ඉෂාරා.. මේ දවස්වල මොනවද කරන්නෙ?
පසුගිය දවස්වල රූපවාහිනී නාලිකාවල පැවැත්වූ අවුරුදු උත්සවවලට සහභාගි වුණා. අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් මම නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණා. සිරස නාලිකාවේ විකාශනය වන ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහනේ අනුරයි මමයි නිවේදනය කරනවා. විවාහ වුණු දෙන්නෙක් එකතුවෙලා කරන මුල්ම වැඩසටහන බොහෝවිට මේ වැඩසටහන වෙන්න ඇති. ඒ වැඩසටහනට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර තියෙනවා. ඊට අමතරව මම ආයුර්වේද YouTube නාලිකාවක් පටන් ගත්තා Ayurway by Ishara Sandamini නමින්. ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. බොහෝ වෙලාවට ඒ නාලිකාවෙන් දේශීය දේවල් එකතු කරගෙන ආයුර්වේදය තුළින් රෑපය ලස්සන කරන හැටි කියලා දෙනවා. රෑපය ලස්සන කරන ආයුර්වේද නිෂ්පාදනයක් අනුරයි මමයි එකතුවෙලා වෛද්‍ය උපදෙස් අනුව Ayurway නමින් කරගෙන යනවා. ලස්සනට ඉන්න අපි හැමෝම කැමති නිසා ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
චූටි දුවත් එක්ක ගත කරන අපූරු ජීවිතේ ගැනත් ටිකක් කියමු?
ඔව්.. චූටි දුවගේ වයස අවුරුදු හතරයි. එයාගේ නම ඉසස්යා සිඳුප්‍රි සඳුමිණී පතිරණ. එයාගේ හරිම හුරතල් හරිම දඟ වයස මේ ගත වෙන්නේ. එයාට අම්මා තාත්තා නැතිව කවුරු හිටියත් හරියන්නේ නැහැ. හැබැයි එයා ආච්චිලාට සීයලාටත් හරි එකතුයි. එයත් එක්ක ඉඳිද්දි කාලය ගතවෙනවා තේරෙන්නෙ නැහැ. අද අපි තුන්දෙනාගේ ජීවිතේ හරි ෂෝක්. එයාගේ හුරතල් වැඩ, දඟ වැඩ බලාගෙන තමයි අපි දවස ගෙවන්නේ.
සමහර රූපවාහිනී නාලිකා සිංහල අලුත් අවුරුද්දට සජීවී උත්සව පවත්වනවා. ඉෂාරාත් අනුරත් ඒවාට සහභාගි වෙනවද?
නාලිකා කිහිපයකින්ම අපි දෙන්නට ආරාධනා ලැබුණා. හැබැයි අපි බාරගත්තෙ නැහැ. අපිට ඕන වුණේ එදාට ඒ හැම නැකතක්ම අපේ දුවත් එක්ක එකතුවෙලා සමරන්නයි. විශේෂයෙන් එයාට අලුත් අවුරුද්ද කියන්නෙ මොකක්ද කියලා පුංචි වැටහීමක්වත් ලබාදෙන්න ඕනෙ. පවුලක් විදිහට, අම්මා තාත්තා විදිහට, සැමියා සහ බිරිඳ විදිහට අපි දෙන්නට දුවත් එක්ක ගත කරන්න තියෙන අපූරු දවස මඟහැරගන්න අපි දෙන්නා කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි අපි ඒ හැම නාලිකාවකම තිබුණු උත්සවවලට මුලින් සහභාගි වුණේ. ඒ නිසා අපි තුන්දෙනා සිංහල අලුත් අවුරුදු දවස අපේ ගෙදර සමරනවා.
රටේ පවතින ආර්ථික ප්‍රශ්නත් එක්ක අද දරුවන්ට නිදහසේ අලුත් අවුරුද්ද සමරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඉෂාරාගේ ළමා කාලයේ අවුරුදු සමරපු හැටි මතකද?
අපෝ ඔව්.. ඒක හරි සුන්දර කාලයක්. චූටි කාලෙදි මම අවුරුදු සැමරුවේ ගමේ. මගේ ගම මාතර. ඇත්තටම ඒක හරි ලස්සන ගමක්. ඒ කාලේ ගමේ අවුරුදු උත්සව තිබුණා. අපි ඒවාට සහභාගි වුණා. අද අපේ චාරිත්‍ර වාරිත්‍ර වුණත් කරන්න වෙන්නේ කෘත්‍රිමවයි. ඒ කාලේ එහෙම නෙවෙයි. ඒ කාලේ ඒ හැම චාරිත්‍රයක්ම අකුරටම කළා. කැවිලි පිඟන් උස්සාගෙන ගෙවල්වලට හරිම ආසාවෙන් ගියා. අලුත් ඇඳුම් ඇඳගෙන ඔංචිලි පැද්දා. කැට ගැහුවා. අද කොළඹ ඉන්න, එහා ගෙදර ඉන්නේ කවුද කියලවත් දන්නෙ නැති කාලයක්. ඒ කාලේ අපි මිනිස්සු එක්ක හරිම සුහදව අවුරුදු සැමරුවා. ඇත්තම කිව්වොත් අද ඉන්න දරුවන් සමරන සිංහල හින්දු අලුත් අවුරුද්දට වඩා හරි අපූරු අලුත් අවුරුද්දක් අපි ඒ කාලේ සැමරුවා.
අද වෙද්දි බොහෝ දෙනෙක්ට හිසතෙල් ගෑමේ නැකැත අමතකයි. ඔබ ඒ කාලේ ඒ නැකැත අකුරටම කළාද?
ඔව් ඔව්… ඒ කාලෙදිත් අපි හිසතෙල් ගෑමේ නැකැත අකුරටම කළා. හැබැයි දැනටත් අනුරගේ නුවර ගෙදරත් ඒ නැකැත හරියටම කරනවා. ඒ නිසා අවුරුදු චාරිත්‍ර අපි ගෙදර හරියටම කරලා ඒ නැකැතට අනුරගේ නුවර ගෙදර යනවා. දැනටත් නුවර ගෙදර අනුරගේ ලොකු නෑදෑ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම අනුරගේ මහ ගෙදරට එකතු වෙනවා. පුංචි කාලේ මාතර ඉඳලා ඉගෙන ගන්න මම කොළඹට ආවා. ඒ නිසා පොඩි හුදෙකලා වුණු කාලයක් තිබුණා. ඒ කාලෙදි නම් ටිකක් හිසතෙල් ගෑමේ නැකැත අතපසු වුණු අවුරුදු තිබුණා. හැබැයි විවාහ වුණාට පස්සේ අනුරගේ ගෙදර යන නිසා ඒ හැම නැකැතක්ම අපි අකුරටම දැන් කරනවා.
කැවිලි එහෙම ඉෂාරාට හදන්න පුළුවන්ද?
ඔව් ඔව්.. මම ආසම ආස්මී කන්නයි. චූටි දුව නම් කොකිස් කන්න හරි ආසයි. මේ අවුරුද්දේ චූටි දුවත් ළං කරගෙන එයාට පේන්න කැවිලි ටිකක් හදන්න ඕනෙ.
ඔන්න ඔහොම ඉෂාරා අලුත් අවුරුද්ද ගැන කියද්දි අපි අනුරගෙනුත් අලුත් අවුරුද්ද ගැන ඇහුවා.
අනුර… නුවර ගත කරපු සිංහල අලුත් අවුරුදු මතකයන් කොහොමද?
ඇත්තම කිව්වොත් අපි නම් නුවරදි හොඳටම අවුරුදු සැමරුවා. අපේ ගෙදර තමයි අපේ ආච්චියි සීයයි හිටියේ. දැන් එයාලා ජීවතුන් අතර නැහැ. ඉතින් මහ ගෙදර, අපේ ගෙදර හැමෝම අපේ ගෙදරට අවුරුද්දට එකතු වෙනවා. කොහොම හරි අලුත් අවුරුද්දේ චාරිත්‍ර ටික කරලා ඉවර වුණාට පස්සේ අපේ ගෙදරට පනහක් හැත්තෑ පහක් එකතු වුණා. අපේ ගෙදර නෑ පරපුර එකතුවෙලා හැම අවුරුද්දෙම අවුරුදු උත්සවයක් පවත්වනවා. කැවිලි පෙවිලි එහෙමත් හැමදේම හැදුවා. හරි අපූරු සුන්දර අලුත් අවුරුදු සැමරුමක් මට තියෙනවා. හිසතෙල් ගෑම වුණත් හරිම විදිහට අපි කළා. දැනුත් ඒ සැමරුම එදා වගේම හරියටම හොඳටම සමරනවා.
දිශානි