Aug
11

ජනතාවගේ වගකීම

 
804 Views
   
 

පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණය තුළ බොහෝ දුරට සාකච්ඡාවට ගැණුනු මාතෘකාවක් වූයේ දේශීය ආර්ථික රටාවක් රට තුළ ගොඩනැඟිය යුතු බවයි. ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 5 පරිච්ජේදයේ දක්වා ඇති පරිදි ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳව දක්වා තිබේ. ඒ අනුව, රජය ආර්ථීකයේ අයිතින් ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික පිළිවෙතක් කරා ගෙනයෑමෙන් රට තුළ ඉතිරි කිරීම්, දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කරන ජාතික ආර්ථීක ප්‍රතිපත්තියකින් අනාගත පරපුරට උරුම කිරීමේ ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්‍ෂා කර තිබේ.

ඒ අනුව යමින් 2020 – 2025 කාලවකවානුව තුළ ආර්ථික ඉලක්කයන් යටතේ ආර්ථික වර්ධන වේගය 6.5%ක ඉලක්කයක් කරා ගමන් කිරීම ඇ.ඩො. 6500 ඉක්මවූ ඒක පුද්ගල ආදායමක් කරා ගමන් කිරීම, සේවා වියුක්තිය 4% මටට්මක පවත්වාගෙන යාම, උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාම අය-වැය හිඟය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 4% පහල මට්ටමක පවත්වාගෙන යාම, පොලි අනුපාතිකයන් තනි ඉලක්කමක පවත්වාගෙන යාම, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම වැනි පුළුල් ඉලක්කගත වැඩ පිළිවෙළක් පෙන්වා දී තිබුණි.

ඒ අනුව මේ වන විට රට තුළ කහ නිෂ්පාදනය සිදු වූ අතර වෙළඳපළ තුළ දේශීය කහ මිල දී ගැනීමේ හැකියාව තිබේ. කහ ආනයනය තුළින් විදේශ විනිමය ගලායෑම සුළු ප්‍රමාණයකින් වුව ද නතර වී ඇති අතර ඒ තුළින් දේශීය ගොවියා ශක්තිමත් වී තිබේ. මේ වන විටත් කව්පි, මුංඇට වැනි ධාන්‍ය වර්ග ද ඉන්දියාවෙන් ආනයනය නතර කර ඇති අතර, දේශීය ගොවීන් දේශීය ධාන්‍ය වර්ග වගා කිරීමට පෙළඹී ඇති බව පෙනේ. කෙසේ වෙතත් 2021 වසරේ පළමු මාස 4 තුළ දී ලංකාවේ අපනයනයන් 29.6% කින් වර්ධනය වීම යහපත් ලක්ෂණයක් වන අතර කෘෂිකාර්මික නිෂ්පාදන 32.6%කින් ද, තේ 19.6%කින් ද, රබර් සහ පොල් 48.7%කින් ද අනෙක් කෘෂි නිෂ්පාදන විශේෂයෙන් වැවිලි බෝග ආදිය 47.6%කින් ද වැඩිවීම යහපත් ප්‍රවණතාවයන් ලෙස දැකිය හැකි ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාරික ප්‍රජාව ආරක්‍ෂා කිරීම උදෙසා රජය අමතර රුපියල් මිලියන 20, 000ක මුදලක් බැංකු ක්‍රමයට ලබා දී තිබේ. 2020 වර්ෂයේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සඳහා බැංකු විසින් ලබා දී ඇති මුළු ණය ප්‍රමාණයෙන් 11%ක් කෘෂිකාර්මික අංශයටද, 28%ක් කර්මාන්ත අංශයටද, 30%ක් සේවා අංශයටද, අනෙකුත් විෂයයන් සඳහා 31%ක්ද වශයෙන් ලබා දී තිබේ. මෙයට අමතරව පසුගිය කාල පරිච්ඡේදය තුළ දී විදේශ ආධාර මගින් රුපියල් මිලියන 1.158ක මුදලක් කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය සඳහා බැංකු ක්‍රමය මඟින් ලබා දීම ආර්ථිකයට ඉදිරියේ දී ශක්තියක් වනු ඇත.

රජය වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීම මගින් ඉහල ඵලදායීතාවයත්, ඉහල විදේශ විනිමයත් ලබා ගැනීමේ පුළුල් ඉලක්කගත වැඩසටහනකට යොමු වී තිබේ. ඒ අනුව රජය 2020 වර්ෂයේ දී කුඩා තේවතු හිමියන්ට තේ වගාව සඳහා හෙක්ටයාරයකට රු. 500, 000ක් සහ රු. 400, 000 වශයෙන් සහනාධාර ලබාදෙන අතර, 2020 වර්ෂයේ දී රු. මිලියන 612ක විශාල මුදල් ප්‍රමාණයක් තේ නැවත වගා කිරීම සඳහා තේවතු හිමියන් 27, 789ක් සඳහා ලබා දී තිබේ. ඒ අතර ම රබර් වගාව සඳහා ද ණය ආධාර ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ. පොල් වගාකරුවන් දිරිමත් කිරීම සඳහා පොල් පැළ නොමිලේ ලබා දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ, රජය 2020 වර්ෂයේ දී රු. මිලියන 300ක් මේ සඳහා වැය කර තිබේ.
පසුගිය මාස කිහිපය තුළ දී කොරෝනා හේතුවෙන් ආර්ථිකයේ කඩා වැටී ඇති සියලු අංශයන් එකට එකතුකරමින් නැවත ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබද මේ වනවිට සාකච්ඡා වෙමින් පවතී. ඉදිරියේ දී පුළුල් එන්නත්කරණය මඟින් ජනතාව ආරක්‍ෂා කිරීම රජයේ ප්‍රධාන වගකීම වනු ඇත. මිනිසුන්ගේ ජීවිත සඳහා වටිනාකමක් දිය නොහැක. කවුරු කෙසේ කීවත් එන්නත්කරණය තුළින් ජනතාව ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව යමින් ක්‍රමයෙන් ආර්ථික ක්‍රියාකාරකම් පණගැන්විය හැකිය. ජනතාවගේ වගකීම වන්නේ මේ සඳහා රජයට සහාය ලබා දීමයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්