Mar
3

කැන්ටිමෙන් ණයට කාපුවයෙ සල්ලි තවම ගෙවලා නැහැ

 
659 Views
   
The-money-borrowed-from-the-canteen-has-not-yet-been-paid  

“ඉස්කෝලේ කාලේ” විශේෂාංගය තුළින් මෙවර සඳැල්ල හා එකතු වන්නේ ගායන අංශයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට රංගන අංශයේ ද දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය දැඩිව දිනාගත් චරිතයක්.ඔහු නමින් දිනූෂ දිසානායක.
“මම එක වසරේ සිට 13 වසර දක්වාම ඉගෙන ගත්තෙ මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ. ඉතින් පුංචිම කාලෙ මම හරිම අහිංසක චරිතයක්. මාව ඒ කාලෙ ඉස්කෝලෙට ගිහින් දාන්නෙ තාත්තා නැත්නම් සීයා තමයි. මට හොඳට මතකයි මම එක වසරේ ඉද්දි මුල්ම කාලෙදි වගේ තාත්තා ඉස්කෝලෙට ගිහින් ඇරලුවාම ආපහු තාත්තා ළඟට අඬාගෙන දුවනවා ඉස්කෝලෙ යන්න බැහැ කියලා. ඒ කාලෙදි ළමයින්ට එහෙමත් බයයි. ටිකින් ටික ලොකු වෙද්දි තමයි චණ්ඩිකම් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ O/L කාලෙදි වගේ. එතැනින් පස්සෙ ගුටිකාපුවා, ගහගත්තුවා විතරමයි වගේ තිබුණේ.

මට මතකයි එක වතාවක අපි ඉස්කෝල දෙකක් අතරෙ පොඩි ප්‍රශ්නයක් වෙලා හොඳටම ගහගත්තා. ඒ ගහගන්න අතරතුරදී කවුරු හරි 119 කතා කරලා තිබුණා. ඒ මොහොතෙම වගේ අපි ගහගන්න තැනට පොලීසියෙන් ආවා. පොලීසිය දැක්ක ගමන්ම අපි දුවන්න පටන් ගත්තා. අපේ ඉස්කෝලෙ අවට තැනින් තැන ගෙවල්. ඒ ගෙවල්වල අතරින් පතරේ ඩැමේජ් වළවල් එහෙමත් තියෙනවා. ඉතින් අපි මේ ගෙවල් මැදින් දුවද්දි මගේ පිටිපස්සෙන් දුවගෙන ආපු යාළුවා එක පාරටම අතුරුදන් වුණා. ඊට පස්සේ මම බලද්දි ඒ යාළුවා ඩැමේජ් වළක් ඇතුළට වැටිලා. ඒ වළවල් උඩින් තහඩු දාලා තියෙන්නේ. ඉතින් ඒ තහඩුවත් කඩාගෙන තමයි වළ ඇතුළට වැටිලා තියෙන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් ඔහුව ගොඩ ගත්තේ. හොඳම දේ කියන්නෙ යාළුවා ගොඩ ගන්න උදව් කළෙත් මේ සිද්ධියට ගහගත්තු සෙට් එකම තමයි. ගහගත්ත, ගුටිකාපු හැමෝම මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් සෙට් වුණා. ඒ කට්ටිය අදටත් හොඳම යාළුවො වෙලා ඉන්නෙ.

ඒ වගේම සිද්ධියක් වෙලා තියෙනවා බිග් මැච්  කාලෙත්. අපිට බිග් මැච් තිබුණෙ මහනුවර රාහුල විදුහලත් එක්ක. ඉතින් ඒ කාලෙ බිග් මැච් කොච්චර සුන්දර ද කියනවා නම් අපේ ඉස්කෝල දෙක අතර වලියක් ගිහින් ඒ බිග් මැච් අවුරුදු 5ක් නතර කරලා තිබුණා. ඒ තරමට ඒ කාලෙ රණ්ඩු. ඉස්කෝලෙදි ඉතින් මේ දේවල්වලට ගොඩක් දඬුවම් විඳලත් තියෙනවා. චණ්ඩිකම් කොච්චර ද කියනවා නම් මම සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා. නමුත් චණ්ඩිකම් කරන්න ගිහින් මගේ බැජ් එකත් ගැලෙව්වා. හේතුව ඒ කාලෙ සර්ලාට මුට්ටි අල්ලගෙන ඉන්න ළමයි ඉන්නවනේ, එහෙම ළමයෙක් කරපු දේකට ඒ සර් ඉන්න තැනම මම ඒ ළමයාට ගැහුවා. ඊට පස්සේ ඉතින් ඔෆිස් එක ඉස්සරහම ඒ මොහොතෙම මගේ බැජ් එක ගැලෙව්වා. ආයෙත් දුන්නෙ නැහැ.

බැජ් එක තියෙන කාලෙ වුණත් දඟ වැඩවල ඉවරයක් තිබුණෙ නැහැ. පන්තියෙ පළවෙනි පීරියඩ් එකේ විතරයි හිටියේ. ඒ පීරියඩ් එකේ හිටියෙත් රෙජිස්ටර් මාර්ක් කරන හින්දා. එතැනින් පස්සෙ ඉතින් එළියෙම තමයි. කවුරු හරි එක්කෙනෙක් එළියට යමු කියලා කිව්වම සෙට් පිටින් පනින්නේ. ඒ පැනලා යන්න මාරම ගේමක් දෙන්නත් ඕනෑ. මොකද ඉස්කෝලෙන් පැනලා පොලීසියක් ඉස්සරහින් එහෙම යන්නත් ඕනෑ. ඒක වෙනම මිෂන් එකක්. එක වතාවක තාප්පෙන් පනිනකොටම තඩි මඩ වළකට වැටුණා. මුළු ඇඟම මඩවලින් නෑවුණා. එදා ඉතින් කොහෙවත් යන්නත් බැරි නිසා ත්‍රීවීල් එකක් අරගෙන ගෙදරම තමයි ගියේ.

ඉංග්‍රීසි පීරියඩ් එකේ නම් ජීවිතේට පන්තියේ ඉඳලා නැහැ. නමුත් A/L ඉංග්‍රීසිවලට පන්තියෙම මට විතරයි A සාමාර්ථයක් තිබුණේ. මොන චණ්ඩි වැඩ කළත් ඉගෙනීම පැත්තෙන් හොඳට වැඩ කළා. ගණිතයට එහෙම පොඩි කාලෙ ඉඳන් දක්ෂයි. ඉතින් ඉස්කෝලෙ ගුරු-දෙගුරු හමු තියෙද්දී මට බැණුම් අහන්න වුණේ චණ්ඩිකම්වලට විතරයි. ඉගෙනීම පැත්තෙන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ හින්දාම තාත්තාගෙන් ලොකු අවුලක් වුණෙත් නැහැ. මොකද පන්තියේ මුල් ස්ථානවලත් හිටියානේ. ඉගෙනීම් කටයුතු වගේම ක්‍රීඩාවලටත් දක්ෂතා තිබුණා. මලල ක්‍රීඩා කළා. උස පැනීමේ තරගවලින් වාර්තා පවා තියලා තියෙනවා.

ඒ කාලෙ ඉතින් ඉස්කෝලෙ ජනප්‍රිය චරිතයක්. ඒ, ගීත ගායනා කරන්න හැකියාවක් තිබුණු නිසා. ඒ නිසාම ඒ කාලෙදි සමිති සමාගම්වල මම ගීත ගායනා කළා. ඒ වගේම එහි නිලතල ගොඩක් දැරුවා. එහි මූලිකත්වය අරගෙන කටයුතු කළා. ගීත ගායනයට හැකියාව තිබුණත් මට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඉස්කෝලෙදි අවස්ථාවක් දුන්නෙ නැහැ. තරගයකට වුණත් යන්න එකම සෙට් එකකට අවස්ථාව දුන්නේ. නමුත් එක දවසක හැමදාම ඒ දේවල්වලට සම්බන්ධ කරවන ළමයෙක් එන්නෙ නැතිව මට ඒ තරගයකට යන්න අවස්ථාව ලැබුණා. ඒ මධ්‍යම පළාත් ගායන තරගාවලියක්. ඒ වෙනුවෙන් සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් ගායනා කළේ ශාස්ත්‍රීය ගීත. නමුත් මම කසුන් කල්හාර මහත්මයාගේ ‘ආදරණීය වස්සානය’ තමයි ගායනා කළේ. ඒ ගායනයට ප්‍රථම ස්ථානය ලබාගෙන මට ජයග්‍රහණය කරන්න ලැබුණා. නමුත් මම ඒ සහතික පත්‍රය ලබාගන්නවත් හිටියෙ නැහැ. මොකද තව කෙනෙක් වෙනුවට මාව යොමු කරලානෙ මට ඒ තැන ලැබුණේ. ඇත්තටම කියනවා නම් අපිට ඒ කාලෙ ඉගෙන ගන්න ලොකු ආසාවකුත් නැහැනේ. හරියට බැලුවොත් ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ඉගෙන ගන්නත් නෙමෙයි. මොකද ගුරුවරු ඉස්කෝලෙට එනවට කැමැතිත් නැහැ. උගන්වනවාට කැමැතිත් නැහැ. පිස්සු වැඩම තමයි කරන්න ඕනෑ වුණේ.

අපිට ඒ කාලෙ ලව් කේස් එහෙම තිබුණෙ නැහැ. යාළුවන්ගේ ඒවාට නම් ඉතින් ඕනෑ තරම් උදව් කරලා තියෙනවා. ඒත් මට ඒවාට වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ. ලව් කරන්න ගිහින් මූඩ් ගහලා ඉන්නවාට වඩා වලියක් දාගෙන, ගුටිකාගෙන, ගහගෙන ඉන්න එකේ අමුතුම ගතියක් තිබුණා.

ඒ කාලේ ලව් තිබුණත් බොහොම ටික කාලයයිනේ. අනිත් එක ඒ කාලෙදි අපිත් හෙනම කැතයි. කෙල්ලොත් මෙලෝ රහක් නෑනෙ. ඒ කාලෙ ෆොටෝ බලද්දී ඉතින් පාසල් ප්‍රේමයක් නොතිබීම සාධාරණයි කියලා හිතෙනවා දැන්.

ඒත් පොඩි ලව් එකක් තිබුණා දහම් පාසලේ. ඒ අක්කා කෙනෙක්. මම නවය වසරේ ඉද්දි අක්කා කෙනෙක් මට ලව් කළා. ඒ අක්කා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. ඇත්තටම මට ඒ කාලෙ ලොකු තේරුමක් තිබුණෙ නෑ මේ දේවල් ගැන. ඒ ආදර සම්බන්ධයක් ද මොකක් ද කියන්න දන්නෙන් නැති තරම්. කතාබහ කළත් අතකින් ඇල්ලුවත් මාසයක් දෙකක් යනකම්ම ඇතිනෙ ඒ කාලේ.
තවත් විශේෂම මතකයක් තියෙනවා. ඒ සිදුවීම තවමත් අපේ යාළුවෝ සෙට් වුණාම මතක් කරනවා. අපි ඒ කාලෙ බත් කද්දි සවල් පාරවල් දෙකෙන් බත් එක ඉවර කරනවනේ. එක බත් එකක් ලෙහද්දි අත දැම්මාම අහුවෙන කටක් විතරනෙ කෑවේ. ඒ කෑම මදි නිසා අපි ඉතින් මදිපාඩුව කන්න කැන්ටිමටනෙ යන්නේ. නමුත් අපිට ගෙවල්වලින් ඒ කාලෙ අතට දෙන ලොකුම ගාන රුපියල් 10යි. නැත්නම් 20යි. ඒකෙන් ඔක්කොම කරගන්න ඕනෑ. එහෙම කරගන්න බැරි වුණාම කැන්ටින් එකෙන් හොරටනෙ කන්නෙ. නැත්නම් ණය වෙනවා. ණය වුණත් ඒවා ගෙවන්න නැහැනේ. ඉතින් අපි ඒ විදිහට හොරෙන් කාපු කෑමවල ණය තවම  ගෙවලා නැහැ. මේ මෑතකදී කැන්ටින් එකේ ඒ අයියා නැති වුණා. ඇත්තටම අපි ඔහුට තවම ණයයි. ඒ සිද්ධිය මෑතක මතක් කළා. අපේ ඉස්කෝලෙ අපිත් එක්ක හිටපු යාළුවෙක් අද ගොඩක් දෙනෙක් දන්න හඳුනන කයිසර් කයිස්. ඔහුත් අපේ ඉස්කොලෙ. ඉතින් ඔහුත් මගෙන් ඇහුවෙ මතක ද බන් අපි හොරෙන් කාපු කෑම කියලා.

ඉතින් ඒ වගෙ වැඩ කරලා අද මේ විදිහට ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. මම අද ඉස්කෝලෙ ආරාධිත අමුත්තෙක් විදිහට යන තත්ත්වයට පත්වුණා. අපි කොච්චර පිස්සු  නැටුවත් අන්තිමට පෙරහරකින් ඉස්කෝලෙට ගෙනියන මට්ටමට ආපු එක ගැන ඒ සතුට කියන්න වචන නැති තරම්. අපි හැදුණු වැඩුණු තැන පිස්සු වැඩිපුරම නටපු තැන තමයි ඉස්කෝලෙ. ඒක මාරම තැනක්. ළඟින් යද්දිත් හිතට දැනෙන හැඟීම විස්තර කරන්න අමාරුයි.  ඒ තරමට ආදරණීයයි ඒ තැන.”

ධනු විජේරත්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්