Feb
12

කොළඹින් ගෙයක් ලැබුණු එක ගොඩක් වටිනවා – දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනූ දුලංග සම්පත්

 
1244 Views
   
Dulanga Sampath wins Derana Dream Star crown  

ශ්‍රී ලංකා ගායනා තරු රියැලටි ඉතිහාසයේ වැඩිම වාරගණනක් පැවැත් වූ රියැලටි වැඩසටහන වන ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ දසවැනි කූටප්ප්‍රාප්ති රාත්‍රිය පසුගියදා අතිඋත්කර්ශවත් ලෙස පැවැත්වීය. ලක්ෂයකට අධික තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් ඒ අවසන් මහා රාත්‍රියේ මෙවර ගායනා කිරුළට හිමිකම් කීවේ නාවලපිටිය ප්‍රදේශයෙන් තරග වැදුණු දුලංග සම්පත්ය. එමෙන්ම ගායන රියැලටි ඉතිහාසයේ ඉහළම වටිනාකමක් සහිත ත්‍යාගය හිමිකර ගැනීමටද දුලංග සම්පත් හිමිකම් කීවේය.
දිනාගත් කිරුළේ සතුට බෙදා හදා ගන්නට දුලංග අප සමග එකතුවූයේ මෙලෙසිනි.

කිරුළ අතට ගත්ත වෙලාවේ මොකද දුලංගට හිතුනේ?

මේක හීනයක්ද කියලා හිතුනා. කිරුළ ටිකක් බරයි. මම මුලින්ම දිව්වේ අම්මයි තාත්තයි ළඟට. මම ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් කැපවීම් කළා. ඒ කළ කැපකිරීමේ ප්‍රතිඵල අතට ලැබුණාම සතුටට යටින් ඇස්දෙකේ කඳුළු පිරුණා.

දුලංගගේ පාසල සහ දුලංග කියන ගායකයාට පාර කැපුන තැන කොතැනද?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන්. එතනින් පස්සේ මම එනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයට. මට චූටි කාලේ ඉඳලාම ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. සින්දු කියන්න පටන් ගත්නකොට මට අවුරුදු 3 යි. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. කාටවත් ගීත ගායනා කරන්නත් බැහැ. ඇත්තටම ඒ ගායන  හැකියාව පෙර පිනකට මට ලැබුණු දෙයක් කියලා තමයි මම හිතන්නේ. ඒ වගේම පාසල් දෙකෙන්ම මගේ ගායන හැකියාවන්වලට පාර කැපුණා.

දුලංග දැන් සංගීත ජීවිතේ එක පඩියක් නැගලා ඉවරයි. දිනාගත්ත කිරුලට සාධාරණයක් කරන්න සූදානම්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ ඊළඟ එකම හීනය මගේ ගීතයක් ජාත්‍යන්තර තලය දක්වා ගෙනියන්න. Fm දෙරණෙන් ලබන සතියේ ගීතයක් කරන්න සූදානම් වෙනවා. ලංකාවේ ගුණාත්මක ගීත නිර්මාණය වෙනවා අඩුයි. ඩ්‍රීම් ස්ටාර් අපි එකතුවෙලා රටේ ගුණාත්මක ගීත රැල්ලක් නිර්මාණය කරන්න තමයි අරමුණ.

දුලාංගට දෙරණේ ගායන වේදිකාව නුහුරු නුපුරුදු තැනක් නොවෙයි.

ඇත්තටම තාත්තා මාව රියලටි තරගයකට කියලා එක්ක ආවේ 2007 දෙරණ ලිට්ල් ස්ටාර් දෙවන අදියරට. දෙරණ ලිට්ල් ස්ටාර් දෙවන අදියරයේ 8 න් පහළ තරගකරුවන්ගේ 12 දෙනා අතරට එන්න අවස්ථාව ලැබුණා. එතනින් පස්සේ තමයි මම මියුසික් පටන් ගත්තේ.
චූටි කාලේ ඉඳලා මම හීන දැක්කේ ගායකයෙක් වෙන්න. මට මතකයි මම චූටිකාලේ තාත්තා මාව නාවලපිටියේ ප්‍රසංගවලට එක්ක යනවා සින්දු කියන්න. සමහර ප්‍රසංග වලින් අවස්ථාවක් ගන්න පැය ගණන් බලාඉන්න වෙනවා. ඒ වගේ බොහොම දුෂ්කර මාවතකින් තමයි මම මගේ හීනෙට ආවේ. ඔහොම ඉන්නකොට තාත්තා තමයි කිව්වේ අපි ඩ්‍රීම් ස්ටාර් අයදුම් කරමු කියලා.

දුලංගටත් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ දැක්වූ දක්ෂතාවයන්ට විනිශ්චය මණ්‍ඩලයේ විවිධ වූ අනාවැකි පළවුණා. ඒ අවසන් මහා රාත්‍රියේ ඔබ ඉඳිය යුතුයි කියලා දුලංගට ඒ විශ්වාසය තිබුණාද?

හැමදාම ගායනා කරන ගීතවලට  විනිශ්චය මණ්‍ඩලයේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. අනාවැකිත් පළවුණා. ඒත් මට අවසානය තෙක් එන්න ලැබේවි කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. අවසන් 48 දෙනාගෙන් දවසින් දවස අවසන් දොළොස්දෙනා අතරට එන්න ලැබුණාම මට ඕනැ වුණේ අවසන් තිදෙනා අතරට එන්න විතරයි. ඒ තැනට කොහොමහරි යනවා කියන අධිෂ්ඨානය එක්ක මම සටන් කළේ. අනෙක් තරගකරුවන් එක්ක නෙමෙයි මම සටන් කළේ මාගේ අධිෂ්ඨානය එක්කමයි. සමිතා මිස්, කීර්ති සර් පළමු වටයට ගිය දවසෙම කිව්වා අවසන් රාත්‍රියෙත් ඔබව දකින්න කැමැතියි කියලා. එදා ඒ අනාවැකිය කොහොම කිව්වද කියලා මට හිතාගන්න බැහැ.

දුලංග වැඩිපුරම ප්‍රියකරන හඬක් ගායකයෙක් ඉන්නවා.

තරගය පුරාවට නම් විවිධ ගායනා කරන්න ලැබුණා. ඒවායින් මගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විනිශ්චය මණ්ඩලයේ ඉහළම ප්‍රතිචාරය ලැබුණේ මම ගායනා කළ හින්දි ගීතවලට. චූටි කාලේ ඉඳලා මම ආසකරපු ගායකයො හතර දෙනෙක් ඉන්නවා. එච්.ආර්. ජෝතිපාල, පණ්ඩිත් අමරදේවයන්, මොහිදින් බේග්, ෂෙල්ටන් පෙරේරා. මේ හතර දෙනාගේ ගීත තමයි මම වැඩිපුරම ගායනා කරන්නේ. ඒත් පුංචි කාලේ තාත්තා මාව ප්‍රසංගවලට සින්දු කියන්න එක්ක ගියාම ඒවාට එන ගායක ගායිකාවෝ එක්ක කතා කරන්න හරිම ආසයි. දෛවෝපගත සිදුවීමක් මම කියන්නම්. දවසක් කීර්ති පැස්කුවල් සර් නාවලපිටියේ සංගීත ප්‍රසංගයකට සින්දු කියන්න ඇවිල්ලා හිටියා. මම එතකොට චූටියි. මමත් ගියා ඒ ප්‍රසංගේ සින්දු කියන්න. මට මතක විදිහට මම එතකොට හතර වසරේ. මං සින්දුව කියලා බහිනකොට කීර්ති සර් සින්දු කියන්න නගිනවා. මං සර් ළඟට දුවලා ගිහින් සර්ගේ නම්බර් එක ඉල්ලුවා ආසාවට කතා කරන්න. කොළයක් තිබුණේ නැහැ. කීර්ති සර් පෑන අරගෙන ම​ෙග් අල්ලේ සර්ගේ නම්බර් එක ලිව්වා. මං දවස් කීපයක් කතා කළා. ඒ සිද්ධිය වෙලා අවුරුදු ගානකට පස්සේ අද එතුමා ඉදිරියේ දැවැන්ත වේදිකාවක මට ගීත ගයන්න ලැබීම ලොකු සතුටක්.

මේ වෙනකොට ඔබ කිරුළට හිමිකම් කියා අවසන්. මේ ගමන් මගේ දුලංගගේ ඇද්දැකීම් මොකක්ද?

මේ ගමනේදී මගේ ජීවිතේ ලොකුම හයිය වගේම ලොකු ධෛය්‍යිය වුණේ මගේ අම්මයි තාත්තයි. එයාලා එයාලගේ හීනත් අතෑරලා දාලා තමයි මං වෙනුවෙන් කැපවුණේ, මගේ පවුලේ ඉන්නේ මායි, අක්කයි, අම්මයි, තාත්තයි. තාත්තා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. අපි මහලොකු සල්ලිකාර මිනිස්සු නෙමෙයි. නාවලපිටිය ගමේ ජීවත්වෙන අපි බොහෝම සාමාන්‍ය පවුලක්. මාව මේතැනට ගේන්න මගේ තාත්තා විශාල කැපකිරීමක් කළා. මුල් වටයේ ඉඳලා මාත් එක්ක කොළඹ ආවේ තාත්තා. පස්සේ මං නිසාම තාත්තා රැකියාවෙන් පවා අයින් වෙලා මේ තරගයට මාත් එක්ක ආවා. තාත්තා රැකියාවෙන් අයින්වුණාම ගෙදර ආර්ථිකය බැලුවේ අක්කා. මුල් කාලේ නාවලපිටියේ ඉඳලා කොළඹ තරගයට එද්දී මම විඳපු දුක මෙච්චරය කියලා කියන්න බෑ. ගොඩාක් දුක් වින්දා. සමහර දවසට රෑ බස් එකේ ගෙදර ගිහින් පහුවෙනිදා පාන්දර 4ට ආපසු කොළඹ ආපු දවස් තිබුණා. වැඩිපුරම නිදාගත්තේ බස් කෝච්චිවල. කොළඹ ඉන්න තැනක් නැති නිසා රෑම ගෙදර ගිහින් උදේම ආපු දවස් තිබුණා. මට කොළඹින් ගෙයක් ලැබුණු එක ගොඩාක් වටිනවා.

මට උගන්නපු සංගීත ගුරුවරු හැමදෙනාටම මම පිංදෙනවා. ධර්මරාජ විද්‍යාලයේ ධනුෂ්ක සර්, සුරේෂ් මාලියද්ද සර්, පාසල් ද්විත්වයවගේම ගුරුවරු, මගේ යාළුවෝ, ආදිසිසුන් මට ලොකු සහයෝගයක් දුන්නා. මාව මේ තැනට ගෙනාපු ලෝක වාසී සියලුම දෙනාට හිස නවා මම ආචාර කරනවා.

විශාල අභියෝග දෙකක් අතරමැද තමයි ඔබ කිරුළට හිමිකම් කිව්වේ?

ඇත්තට අංජිලී සහ රජිත කියන්නේ ලොකු අභියෝගයක්. ඉතාම අතිදක්ෂයෝ දෙපලක්. කලින් තරගවලට වඩා මේ පාර ලොකු තරගයක් තිබුණා. අංජලී – රජිත කියන්නේ මේ රටේ වාසනාවට පහළ වුණ දක්ෂ කිරුලු දෙකක්.

ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුත් ත්‍යාගයන්ගේ හිමිකාරයා වෙන්න ලැබුණේ ඔබට?

ඒක දරාගන්න බැරි සතුටක්. මගේ අම්මා, තාත්තා විඳපු දුක් මෙතකින් නිමයි කියලා මට එදා හිතුනා. නවීන සුඛෝපභෝගී නිවසක් ලැබුණා. තව තෑගි ගොඩාක් වාගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබිලා තියෙනවා.

නදීශා අතුකෝරළ

 

මෙන්න බලන්න තවත් ගොසිප්