතයට ප්‍රවේශ වෙද්දී මම ඒ චරිතය හොඳට කරන්න ඇති කියලා හිතනවා. මහ ගස්යට ඉන්නකොට ලැබෙන්නෙ හොඳ දේවල්නෙ. හුංගිට මම පුද්ගලිකව කැමතියි.

‘හුංගි’ ගෙ චරිතයේ දෙබසක් කියන්න කියලා කිව්වොත් එක් වරම මතක් වෙන්නෙ මොන දෙබසද?

‘‘අනේ මං ආසයි,  මැණිකේ රඟපාන්න, මට රඟපාන්න දෙන්නකො මැණිකේ.’’ ඒ දෙබස බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ‘‘අනේ මං ආසයි.’’ කියලා ඇදලා කියන නිසා සමහරු මාව දැක්කාම‘අනේ මං ආසයි’ කියන දෙබස කියනවා.

දූලිකා එක්ක රඟපාද්දී කොහොමද?

දූලිකා අක්ක කියන්නෙ ඉතින් හරිම දක්ෂ ප්‍රවීන ශිල්පිනියක්නෙ. ඒ වගේ ප්‍රවීනයින් එක්ක රඟපාද්දි හරිම පහසුයි. මේ ප්‍රවීනයින් එක්ක ඒ දර්ශන තලයේ ඉන්නකොට හරියට දැනෙන්නෙ ගෙදරක ඉන්නවා  වගෙයි. එක පවුලක පිරිසක් වගෙයි. විශේෂයෙන්ම රංග පාසලක් වගේ වෙච්ච දුලිකා අක්කා එක්ක රඟපාන්න ලැබීම නිසා බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි. ලෝබ නැතුව කියා දෙන කෙනෙක්.

අපි කතා කරමු. ජයමාලිගේ සැබෑ චරිතය  ගැන? මොනවගේ කෙනෙක්ද?

මම රඟපාන්න ආසයි. රඟපාන්න ආසා කෙනෙක්. හැමෝම එක්ක සුහදව ඉන්න – සරලව ඉන්න කෙනෙක්.

සෞන්දර්ය අධ්‍යාපනයෙන් පසු මොනවා කරන්නද හිතාගෙන ඉන්නෙ?

දැන් නම් ඉතින් මේ රටේ තියෙන තත්ත්වය එක්ක ජොබ් දෙක තුනක්වත් කරන්න වෙනවා. කොහොම වුණත් මම කැමැති ජීවිතයේ හැමදාටම රංගනය විෂයේ නියැලෙන්නයි. මගේ ප්‍රියතම දේ රංගනයයි. ඒත් පවතින ස්වභාවය සහ ව්‍යවසනයක් ආවාම රංගනය සහ කලා අංශයට විසඳුමක් නැහැ. අස්ථාවරයි. ඒ නිසා වෙනත් රස්සාවක් කරන අතරේ තමයි රංගනය කරන්න වෙන්නෙ. රංගනය කියන දේ මැරෙනකම්ම  අතාරින්නෙ නැහැ.

‘ජයමාලි’ ගේ ප්‍රේමය මොන වගේද?

අනාගතයේදි ඒ ගැන කතා කරන්න පුළුවන් වේවි.

‘ප්‍රේමය’ මොනවගේ කියලද හිතන්නෙ?

ප්‍රේමය සුන්දර වෙන්න ඕනෑ මේ ලෝකයේ සෑම කෙනෙකුටම ප්‍රේමය අවශ්‍යයි. එ්ක ලෝක ස්වභාවයනෙ

තව මෙතෙක් ප්‍රයෝජන ගත්තෙ නැති දක්ෂතා මොනවද? සෞන්දර්ය සරසවියට යන නිසා ගැයුමටත් දක්ෂ ඇති?

නර්තනයේදී උඩරට – පහතරට – සබරගමු නර්තනය හැදෑරුවෙ. ඒවත් එක්ක පුංචි ගායන හැකියාවකුත්  තියෙනවා. වේදිකාවෙදි ඒ හැකියාවලින් ප්‍රයෝජන ගෙන තියෙනවා.

මොනවද ඉදිරියේ විකාශයට නියමිත ජයමාලි රඟපෑ නාට්‍ය?

ඩොරික් සමරසුන්දරගෙ වඩිනාගල, ඉන්දික ධර්මතිලකගෙ යාදින්නි, ධනුෂ්ක රේමන්ඩ්ගෙ කෝඩුකාරයෝ සහ ඉෂාන් කුලතිලක යූටියුබ් එකට කළ Ladies only (ලේඩීස් ඔන්ලි) කොටස් වශයෙන් විකාශයට නියමිත නාට්‍යයේ රඟපෑවා.

සඳුන් ගමගේ

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්