Dec
4

ඇමති ලේකම් ගේම්කාරයන්ගේ අතේ පත්තු වුණු රත්තරන් හොරකම..!

 
2176 Views
   
 

ඉකුත් යුද සමයේ මුලතිව් හා ඒ අවට ගම්මාන රැසක් පැවතියේ එල්.ටී.ටී.ඊ සංවිධානය යටතේය. ඔවුන් එම ප්රදේශවල සිය කඳවුරු ඉදි කරමින් වෙනම රාජ්යයක් පවත්වාගෙන ගියේය. පුදුකුඩුඉරිප්පුද එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවති භූමි ප්රදේශයකි. රජයේ හමුදා උතුර අත්පත් කර ගැනීම සඳහා සිදුකල දැවැන්ත ප්රහාර හමුවේ අසරණ වූ කොටි ත්රස්තවාදීන් එම ප්රදේශ අතහැර ගියේ දැඩි අකමැත්තෙනි.

කලක් පුදුකුඩුඉරිප්පු ප්රදේශයේද දරුණු සටන් ඇවිලී කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් පවා පුදුකුඩුඉරිප්පු ප්රදේශය ආශ්රිතව අවසන් අවස්ථාව තෙක් රැඳී සිටියේ එල්.ටී.ටී.ඊය සතුව ධනය හා වටිනා සම්පත් එම ප්රදේශයේ පිහිටා ඇති කොටි කඳවුරු වල තැන්පත් කර තිබීම නිසාය. මේ නිසා පුදුකුඩුඉරිප්පු අතහැර යාමට ත්රස්තවාදීන් කෙසේවත් කැමති වූයේ නැත. යුධ හමුදාවටද සති ගණනාවක් යනතුරු පුදුකුඩුඉරිප්පු බලය තහවුරු කර ගැනීමට නොහැකි විය. එහෙත් කොටි බලකොටු බිඳ දමමින් ඇරඹි ප්රහාරයක් මැද අලස නොවූ ත්රස්තවාදීන් ඔවුන් සතු වටිනා දේපළ මෙම භූමි වල වළ දමා පලා ගියහ.

පලාගිය ත්රස්තවාදීහු තැන තැන මැ රු ම් කෑහ. එහෙත් ඔවුන් වල දැමූ රන් ආභරණ මුදල් ඇතුළු වූ අවි ආයුධ එම භූමි වල එලෙසම තැන්පත් විය. කොටි පාලනය අවසන් වී ජන ජීවිතය සාමාන්ය තත්ත්වයට පත් වී වසර කිහිපයක් ගත වී ඇතත් එල්.ටී.ටී.ඊය වළදැමූ වස්තූන් එම භූමි වල පැවති බව දත් සමහර පිරිස් හොර රහසේ ඒවා ගොඩගැනීමට කටයුතු කළහ. ඉකුත්දා රජයේ ප්රබල අමාත්යවරුන් දෙදෙනෙකුගේ ලේකම්වරුන් දෙදෙනෙකුද එවන් උත්සාහයක යෙදී ඇති බව පසුගියදා මාධ්ය වාර්තා කර තිබුණි.

ඒ බව අනාවරණය කරගත හැකි වූයේ එම ලේකම්වරුන් දෙදෙනා පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ භූමි භාගයක වල දමා ඇතැයි කියන එල්.ටී.ටී.ඊයට අයත් රත්රන් තොගයක් ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙක් ගේ සහය ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් අනතුරුවය. මේ කරුණු කාරණා හෙළිවූයේ මුලතිව් කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ සම්බන්ධ තොරතුරු උතුරු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා දැනුවත් කිරීමෙන් පසුවය.

පසුව එම තොරතුරු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා යැවීය. රත්රන් තොගය ගොඩ ගැනීමට දැරූ උත්සාහයේ දී හෙළි වූයේ ඉන් අනතුරුවය. පුදුකුඩුඉරිප්පු පොලිසියේ වත්මන් ස්ථානාධිපති ලෙස රාජකාරිය කරනුයේ ප්රධාන පොලිස් පරීක්ෂක හේරත්ය. ඊට කලින් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ප්රධාන පොලිස් පරීක්ෂක හේරත් කලක් රාජකාරි කළ ඇත්තේ මුලතිව් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය භාරවය. එහෙත් ඔහුට පුදුකුඩුඉරුප්පු පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කිරීමට ඇතිවූ කැමැත්තක් මත ඔහු ඒ සම්බන්ධයෙන් දේශපාලන ක්රියාකාරීන් කිහිපදෙනෙකු හමුවේ ඉල්ලීමක් කර තිබුණි. ඉන් එක් අයෙකු වුයේ මහජන ආරක්ෂක අමාත්යවරයාට සම්බන්ධ බව කියන සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.

ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහුටද මේ බව පවසා තමාට පුදුකුඩුඉරිප්පු පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත්තේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට ඒ සඳහා පළපුරුද්ද, සුදුසුකම් හා ලකුණු ප්රමාණය මදි බව කියමින්ය.

“පුදුකුඩුඉරිප්පු දෙන්න බැහැ. වෙන පොඩි ස්ටේෂන් එකක් දෙන්නම්.” 

ලේකම්වරයා ඔහුට ද පවසා ඇතැයි කියති. එහෙත් ප්රධාන පොලිස් පරීක්ෂක හේරත් තම උත්සාහය අතහැර නැත. පසුව ඔහු ඩග්ලස් දේවානන්දා අමාත්යවරයා හමුවී ඔහුගේ ලේකම්වරුන්ගේද සහායෙන් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපති තනතුර ඉල්ලා ඇති අතර දින කිහිපයකට පසු ඩග්ලස් දේවානන්දා අමාත්යවරයාගේ නිර්දේශය මත පොලිස්පතිවරයා විසින් ප්රධාන පොලිස් පරීක්ෂක හේරත් ව පුදුකුඩිඉරිප්පු පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇත. ඒ අනුව ඔහු පසුගිය නොවැම්බර් 19 වනදා ඔහු සිය රාජකාරිය බාරගත්තේය. 

මෙලෙස රාජකාරි කරමින් සිටි ප්රධාන පොලිස් පරීක්ෂක හේරත්ට පසුගිය 23 වැනිදා ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකුගේ දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ ඇමතුම සම්බන්ධයෙන්ද උතුරු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයාට මෙසේ දන්වා තිබුණි. 

2021.11.23 සවස් කාලයේ මහජන ආරක්ෂක අමාත්යංශයේ අමාත්යතුමාගෙ ලේකම්වරයෙකු නමින් හඳුන්වන පුද්ගලයකු සහ ධිවර අමාත්ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ලේකම්වරයෙකු ලෙස හඳුන්වන පුද්ගලයෙකු පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.බී.ආර් හේරත් නිලධාරියා හමුවී පසුගිය යුද සමයේ වළ දමා ඇති රන් භාණ්ඩ හා යුද උපකරණ ගැනීම සඳහා 2021.11.24 දින රාත්රි කාලයේ කැණීම් කිරීමට සහාය ලබා දෙන ලෙස නීත්යානුකූල නොවන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන් කර තිබුණි. 

ඒ සඳහා අධිකරණ ඒ අනුව එම ඉල්ලීම සිදු ව ඇතැයි කියන්නේ ඒ සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබූ මොහොතකය. පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ එක්තරා ස්ථානයක එල්.ටී.ටී.ඊය විසින් වල දමා ඇති රත්රන් තොගයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ සඳහා කැණීම් කිරීමට පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව ඒ සඳහා අධිකරණය අවසර දී තිබුණේ ඉකුත් නොවැම්බර් මස 25 වැනි දින නීත්යානුකූල ආකාරයෙන් කැණීම් සිදු කොට එම ගොඩ ගැනීම සිදුකරන ලෙසයි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන තැනැත්තා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී මෙසේ පවසා ඇතැයි වාර්තා වේ. 

“පොඩි වැඩක් තියෙනවා කරමු.” 

එම ප්රකාශය ඔහු ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ ධීවර අමාත්ය වරයාගේ ලේකම්වරයා සමග සිටියදීය. එම ලේකම්වරයාට අවශ්යව ඇත්තේ අධිකරණ නියෝගයට කලින් එම කැණීම් සිදුකිරීමටය. කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයා ධීවර අමාත්යාංශයේ ලේකම්වරයා හොඳින් දැන සිට ඇත. 

ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය ලබා දුන්නේද එම ලේකම්වරයා සම්බන්ධ අමාත්යවරයා විසින්ය. එවිට එම ලේකම්වරුන් පවසා ඇත්තේ තව සුළු මොහොතකින් ස්ථානාධිපතිවරයා හමුවට එන බවය. 

“මහත්තයත් මේකට සම්බන්ධයි. අපිත් එක්ක එයත් එනවා. එස්.ටී.එෆ් එකත් බැලන්ස් කරල තියෙන්නෙ. සේරම හරි. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. අපි දැන් ඔය පැත්තට එනවා. ඇවිත් ඔබතුමාව හමුවෙන්නම්.” 

හිතවත් ධීවර අමාත්යාංශයේ ලේකම්වරයා තමා හමුවට පැමිණෙන බැවින් ස්ථානාධිපතිවරයා ඔවුන් හමුවීමට විරුද්ධ නොවීය. ඒ අනුව ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා දහවල් මහජන සහ ආරක්ෂක අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා, ඩග්ලස් දේවානන්ද අමාත්යවරයාගේ ලේකම්වරයාත් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණියහ. ලේකම්වරුන් දෙදෙනා සාදරයෙන් පිළිගත් ස්ථානාධිපතිවරයා ඔවුන්ට තේ පැන් සංග්රහයක් ද ලබා දුන්නේය. 

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා මෙම රන් තොගය ගොඩ ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා එකඟ කරවා ගැනීමට ධීවර අමාත්යවරයාගේ ලේකම්වරයා කැටුව පැමිණ ඇතැයි කියති. ඒ ස්ථානාධිපතිවරයා හා ධීවර ඇමතිගේ ලේකම්වරයා හොඳින් දන්නා හඳුනන අය වීම නිසාය. මේ අතරතුර ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක්ද ලැබුණි. ඒ මුලතිව් පොලිස් කොට්ඨාසයේ නිලධාරියකුගෙනි. ස්ථානාධිපති හේරත් එම නිලධාරියා හඳුනාගත්තේය. 

“අපි මේකට උදවු කරමු. ඔයා ඕකට security එකක් දාන්න. එතකොට ඔයාට වැඩේ කරගන්න පුළුවන්.” 

එවිට ස්ථානාධිපති හේරත් එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ ආරක්ෂාවක් යොදවන්නට තමන් එවන් ස්ථානයක් නොදන්නා බවය. නිලධාරියා ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට නොපැමිණ මග රැඳී සිට ස්ථානාධිපති හේරත්ට එම ඇමතුම දී ඇතැයි කියයි. ලේකම්වරුන් දෙදෙනාගේ කතා බහෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට තේරුම් ගොස් ඇත්තේ අධිකරණ නියෝගයට කලින් එල්.ටී.ටී.ඊ ය විසින් පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ වල දමා ඇතැයි කියන රත්තරන් තොගය ගැනීමට මෙම ලේකම්වරුන් උත්සාහ දරන බවය. 

එය නීති විරෝධී ක්රියාවක් බවත් ඊට සහාය දීමෙන් යම් කිසි ප්රශ්නයක් මතු වුවහොත් තමාටද අත්වන ඉරණම කල්තියා දැනගත් පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා, ලේකම්වරුන් දෙදෙනාගේ මේ ඉල්ලීම එම මොහොතේම ප්රතික්ෂේප කළේ

අවසානයේ ලේකම්වරුන් දෙදෙනා ස්ථානාධිපති නිල නිවසින් බැහැරව ගිය හිස් අතින්ය. මෙවන් සිදුවීමක් වූ බවට පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ “අයි.බී” පොතේ සටහනක් දමා ඇති බව දැනගන්නට ඇත. එහෙත් ඔහු ඊළඟට කළ යුතු වන්නේ මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් ඒ මොහොතේම දැනුවත් කිරීමය. 

ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා, මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාට මේ බව දැනුම් දී ඇත. ලේකම්වරුන් එම පොලිස් වසමේ පෙර සිට ඔවුන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා පොලීසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන ඇති බවත් 2021.11.25 වන දිනට පෙර නීත්යානුකූල නොවන ආකාරයට එය සිදු කිරීමට සහාය ලබා දෙන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් පුදුකුඩුඉරිප්පු ස්ථානාධිපතිවරයාගේ තොරතුරු පිළිබඳව දිස්ත්රික් භාර නිලධාරියා හෝ තමා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම නිසා ස්ථානාධිපති වරයෙකු ලෙස තම රාජකාරි වගකීම හා රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇද්ද යන්න පරික්ෂා කිරීම සඳහා මුලතිව් දිස්ත්රික් භාර සහකාර පොලිස් අධිකාරී ලසන්ත විතාරණ නම් නිලධාරියා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොට්ඨාස නිලධාරී මුලතිව් විසින් තමාට දැනුම් දී ඇති බවත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා අමාත්යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබිණ. 

මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා පැවැත්වූ විමර්ශනයේදී ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ඔවුන් අමාත්යවරුන් දෙදෙනෙකුගේ ලේකම්වරුන් බැවින් අනිසි ප්රශ්නයක් ඇතිකොට රජය අපහසුතාවයට පත් කිරීමට තමා උත්සාහ නොකළද, තමා දිසා භාර නියෝජ්ය පොලිස්පතිවරයා දැනුවත් කළ බවය. එමෙන්ම සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්යවරයාට මේ බව දැන්වීමට උත්සාහ කළද තමාට ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවද ඔහු පවසා ඇතැයි වාර්තා වේ. 

අඩු තරමින් දිස්ත්රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා හෝ දැනුවත් කිරීමට ඔහු කටයුතු කළ යුතුව තිබූ බව උසස් නිලධාරීන්ගේ මතය විය කෙසේ වෙතත් උතුරු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගෙන් ලිඛිත දැනුම් දීම මත යුද සමයේ වළ දමන ලද රත්රන් තොගය ගොඩගැනීමට ලේකම්වරුන් දෙදෙනා ගත් උත්සාහය සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙස මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයා දැනුවත් කරන්නට විය. ඒ අනුව පොලිස්පතිවරයා එම විමර්ශන භාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. 

විමර්ශනයේදී මේ වන විට හෙළිවී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම් වරයාට මේ සඳහා අවශ්ය සහාය ලබා දී ඇත්තේ එම ප්රදේශයේම පොලිස් ප්රධානියකු බවයි. ඔහු මේ වන විට මුලතිව් කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. මෙම නිලධාරියා හා මහජන ආරක්ෂක අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා මීට පෙර ද එම ප්රදේශය තුල මෙවන් ස්ථාන සොයා බලා ඇතැයි දැන් නිල නොවන තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ. 

මේ අතර එම නිල නොවන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ රන් ආභරණ තොගය වළදමා ඇති ස්ථානය මීට පෙරද හාරා ඇති බවත් කුමක් හෝ හේතුවක් මත ඒ බව හෙළිවීම නිසා කැණීම් කටයුතු නතර කර ඇති බවත් පසුව මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර ඇති බවත්ය. එහි සත්යතාව තහවුරු කර ගැනීමට පොලිසිය විමර්ශනයක් පවත්වමින් සිටියි. එහෙත් නව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පත් වීමත් සමග එම කැණීම් කටයුතු සිදු කර ගත නොහැකි වීම නිසා අධිකරණය නියෝග කර ඇති දිනට පෙර එම කැණීම් කිරීමට මෙම කණ්ඩායම උත්සාහ දරා ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

ඒ අනුව මෙහි සත්යතාව තහවුරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාගේ හා ධීවර අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් මෙන්ම ඔවුන්ට සහාය දුන් මුලතිව් කොට්ඨාශයේ පොලිස් ප්රධානියා ගැන ඉදිරියේ දී ප්රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් 2021 ඔක්තෝම්බර් 11 වැනිදා මුලතිව් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම ස්ථානයේ රන් භාණ්ඩ හා යුද උපකරණ ඇති බවට ලද තොරතුරු අනුව මීට පෙරද එම ස්ථානයේ කැණීම් සිදු කළත් කිසිදු දේපලක් හමු වී නැති බවද දැනගන්නට ඇත. එහෙත් පසුගිය කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස රන් භාණ්ඩ හා යුද උපකරණ ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු හා ස්කෑන් යන්ත්රයක් අත් අඩංගුවට ගැනීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය කටයුතු කර ඇත. 

මෙම ස්ථානයේ රන් ආභරණ හා යුද උපකරණ ඇති බවට හැඟී යාම නිසා ඒ සඳහා කැණීම් කිරීමට පුදුකුඩු ඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලා තිබූ අවසරය එල්ටීටීඊ සංවිධානයේ මහවිරු සතිය පසුගිය කාල සීමාව තුළ පැවතීම හේතුවෙන් ඉකුත් 25 වැනි දා සිදු කිරීමට නොහැකි වී ඇත ඒ බව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම කැණීම් දෙසැම්බර් දෙවැනි දා සිදු කරන ලෙස නියෝග ලබා දෙන ලදී තෙක් එම ස්ථානයට ආරක්ෂාව යොදවා තිබිණි. ඉකුත් දෙවැනිදා මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය මත එම කැණීම් සිදුකිරීමට ද සැරසුනද බල දමා ඇතැයි කියන ස්ථානය ජලයෙන් යටවීම නිසා එයද අත්හිටුවන ලදී. 

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන මහජන ආරක්ෂක අමාත්යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන තැනැත්තාට එරෙහිව මීට පෙරද තවත් නීති විරෝධී ක්රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්ථාවේ දිවුලපිටිය පොලිස් වසමේ සියඹලාගහවත්ත උල්වලපොල ප්රදේශයේ පදිංචි කාන්තාවක්ද එම නිලධාරියාගේ ක්රියාකලාපය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

තම සැමියාට අයත් ඉඩමකට ව්යාජ ඔප්පු සකස් කිරීම ගැන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනය සිදු කරද්දී මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ පැමිණ එම ඉඩම බලහත්කාරයෙන් මැනීමට උත්සාහ කළ බවට ඇයට චෝදනා කරන්නීය. එමෙන්ම එලෙස පැමිණි පොලිස් නිලධාරීන් නිවසේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා වලට පවා අලාභහානි සිදු කළ බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

වෑන් රථයකින් හා යතුරු පැදියකින් නිල ඇඳුමෙන් හා සිවිල් ඇඳුම්වලින් සැරසුණු කාන්තා නිලධාරිනියන් තිදෙනකු ද සමග පැමිණි විශේෂ කාර්ය බළකා නිලධාරීන් අයිතිකරුවන් නොමැති අවස්ථාවේ එම නිවස සෝදිසි කර පිටව යන ආකාරය සහිත සී.සී.ටී.වී දර්ශනද පැමිණිලිකාරිය විසින් අමාත්යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි. මෙයාකාරයෙන් නිතර නිතර පැමිණ තර්ජනය කිරීමේ යටි අදහස වන්නේ ඉඩම් අත්පත් කර ගැනීම බව පවසන පැමිණිලිකාරිය ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙසද ඉල්ලා ඇත. 

මෙවන් චෝදනා රැසක් එල්ලවී ඇති අමාත්ය සම්බන්ධීකරණ නිලධාරියා සම්බන්ධයෙන් මාධ්ය හෙළි කිරීමත් සමග මහජන ආරක්ෂක අමාත්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහා ක්රියාත්මක වන පරිදි අත්හිට වූ බවයි. 

එමෙන්ම මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද සිදු කරන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කර ඇති බවද අමාත්යවරයා සඳහන් කර තිබේ. එහෙත් මෙම විමර්ශන කොතෙක් සාර්ථක වේදැයි කිව නොහැකිය. ඊට හුදෙක් හේතු වන්නේ මෙවන් විමර්ශන දේශපාලන අතපෙවීම් අත පසුකාලීනව ඔයාට ගැසෙන බැවිනි. “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන්නද මේ අවනඩුව” අපට කිව හැක්කේ එවැන්නන් පමණි. 

 

-කීර්ති මෙන්ඩිස්-

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්