Jul
7

බාධක දැක පෙරමුණේ – මොන නදිය ද නැවතුණේ ?

 
1266 Views
   
 

1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුව ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළේ අපේ රට සුඛිත මුදිත සංවර්ධිත රටක් කිරීමටය. එහිදී දේශීය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි කර දීම රජයේ මූලික ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් යාපනයේ අල, ලූනු ගොවියන්ගේ අතමිට සරු කළේය. ඔරුවල වානේ, කැලණිය ටයර්, යක්කල ලෝහ භාණ්ඩ, වාලච්චේනයේ කඩදාසි, කන්කසන්තුරේ සිමෙන්ති, කන්තලේ සීනි, අඹේවෙල කිරිපිටි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළේය. තුල්හිරිය, වේයන්ගොඩ, පූගොඩ දේශීය රෙදිපිළි කර්මාන්තයට නව පණක් දුන්නේය. සියලු ජනයා දේශීය රෙදිපිළි ඇන්ඳේ ‘සිය රට දේ සිරි සැප දේ’ යන අපේකමත් මුසු වූ අව්‍යාජබවෙනි.
එදා පැවති ප්‍රධාන විද්‍යුත් මාධ්‍යය වූ ශ්‍රී ලංකා ගුවන්විදුලිය උදේ සෙත්පිරිත්වලින් හා ආගමික නායකයන්ගේ දෙසුම්වලින් පසුව පටන් ගත්තේ ශ්‍රමාභිමානී ගීතයි. කම්මැළිකම්, අලසකම් දුරලා අතපය වෙහෙසා වැඩ කිරීමේ ඒ ආදර්ශය රැගෙන යා යුතු බව උදයේ ඇසෙන ශ්‍රමාභිමානී ගීතවලින් පසක් කළේය. කම්හලේ, ගොවිපොළේ වෙහෙසවන කම්කරුවාට අභිමානයක් ඇති කිරීම එම ගීතවල මුඛ්‍ය පරමාර්ථය විය.

වැඩ කරන ජනතාවගේ දහදිය කඳුළුවලට ඉහළ ඉල්ලුමක් මෙන්ම ගෞරවාන්විත බවක් එදා බලයේ සිටි ‍සමඟි පෙරමුණු ආණ්ඩුව දුන්නේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමඟි පෙරමුණු ආණ්ඩුව 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් එදා අධිරාජ්‍යවාදීන්ගේ යදම්වලින් බැඳ තිබූ අවසාන යදමත් ගලවා දමා අපේ රට නිදහස් නිවහල් ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරලන්නට කටයුතු කළේය.

එය අපේ ර‍ටේ නිදහස් අරගලයේ උච්චතම අවස්ථාවට පැමිණි මොහොත බව සඳහන් කළ යුතුව ඇත. 1971 තරුණ කැරැල්ලට පවා මුහුණ දෙමින් සමඟි පෙරමුණු ආණ්ඩුව දේශීය ආර්ථිකය ශක්තිමත් කළේය. 1971දී ද රාජ්‍ය දේපළවලට විශාල වශයෙන් අලාභහානි කිරීමට 71 සන්නද්ධ කැරලිකරුවෝ ක්‍රියා කළහ. ලංගම සතු බස්රථවලට ගිනි තැබීම්වලින් අඩුවක් නොවීය. එහෙත් මේ සියල්ල හමුවේ ජනතාවට වගකියන රජයක් වශයෙන් ඊට මුහුණ දුන්නේය. 70 සිට 77 දක්වා රට පාලනය කළ සමඟි පෙරමුණු රජය රාජ්‍ය මැණික් සංස්ථාව ආරම්භ කොට අපේ රටේ මැණික් කර්මාන්තයට ඉහළ වටිනාකමක් දුන්නේය. රත්නපුර, පැල්මඬුල්ල, බළන්ගොඩ පමණක් නොව ඇලැහැර, බකමූණ, හසලක, මොනරාගල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවලින් පවා ඉහළ වටිනාකමක් ඇති මැණික් අපේ පුණ්‍ය භූමියෙන් ලබා ගත්තේය.

විශාල වශයෙන් තරුණ කොටස් මැණික් කර්මාන්තයේ නියැළුණ බව ද නොරහසකි. ඛනිජ සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී එවකට සමඟි පෙරමුණු ආණ්ඩුවේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා වූ ටී. බී. සුබසිංහ මහතා එක්ව මන්නාරම පේසාලේ තෙල් කැණීම් කටයුතු පවා සිදු කළේ අපේ රට ලෝකයේ දියුණු රටක් කිරීමේ අරමුණෙනි. එහෙත් රටේ දේශීය ආහාර භෝගවලින් ලබාගත් අස්වැන්නෙන් ජනතාව ජීවත් කරවීමට රජය දැඩි උත්සාහයක නිරත වූ බව නොරහසකි.

ඒ දුෂ්කරතාවය විපක්ෂයේ අවස්ථාවාදී දේශපාලනයේ කුරුමාණම බවට පත් කර ගත්තේ කෙසේ හෝ බලය ලබාගැනීමේ කපටි චේතනාවෙනි. හාල් පොලු, මිරිස් පොලු සහ පෝලිම්වලින් ජනතාව කිසියම් ප්‍රමාණයක පීඩා වින්ද ද රට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට රැගෙන ඒමට සමඟි පෙරමුණු ආණ්ඩුවට හැකි විය. ජාත්‍යන්තරය තුළ ද ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩනැඟීමට 1975 නොබැඳි සමුළුවෙන් සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිණියට හැකි විය.

කිසිවකු කිසිදා බඩගින්නෙන් මිය ගියේ නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාව රත් කළේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ රටක් වශයෙනි. හබරල, කෙසෙල්බඩ, අල, බතල, මඤ්ඤොක්කා අපේ දේශීය ආහාර වර්ගවලට අපහාස කරමින් එදා එජාපයේ හිටපු ජේ. ආර්. ජයවර්ධන මහතා ඇතුළු නායකයන් රාත්තල් අටක් ඇට දෙන බවට ජනතාවට පොරොන්දු විය. පෝෂ්‍යදායක ධාන්‍ය රාත්තල් අටක් වෙනුවෙන් 1977දී එජාපයට බොහෝදෙනා කතිරය ගැසූහ. කිසිදිනෙක එදා ජේ. ආර්. දුන් ඡන්ද පොරොන්දුව ඉටු නොක‍ළේය. ජනතාව මුළා කොට බලය ගත්තා පමණි. දිගින් දිගටම මෙවැනි ඡන්ද පොරොන්දුවලින් නම් අඩුවක් නොවීය. එක්සත් ජාතික පක්ෂ සමයේ ඇරඹි උතුරේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය යුදමය තත්ත්වයක් දක්වා රැගෙන ආවේ එජාපයේ අදූරදර්ශි කපටි දේශපාලනයයි.

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු සමයේ ඇරඹි උතුරේ යුද්ධය ඔවුන් විසින්ම අවසන් කරනා බවට ඡන්ද පොරොන්දුවක් දක්වා දීර්ඝ කර ගැනීමට එජාප ආණ්ඩුව කටයුතු කළේය. එහෙත් කිසිම දිනෙක උතු‍රේ යුද්ධය අවසන් කරගැනීමට එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සිටි නඩයට නොහැකි විය.

2005 වසරේ ජනතා බලයෙන් නායකත්වයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන්ගේ අපමණ කැපවීම් මත ඒ කුරිරු යුද්ධය අවසන් කිරීමට හැකි විය. එදා එල්. ටී. ටී. ඊ. මිනීමරු සංවිධානය ලෝකයේ ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් පැවසූ එන්. ජී. ඕ. ඩොලර් කාක්කන්ගේ වහසිබස් පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් ගණන් නොගෙන යුද්ධයට යුද්ධයෙන් පිළිතුරු දුන්නේය. ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා දේශපාලන කලාව රාජපක්ෂවරුන් ලෝකයට පෙන්වා දුන්නේ ඒ අයුරිනි.

රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරනවා කියූ පමණින්ම මුළු රටම නිදහස් කර ගත් නායකයා අමතක කරන්න තරම් ඇතැම් පිරිස් ගුණමකු වූහ. එහෙත් රජයේ සේවකයාගේ වැඩි වූ රු. 5000ට සරිලන අයුරින් බඩු මිල ඉහළ ගියේය. ජනතාව බදු බරින් මිරිකුණ යහපාලන යුගය තුළ රට අරාජිකත්වය කරා රැගෙන යද්දී රට නිදහස් කරගත් නායකකාරකාදීන් දෙසට නැවතත් ජනතාවට ළං වීමට සිදු විය. එය ජනතා ජයග්‍රහණයක් දක්වා රැගෙන ඒමට හැකි වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මේ මිහිතලයේ යථාර්ථයක් කිරීමට හැකි

ප්‍රායෝගික වැඩපිළිවෙළක් වූ නිසාය. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම යනු හුදු මැතිවරණ ප්‍රකාශනයක් නොව මිහිතලය මත පය ගසා සිටින මිනිසෙකුගේ සැබෑ දැක්මකි. එය ක්‍රියාවට පරිවර්තනය කළ හැකි සත්‍යයකි. 1977 ජේ. ආර්. ජයවර්ධනලා දුන් ඡන්ද පොරොන්දු සමඟ ගත් කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ දිනෙන් දින ජනතා ජයග්‍රහණ අත් කර දෙන ජාතික වැඩපිළිවෙළකි.

පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජාතිය ඇමතීම රටට ආදරය කරන බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ බව නොරහසකි. එතුමාගේ මුළු කතාවේම හරය වූයේ රට දියුණු කිරීම මිස කිසිවකුට මඩ ගැසීම නොවීම නිසා බොහෝ දෙනකුගේ පැසසුමට ලක් විය. කොවිඩ් අභියෝගය මතින් ඉදිරියට යා යුතු ආකාරයත්, මේ දක්වා සිදු කර ඇති සංවර්ධන කටයුතුවල ප්‍රගතිය එතුමා විසින්ම පැවසීම රටට ආදරය කරන නායකයකු සතු විශිෂ්ට ලක්ෂණයකි. 2019 වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2.1%කට අඩු වී තිබුණ රටක්. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7400 සිට බිලියන 13,000 දක්වා වැඩි වී තිබුණ රටක් සේම ජනතාවට බදු බර දෙගුණ වෙලා තිබීමත්, රුපියල අස්ථාවර වී භාණ්ඩවල මිල අසීමිත ලෙස වැඩි තිබීමත්, අපනයන ආදායම අඩු වී විදේශ සංචිත ඉතාම දුර්වල මට්ටමක පැවති බව නොරහසකි. මෙවැනි ආර්ථික අගාධයකට ඇද දැමූ රටක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් භාර ගත් බව අමතක නොකළ යුතුය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජාතිය අමතා සිදු කළ කතාවේ බොහෝ දෙනකුගේ සිත් ගත් ප්‍රකාශය වූයේ මෙයයි.“මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී මට සහයෝගය දුන් බොහෝ දෙනකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරි කරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පෞද්ගලික ඉල්ලීම් කළේ නැහැ. නමුත් මා බලයට ආවට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුණාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථක යැයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. එහෙත් මට අවශ්‍ය කීපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යය ක්‍රියාත්මක කිරීමටයි. මා එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්න සූදානම්. මා මගේ වගකීම නොපිරිහෙළා ඉටු කරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම භාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත්, මගේ රජයටත් අපේ අරමුණු ඉටු කර ගැනීමට සහයෝගය දෙනු ඇත.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්