Jan
31

ශලනි තමයි මගේ හොඳම යාළුවා

 
749 Views
   
Shalani is my best friend  

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන, මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කරන (කියා දෙන්න ආදරේ තරම්) ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන ඔහු මේ දිනවල ඉතාමත් ජනප්‍රියයි. එම චරිතය ඔබ හමුවට එන ඔහු නමින් සචිත් ලියනගේ. (එහෙම වුණොත්) ඔහු මොකද කරන්නෙ.. ඔහුගෙන්ම අහලා බලමු…

සචින්.. පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

එහෙම යන්න අවස්ථාවක් ලැබුණොත් මම පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගත්තු කාලයට යන්න ආසා කරනවා. ඒ කාලය මට මතක තියෙන හරි සුන්දර කාලයක්. අපි හිටියේ හැඳල අපේ මහ ගෙදරයි. ඒ වෙද්දි අපේ නෑදෑයෝ බොහොමයක් එක වත්තක එකට තමයි ජීවත් වුණේ. එකම වත්තක එකම පාරේ එක පේලියට අපි ජීවත් වුණා. හවසට අපි හැමෝම එකට එකතුවෙලා සෙල්ලම් කළා. ඒ නිසා ඒ කාලයට අදටත් මම යන්න ආසා කරනවා.

නොහිතපු වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

ප්‍රතික්ෂේප කරන්න තරම් වරදක් මෙතෙක් මම කළා කියලා මම හිතන්නෙ නැහැ. මෙතෙක් මට ලැබුණු බොහෝ නිර්මාණ මම බාරගත්තෙ මොළෙන් කල්පනා කරලයි. නමුත් යම් හෙයකින් මාව මේ ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් මට එහෙම ලොකු දුකක් දැනෙන එකක් නැහැ. එහෙම වුණොත් මම වෙන කුමක් හෝ ක්ෂේත්‍රයකට සම්බන්ධවෙලා මගේ ජීවිතේ ගෙන යාවි.

නොකළ වරදකට සචින්ට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත්?

මම කරපු නැති වරදකින් කාට හෝ හොඳක් වෙනවානම් මම බාරගන්නවා. නමුත් ඒ නොකරපු වරදින් ලැබුණු දඬුවමින් මට හෝ මගේ පවුලේ අයට හානියක් වෙනවානම් මම ඒ වෙනුවෙන් සටන් කරනවා. මම නොකරපු දෙයකින් කාගෙන් හෝ වචනයක් අහන්න, දඬුවමක් විඳින්න මම මගේ පවුලේ අයට ඉඩ තියන්නෙ නැහැ.

සචින්ට දේශපාලනයට එන්න අවස්ථාවක් වගේම ආරාධනාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

ලංකාවේ වගේ රටක දේශපාලනය කියන වචනයේ වැරැද්දක් තියෙනවා. ඕක (දේශපාලනය) නෙමෙයි (දේශ සේවකයා) කියලයි වෙන්න ඕනෙ. දේශයක් පාලනය කරන්න ගියාම බොහෝ දෙනාට බොහෝ දේවල් ගැන අවබෝධයක් නැති වෙනවා. දේශයට සේවයක් කරන්න පුළුවන් වුණොත් මම ඒ දේ අනිවාර්යෙන්ම කරනවා. ඒකට දේශපාලනඥයෙක් වෙන්නම ඕනෙ නැහැ. මේ වන විටත් අපි පිරිසක් එකතුවෙලා මාසයකට වතාවක් හෝ දෙවතාවක් එවැනි සමාජ සත්කාර කරනවා. මෑතකදී අපි රත්නපුර ප්‍රදේශයේ ළමයින් පිරිසකට පාසලට අවශ්‍ය කරන අධ්‍යාපන භාණ්ඩ බෙදා දුන්නා. ඒක කළේ අපි යාළුවෝ කට්ටියක් එකට එකතුවෙලා. ඒ කිසිම දෙයක් අපි මුහුණු පොතේවත් පළ කරන්නෙ නැත්තෙ ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නොවන නිසයි.

හිතපු නැති වෙලාවක සචින්ට කෝටි ගණනක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

බොරු කියන්න ඕනෙ නැහැනෙ. එහෙම වුණොත් මුලින්ම මගේ දෙයක් වෙනුවෙන් මුදලක් වෙන්කර ගන්නවා. මගේ ජීවිතේ ආර්ථිකය වෙනුවෙන් මම යම් මුදලක් වෙන්කර ගනීවි. ඊළඟට ඔය අපි කරන සමාජ සත්කාර වෙනුවෙන් යම් මුදලක් මම වෙන් කරාවි.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරලා දමන්න, මකා දමන්න සචින්ට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ ගන්නෙ?

මගේ ජීවිතේ වෙච්චි කිසිම දෙයක් මම අමතක කරන්නෙ නැහැ. එහෙම අමතක කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. එහෙම අමතක කිරීම බොරු වැඩක්. ඒ සිදුවුණු හැමදේම ඒ විදිහටම මතකයේ තියෙන්න ඉඩ දෙනවා.

ජීවිතේ වෙච්චි වැරැද්දක් ආයෙමත් නිවැරදි කර ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

මගේ අතින් වෙච්චි ලොකු වැරැද්දක් තියෙනවානම් ඒක මම හදාගන්න බලනවා. නමුත් සමාජයත් එක්ක එකතුවෙලා කරන වැරැද්දක් මම ආයෙත් නිවැරදි කරන්න උත්සාහ ගන්නෙ නැහැ. සමහර තැන් අපි නිවැරදි කළොත් වෙන කොහෙන් හෝ ඒ වැරැද්ද ආයෙත් මතුවෙනවා. ඒ නිසා මේ ගලාගෙන ආපු විදිහටම ජීවිතේ යන එක හොඳයි. මම දන්න තරමින් තාමත් මගේ අතින් එහෙම හදාගන්න තරම් වැරැද්දක් වෙලා නැහැ. ඒ නිසා එහෙම වැරැද්දක් වෙලා තියෙනවානම් පුළුවන්කමක් තිබුණොත් ඒ වැරැද්ද හදාගන්නවා. නැත්නම් මේ යන විදිහටම යන්න දෙනවා.

(කියා දෙන්න ආදරේ තරම්) ටෙලිනාට්‍යයේ ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා වගේම සැබෑ ජීවිතෙත් ඔබයි ශලනියි අතර ප්‍රේමයක් ගොඩනැගිලා කියලා සමහරු කියනවා?

ඇත්තටම මට මේ ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යාළුවා ශලනි. එයා ළඟ ගොඩක් හැකියාවන් තියෙනවා. කවුරුත් එයාව ප්‍රතික්ෂේප කරාවි කියලා මම නම් හිතන්නෙ නැහැ. එයා ගොඩක් ශක්තිමත් ගැහැනු ළමයෙක්. එයා මගේ හොඳ යාළුවෙක්. ඒ වගේ දෙයක් කවදාවත් ඇතිවෙන එකක් නැහැ. හැබැයි ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක යම් විෂයක් ගැන ඉගෙන ගන්න සචින්ට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් හදාරණ විෂය මොකක්ද?

දැනටත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. සංගීතය කරනවා. ඒ නිසා ළඟදීම මගේ සින්දුවක් අහන්න පුළුවන් වේවි. මේ අවුරුද්දෙ මැද භාගයේදි බොහෝ විට ගීතයක් අහන්න පුළුවන් වේවි. ඊට අමතරව ක්‍රිකට්වලට වැඩි කාලයක් යොදවන්න ලැබුණොත් මම ඒකටත් කැමතියි.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවලට රැකියා සඳහා යනවා. සචින්ටත් විදෙස් රටක ඉතාම ඉහළ වැටුපකට හොඳ රැකියාවකට ආරාධනාවක් ලැබෙනවා?

ගොඩක් වෙලාවට එහෙම වුණොත් දැන් තියෙන තත්ත්වයත් එක්ක මමත් විදෙස් ගත වේවි. මට මේ ක්ෂේත්‍රයෙන් සමු අරගෙන යන්න කැමැත්තක් නැහැ. මම හදවතින්ම හිතුවොත් මෙහේ ඉඳීවි. මොළෙන් හිතුවොත් මම යාවි.

සචින්ට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත්?

තවම මට ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. දැනටත් මම ටිකෙන් ටික ඒ හැමදේම ගැන පොඩියට අධ්‍යයනය කරනවා. කලාකරුවෙක් රංගනය පමණක් ඉගෙනගෙන හරියන්නෙ නැහැ. තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය වගේ හැමදේම ගැන යම් වැටහීමක් තියෙන්න ඕනෙ. තවම මට වයස අවුරුදු විසි පහයි. ඒ නිසා ඒ හැමදේම ඉගෙන ගන්න තාම මට කාලය තියෙනවා.

දිශානි ජයමාලි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්