Oct
1

දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට..අවසර ලැබෙන හා නොලැබෙන සියල්ල මෙන්න..

 
511 Views
   
 

දින 41ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. ඊට අනුව ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර රාත්‍රී කාලයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ. රට විවෘත කිරීමත් සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ නිකුත් කළා.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී හැර අනෙකුත් අවශ්‍යතා සඳහා පළාත් අතර සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ. පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් වන අතර වායු සමනය කළ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘතව තැබිය යුතුයි.

නිවෙස්වලින් බැහැරව යා හැක්කේ රැකියා, සෞඛ්‍ය අවශ්‍යතා, අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට සිට 15 වැනිදා දක්වා උපරිම පුද්ගලයින් ගණන 25කට සීමාවන ලෙස උපරිම ධාරිතාවයෙන් 25% කට පමණක් අවසර හිමිවන අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා උපරිම පුද්ගයින් ගණන 50ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

උත්සව, සාද සහ එක්රැස්වීම් සඳහා ඔක්තෝබර් මාසය පුරාම අවසර හිමිවන්නේ නැහැ. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අවසර ලබා දී තිබෙනවා. විවෘත වෙළඳපොල සහ සතිපොල සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ හැකියි. අවන්හල් සඳහා 15 වැනිදා දක්වා අවසර හිමි නොවන අතර ඔක්තෝබර් 16 සිට 31 දක්වා ආසන ධාරිතාවයෙන් 30%කට පමණක් උපරිම ගනුදෙනුකරුවන් 50 දෙනෙකුට යටත්ව අවසර හිමිවනවා.

කෙසේ වෙතත් අවන්හල් තුළ මත්පැන් භාවිතය තහනම්වන අතර එළිමහනේ ආසන සකසා ඇත්නම් ගනුදෙනුකරුවන් 60 දෙනෙකුට එකවර රැඳී සිටිය හැකියි. සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළඳසැල්, ගෘහභාණ්ඩ වෙළඳසැල් ආදිය සඳහා 15 වැනිදා දක්වා ධාරිතාවයෙන් 10%ක් පමණක් ඇතුළත් කර ගත හැකි අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා 20%කට අවසර හිමිවනවා.

එමෙන්ම එම ආයතන තුළට ඇතුළත් කරගතහැකි පුද්ගලයින් ගණන පිටත ප්‍රදර්ශනය කළ යුතුයි. ඔක්තෝබර් 15 වැනිදා දක්වා පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය පමණක් සිදු කළ හැකි අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා උපරිමය පුද්ගලයින් 50 දෙනෙකුට සීමා වන පරිදි ධාරිතාවය 25% නොඉක්මවන ලෙස විවාහ මංගල උත්සව පැවැත්විය හැකියි.

කෙසේ වෙතත් එළිමහන් උත්සව සඳහා දිරිමත් කළ යුතු අතර මත් පැන් භාවිතය තහනම් කර තිබෙනවා. අවමංගල උත්සව පැය 24ක් ඇතුළත සිදු කළ යුතු අතර ඔක්තෝබර් 15 දක්වා ඊට සහභාගි විය හැක්කේ ඔනෑම වේලාවක පුද්ගලයින් 10 දෙනෙකුට පමණයි. ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා ඒ සඳහා පුද්ගලයින් 15 දෙනෙකුට අවසර හිමිවනවා.

පන්සල් ඇතුළු පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ නැහැ. මූල්‍ය ආයත තුළ ඕනෑම අවස්ථාවක රඳවා ගත හැක්කේ ගනුදෙනුකරුවන් 5 දෙනෙකු පමණයි. ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කල හැකියි. කෘෂිකර්මාන්තය සඳහා අවසර ලබා දී තිබෙනවා.

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර පැමිණිය හැකියි. පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර සිසුන් 200ට අඩු පාසල් ප්‍රථමවෙයන් විවෘත කළ හැකියි. උපකාරක පන්ති සඳහා අවසර නැහැ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනවා. පෙරපාසල් සිසුන් ධාරිතාවයෙන් 50%ක් සඳහා විවෘත කළ හැකියි.

විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කළ හැකියි. වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක 50% ක ධාරිතාවයෙන් ආරම්භ කළ හැකියි. සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැ හැ. ව්‍යායාම මධ්‍යස්ථානවල ඕනෑම වේලාවක සිටිය හැක්කේ ගනුදෙනුකරුවන් 5 දෙනෙකු පමණයි. ක්‍රීඩා කටයුතු සඳහා ඔක්තෝබර් 15 වැනිදා දක්වා අවසර හිමි නොවන අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා අවසර ඇතත් නරඹන්නන් ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන්නේ නැහැ. කෙසේ වෙතත් ඇවිදින මංතීරු විවෘතව තැබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්