Mar
16

BMW එකක් තියෙන කොල්ලෙක් හොයන සංජානා දැන් කියන කතාව

 
1883 Views
   
 

සංජානා ගමආරච්චි රංගනයට එන්න හීන දැක්ක, ඒ හීනය හැබෑ කරගෙන පියවරෙන් පියවර ඉදිරියට ඇදෙන රංගන ශිල්පිනියක්. පසුගියදාක රූපවාහිනී වැඩසටහනකදී කියපු කතාවක් නිසා සංජානාට විවේචනවලට ලක්වෙන්න සිද්ධ වුණා. ඒ මදිවට සංජානාට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. මේ සියල්ල ගැන සංජානා කෙළින් කතා කළේ මේ විදිහට…

සංජානා මේ දවස්වල ගොසිප් ඉලක්කයක් වෙලා. කෙළින් කතා කරන්න ගිහින් සංජානාට මඩ නාගන්න වුණා නේද?

මට මඩ ගහන අය මම ඒ රූපවාහිනී වැඩසටහනේ කියපු කතාව මුල ඉඳන් අහලා තිබ්බේ නැහැ. BMW කතාවක්නේ ගොඩක් අයට කැපිලා පෙනුණේ. ඒ BMW කතාව කිව්වේ මම නෙවෙයි පේෂල. මම කිව්වේ මම බඳින කෙනාට වාහනයක් තියෙන්න ඕනෙ කියලා විතරයි. පේජ් කරන අය පේජ් ජනප්‍රිය කරගන්න ඒකට ගොසිප් ගැහුවා. පේජ්වල තියෙන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි.

මම කියපු කතාව හරියට අහපු නැති අය මට ඇති වෙනකල් මඩගැහුවා. වැරදි කතාවක් තමයි සමාජගත වුණේ. මේ සිද්ධියෙන් පස්සේ මගේ ෆේස්බුක් එකට ඉන්ස්ටර්ග්‍රෑම් එකට සමහරු BMW වල රූප එවන්න ගත්තා. මම දාන ඡායාරූපවලට BMW වල රූප දාලා කමෙන්ට් කළා. මඩ ගහන අයට ඇති තරම් මඩගහන්න දීලා මම පාඩුවේ බලාගෙන හිටියා.

මම කාටවත් උත්තර බඳින්න ගියේ නැහැ. මාව නොදැන හිටපු අය පවා මේ සිද්ධියෙන් පස්සේ මාව දැනගත්තා. මම ඒ වැඩසටහනේ කියපු කතාව මුල ඉඳන් අග වෙනකල් බැලුවා නම් කවුරුවත් මට බණින්නේ නැහැ.

ඔබේ වාහනය අනතුරකට ලක්වුණා කියලා ආරංචියි. මොකක්ද ඇත්තටම වුණේ?

චැම්පියන් ස්ටාර් වැඩසටහන පටිගත කරලා විකාශය කරපු වැඩසටහනක්. ඒක විකාශය වුණේ පහුගිය 21 වැනිදා. නමුත් ඊට සතියකට එකහමාරකට කලින් තමයි වැඩසටහන පටිගත කළේ. මගේ වාහනය අනතුරකට ලක්වුණේ වැඩසටහන විකාශය වුණ දවසේ උදේ. සමහරු හිතුවේ වැඩසටහන කළාට පස්සේ මගේ වාහනය අනතුරකට ලක්වුණා කියලා. ඒත් ඇත්තටම එතැනදි වුණෙත් වෙන දෙයක්. ඒකටත් සමහරු මඩ ගැහුවා, විවිධ දේවල් කිව්වා.

අනූ නවයෙන් නේද සංජානාගේ ජීවිතය බේරුණේ?

ඔව්. මම පහුගිය 20 වැනිදා මියුසික් වීඩියෝ එකක රූගත කිරීමකට නුවරඑළියේ ගිහින් ආවා. ඒ එද්දි රෑ 12ට විතර ඇති. පැයක් විතර නිදාගෙන ඉඳලා අයෙත් මම පාන්දර 3 ට විතර බ්‍රයිඩ්ල් ෂූට් එකකට යන්න පිටත් වුණා. මගේ මහන්සිය වැඩිකමයි නිදිමතයි එක්ක මට නින්ද ගිහින්. අදටත් මට මතක නැහැ මොකක්ද වුණේ කියලා. ඇස් දෙක අරිද්දි මිනිස්සු වටවෙලා.

මගේ කාර් එකේ ඉස්සරහා ගන්න දෙයක් නැහැ. හැබැයි මට කිසිම තුවාලයක් වුණේ නැහැ. මාව බේරිච්ච එක ලොකු දෙයක්. පෙර කරපු පිනක් නිසා වෙන්න ඇති මගේ ජීවිතේ බේරුණේ. එතැන හැමෝම මට උදව් කළා. ‘අනේ මෙයා මෙතන මැරිලා ගියා නම් හොඳයි’ කියලා සමහරු කමෙන්ඩ් කළා. මම කියපු නැති කතාවක් නිසා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව සමහරු මට පහත් විදිහට දේවල් කිව්වම දුකක් දැනුණා.

විවේචනවලට ලක්වෙද්දි රංගනය තෝරාගත්තේ අපරාදේ කියලා හිතුණේ නැද්ද?

ඒ ගැන කනගාටුවක් නැහැ. රංගනය කියන්නේ මම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක්. අපි ආසයිනේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්න. ඒ ආදරය ලබන්න දක්ෂතාවය පෙන්වන්නනේ අපි රංගන ක්ෂේත්‍රයට එන්නේ. සමහරවිට ඉදිරියේදි මට මීට වඩා අගය කිරීම් ලැබෙයි, සමහර විට මඩ වදියි. මම හැමදේම සමබරව දරාගෙන මගේ ගමන යනවා.

ක්ෂේත්‍රය තුළ මේ වෙනකොට හැදිලා තියෙන ඉල්ලුම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?

ඔව්. මට තියෙන ඉල්ලුම ගැන ගොඩක් සතුටුයි. 2019 දි තමයි මම මුලින්ම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ගත්තේ. මේ පොඩි කාලය ඇතුළත හදාගෙන තියෙන මගේ නම සහ මට ලැබෙන වැඩ ගැන මම තෘප්තිමත්. ලොකු කට්ටක් කාලා මම මේ තැනට ආවේ. ඒකයි මට සතුටු.

ගැළපෙන නොගැළපෙන නිර්මාණ තීරණය කරන්නේ කොහොමද?

පිටපත බලද්දි පිටපතේ ගුණාත්මක බව වගේම කරන්න තියෙන චරිතය වෙනුවෙන් මට අඳින්න වෙන ඇඳුම ගැනත් මම සැලකිලිමත් වෙනවා. හොට් ෂෝට්, බිකිනි වගේ ඇඳුම් අඳින්න වෙනවා නම් මම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ.

රංගනය දැන් බොහෝ රංගන ශිල්පිනියන්ගේ තාවකාලික නැවතුම්පළ වෙලා…

මම රංගනයට ආදරෙයි. ඒක තාවකාලික නැවතුමක් කරගන්නේ නැතුව පුළුවන් කාලයක් රංගනයේ රැඳෙන්න මහන්සි වෙනවා.

සංජානාගෙයි සංගීත්ගෙයි මංගල ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල සැරිසරනවා…

මමයි, සංගීත් අයියයි ‘මුතු ළෙංදොර’ නාට්‍යයේ එකට රඟපෑවා. අපි එකට රඟපාන රංගන යුවළක් නිසා ගොඩක් අය සංගීත් අයියගෙනුයි මගෙනුයි අහනවා අපි පෙම්වතුන්ද කියලා. ඇත්තටම එහෙම සම්බන්ධයක් අපි අතර නැහැ.

සංගීත් ඔබේ පෙම්වතා නෙවෙයි නම් කවුද ඔබේ පෙම්වතා…

ඇත්තටම දැන් මම පෙම්වතියක් නෙවෙයි. තව ටික කාලයක් යනකල් මම පෙම්වතියක් නොවී ඉඳියි.
හැබැයි ආදර යෝජනාවල අඩුවක් නැතුව ඇති…

ආදර යෝජනා නම් එනවා. BMW කතාවෙන් පස්සේ ගොඩක් ආදර යෝජනා ආවා. හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ. මට යහළුවෝ නම් ඉන්නවා. හැබැයි පෙම්වතෙක් තවම නැහැ.

– තිළිණි කෞශල්‍යා විජේසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්