Jun
6

ආපදා නිසා 14ක් ජීවිත ක්ෂයට – 245,000 කට පීඩා

 
1118 Views
   
 

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජිවිත ක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10ක, පුද්ගලයින් 245,212 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එසේම, පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ද එහි සඳහන්. සුරක්ෂිත මධ්‍යස්ථාන 72 ක පුද්ගලයින් 15,658 දෙනෙකු රැදි සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, වර්ෂාව අඩුවීමත් සමඟ මේ වනවිට එම ජලය බැස යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.  කෙසේ වෙතත්, ගම්පහ, ජා-ඇල සහ වත්තල යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන තවමත් ජලයෙන් යටවයි පවතින්නේ. වැසි අඩුවීම හමුවේ දිවයිනේ බොහෝ ජලාශ වාන් දැමීම මේ වනවිට අවම තත්ත්වයකට පත්ව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 8 න් 4 ක් මේ වනවිට විවෘතව පවතින අතර, දැදුරු ඔය දෙපස ජිවත් වන ජනතාවට දැනුම් දෙන්නේ ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. පවතින ගංවතුර තත්ත්වය අද දිනයෙන් පසුව ක්‍රමයෙන් බැස යනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකතනය කරනවා. මේ අතර, පූගොඩ – ගල්පොතුගොඩ ප්‍රදේශයේදී ගංවතුරේ ටියුබයක් ආධාරයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම ටියුබය පෙරළී දියේ ගිලී සිදුවූ අනතුරකින් ජීවිත ක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ජීවිත ක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි තත්ත්වය තවදුරටත් අඩුවෙමින් පැවතිය ද දිවයිනේ නිරිත දිග කොටසට තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්