රසායනික පොහොර සම්බන්ධයෙන් වූ ආනයනික තහනම ඉවත් කළ ද හරිත කෘෂිකර්මය පිළිබඳ රාජ්ය ප්රතිපත්තිය වෙනස් වී නැත. ජනාධිපතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්යවරයා ද එය තහවුරු කර සිටිති.
රජය තවදුරටත් කාබනික වගාව දිරිගන්වන අතර, රසායනික පොහොර හා කෘමිනාශක වෙනුවෙන් දිරිගැන්වීමක් කරනු නොලැබේ. ඉහත තීරණය විවිධාකාර විවේචනවලට හසු විය හැකිය. රජය තවත් ගැසට්ටුවක් ‘රිවර්ස්’ කරගත්තා යැයි කියන්නට පුළුවන.
හරිත කෘෂි කර්මාන්තය අසාර්ථක යැයි කියන්නට පුළුවන. රජයට සල්ලි නැති නිසා පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට භාර දී ඇතැයි චෝදනා කරන්නටත් පුළුවන. ඒවා දේශපාලනයට අනුව සාමාන්ය දේවල්ය. හරිත කෘෂිකර්මය හා කාබනික වගාව යනු ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ලෝකය ඉල්ලා සිටින ක්රමවේදයකි.
මානවයාගේ අනාගත පැවැත්ම සඳහා වස විසෙන් තොර ආහාර සපයා ගත යුතු බව විවාදයකින් තොරව සියල්ලෝම පිළිගනිති. ජගත් සංවිධාන ඇතුළු යුරෝපීය රටවල් ශ්රී ලංකාවේ හරිත කෘෂිකර්මය අගය කරන්නටත් එය දිරිගන්වන්නටත් පටන් ගත්තේ ඒ නිසාය.
ජනාධිපතිවරයා මේ වැඩසටහන ආරම්භ කළ පසු අපේ රටේ සංවිධාන ගණනාවක් ද එය අනුමත කරමින් ක්රියා කළහ.මේ වන විටත් කාබනික වගාවෙන් උසස් ප්රතිඵල ලබන අය ද සිටිති. එහෙත් එයට කොටසකගේ විරෝධතා රැල්ලක් ලෙස පැතිරෙන්නට පටන් ගත්තේය.
පොහොර සම්බන්ධයෙන් වන විරෝධතා ඉහළ ගියේ කරුණු කිහිපයක් නිසා බව පෙනී යයි. එක හේතුවක් වන්නේ දීර්ඝ කාලයක් රසායනික පොහොර හා කෘත්රිම කෘමිනාශක භාවිත කළ ගොවියා ඉන් මුදා ගැනීම අපහසු වීමය. තව හේතුවක් වන්නේ ගොවි සමාජය දැනුම්වත් කිරීම හරි හැටි සිදු නොවීමය.
තවත් හේතුවක් වන්නේ විපක්ෂය හා පොහොර සමාගම් ගොවියා කුලප්පු කරවන ආකාරයෙන් ක්රියා කිරීමය. රටේ ප්රධාන විපක්ෂය යනු බලය ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් පාවිච්චි කිරීමට පසුබට නොවන එක්තරා ව්යාපාරයකි. පොහොර සමාගම් යනු ද අධික ලාභය සඳහා ඕනෑම වස විසක් අලෙවි කිරීමට සූදානම් ව්යාපාර විශේෂයකි.
ඉන්දීය අගමැති මෝදි මහතා එරට කෘෂිකර්මයට අදාළ ප්රතිපත්ති වෙනස් කරමින් එය ලාභදායි ව්යාපාරයක් බවට පත් කිරීමට උත්සාහ කළේය. එහෙත් ඉන්දියාවේ සාම්ප්රදායික ගොවි සමාජ එය නිසි ලෙස වටහා ගත්තේ නැත. ඔවුහු වසර දෙකකට ආසන්න කාලයක් විරෝධතාවල යෙදෙමින් ඉන්දීය කෘෂිකර්මයට බලවත් අලාභයක් සිදු කළහ.
එහි ප්රතිඵලය වූයේ අගමැති මෝදි පියවර කිහිපයක් පසුපසට යමින් ඇතැම් නීති රීති යළි පරණ තත්ත්වයටම පවත්වා ගැනීමට තීරණය කිරීමය. මධ්යස්ථ මතධාරීන්ගේ පැහැදිලි කිරීම්වලට අනුව ඉන්දීය කෘෂිකර්මයේ යෝධ පිම්මක් ඒ මඟින් නතර විය. හරිත කෘෂිකර්මය සියල්ලන්ගේම පිළිගැනීමට ලක් වූව ද එය ක්රියාත්මක කිරීමේදී සියල්ලන්ගේම සහයෝගය ලැබෙන්නේ නැත. ඒ අනුව සෙමෙන් ගමනක් යෑම වඩා කාලෝචිතය.