Mar
8

ආදර සම්බන්ධතා කියන්නේ හෝමෝන ක්‍රියාවලියත් එක්ක තරුණ වයසේදී ඇති වෙන දෙයක්. ඒක වැරදි දෙයක් කියලා කියන්න බැහැ.

 
1801 Views
   
 
“සියදිවි හානි කරගන්න ගිය දරුවෝ මගෙත් එක්ක කතා කරලා හිත හදාගෙන තියෙනවා…”
 
” දරුවෝ හදන්කොට හදන්නේ  බරක් කියලා හිතලා නෙමෙයිනේ….”
ලස්සන රූපය හා ඇගේ උගත්කම නිසාම මේ දිනවල බොහෝ දෙනෙකුගේ නෙත ඇය වෙත යනවා. හැමෝම කතා කරන ඇය වාසනා මෛත්‍රී. ශ්‍රී ලංකාවේ ළාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය හා ලංකාවේ ඉන්න එකම සන්නිවේදන මහාචාර්යවරියද ඇය කිව්වොත් හරි. උපාධි කිහිපයක් හිමි ඇය තවත් විටෙක කතුවරියකද වනවා. ඒ නිසාම ඇයත් එක්ක ඇය ගැන කතා කරන්න අපි වාසනාව සම්බන්ධ කරගත්තා. මේ වාසනා අපිට කී ඇගේ කතාවයි. 
මේ දවස්වල වාසනා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වූ චරිතයක් බවට පත් වෙලා. ඒ නිසා අපි මුලින්ම කතා කරමු ඔබ කවුද කියලා..?
මගේ දෙමාපියන් ගුරුවරු. මට ඉන්නේ වැඩිමහල් සහෝදරියක්, බාල සහෝදරියක් හා බාල සහෝදරයෙක්. අපේ පවුලේ ගැහැණු ළමයි තුන්දෙනෙක් නිසා දෙමාපියන් අපිව හරියට පරිස්සම් කළා, දරුවෙකු යහමගට යන විනීත පරිසරයක් තමයි ගෙදර තිබ්බේ. අපි ජිවත් වුණේ බදුල්ලේ. පිට පළාතක ඉන්නකොට ඒ පළාතට ඔබින විදිහට ජිවත් වෙන්න දෙමාපියන් නිතරම ආදරෙන් කියලා දුන්නා. මගේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව වුණේ දරුවෝ ටික හොඳටම ඉගෙන ගන්න එක්ක. මනුස්සයෙකුට තියෙන ලොකුම වත්කම තමයි ඉගෙනීම. අම්මයි අප්පච්චියි ගොඩක් දුක් විදලා තමයි අපිට ඉගැන්නුවේ. ඒ නිසා ඉගෙනීමේ වටිනාකම දැණුනා. ඒ වගේම මට දියණියක් ඉන්නවා. එයාගේ ආදරෙත් එක්ක ජිවත් වෙනවා.
ඔබ අධ්‍යාපනය ලබන පාසල..?
නුවර ඉපදුණාට අපි බදුල්ලේ තමයි හිටියේ. ඒ නිසා මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ බදුල්ල විශාකා කනිෂ්ඨ විද්‍යාලයෙන්. පසුව බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකා විද්‍යාලයටත් බදුල්ල මධ්‍යම මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා.
දෙමාපියන් ගුරුවරුන් නිසාද ඔබත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියටම යන්න හිතුවේ, එහෙම නැති නම් දෙමාපියන්ගේ බලපෑමටද..?
කොයිම මොහොතකවත් අපිට බලපෑම් කළේ නැහැ. ඉගෙනීමේ වටිනාකම පෙන්නලා දුන්නා විතරයි. මොන දේ කරන්නත් හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන කියලයි දෙමාපියන් කිව්වේ. මගේ කුඩා කල මමත් විනෝදයෙන් සෙල්ලම් කරමින් ජිවත් වුණු කෙනෙක්. මටත්  යාළුවො හිටියා. එයාලව ආශ්‍රය කළා. ඉගෙන ගන්න ඕන, හොඳ රස්සාවක් කරන්න ඕන කියන බලාපොරොත්තුවක් ඒ කාලේ තිබ්බේ නැහැ. නමුත් ටික ටික ලොකු වෙද්දී අම්මගෙයි අප්පච්චිගෙයි සතුට තියෙන්නේ අපේ අධ්‍යාපනය මත කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසා මම ටිකෙන් ටික අධ්‍යාපනයට යොමු වුණා. සාමාන්‍ය පෙළ කරන කාලේවත් අරමුණක්  තිබ්බේ නැහැ. නමුත් මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. උසස්පෙළ කරන්න කැමති විෂයන් තෝරා ගන්න දෙමාපියන් නිදහස දුන්නා. උසස් පෙළත් හොඳින්ම සමත් වුණේ ඌව පළාතේ විශිෂ්ඨතම ප්‍රථිපල ලබාගෙන. විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ සතුට හිතේ තිබ්බා. නමුත් ඉලක්කයක් තිබ්බේ නැහැ. කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයට ඇතුළත් වෙලා ප්‍රථම උපාධිය ලබා ගත්තා.
කුඩා කාලයේ හින තිබ්බෙම නැද්ද ලොකු වුණහම තෝරා ගන්න වෘත්තිය ගැන..?
කොහෙත්ම නැහැ. කවුරු හරි ඇහුවොත් ලොකු වුණහම කවුද වෙන්නේ කියලා ඒ වෙලාවට හිතට එන දේ කිව්වා. එහෙම නැත්තම් අම්මා අප්පච්චි ගුරුවරු නිසා මමත් ගුරුවරියක් වෙනවා කියලා හිතුවා. වෛද්‍යවරියක් දැක්කොත් වෛද්‍යවරියක් වෙනවා කියලා හිතුවා. එහෙම නැත්තම් ලෝයර් කෙනෙක් වෙනවා කියලා හිතුවා.
උපාධි කිහිපයක් ගත්ත ඔබට අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක්, ඉලක්කයක් ඇති වෙන්නේ..?
විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ටික දවසක් යනකොට මටම තේරුණා මේක අමාරු දෙයක් නෙමෙයි ටිකක් මහන්සි වුණානම් ඉලක්ක කරා යන්න පුළුවන් කියලා. මම මුල් අවුරුද්දේ බැජ් ටොප් වුණා. ඊට පස්සේ මම හිතුවා ඊලග වර්ෂ තුනෙත් බැජ් ටොප් වෙනවා කියලා. හිතපු විදිහටම මුල්ම ඉලක්කය වූ වසර හතරේම බැජ් ටොප් වීමේ ඉලක්කයට ගියා. ප්‍රථම පංති ගෞරව සාමාර්ථයක් ලබා ගත්තා.  එතකොට තමයි හිතුවේ හිතුවොත් දෙයක් කරන්න බැරිදෙයක් නැහැ ටිකක් මහන්සි වෙන්න විතරයි ඕන කියලා. ඊට පස්සේ මම ඉගෙන ගත්ත කැලණිය විශ්ව විද්‍යාලයේම ජනසන්නිවේදන අධ්‍යන අංශයේ කාර්යමණ්ඩලයට එකතු වෙලා වැඩ කළා. සහකාර කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ කළා. රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් විදිහට සම්බන්ධ වුණා. එහෙ දේශනවලට ගියාම එහෙ පරිසරයට හිත ගියා. ඒ නිසා මම ඒ විශ්ව විද්‍යාලයට අයදුම් කරලා එහෙ වසරකට අසන්න කාලයක් සේවය කළා. ඔය අතරතුර ඌව වෙල්ලස්ස  විශ්ව විද්‍යාලය ආරම්භ කරනවා කියලා පත්තරේ ලොකු  දැන්වීමක් දාලා තිබුණා.  මමත් අයදුම් කළා. නමුත් මගේ විෂය තිබ්බේ නැහැ. මම දැම්මේ සන්නිවේදන කුසලතා විෂය. මාව තේරුණා එහේ කථිකාචාර්යවරියක් හැටියට. ඒ 2006 වර්ෂයේ. එතැනින් පසුව තමයි අධ්‍යාපනයට වැඩි ඉඩක් වෙන් කරලා පශ්චාත් උපාධිය, ආචාර උපාධිය මහාචාර්ය පදවිය සඳහා අවශ්‍ය සියලුම අධ්‍යන කටයුතු කරලා 2019 වර්ෂයේ අගෝස්තු මාසේ මහාචාර්යවරියක් ලෙස පත්වීම් ලබන්නේ. ඔය අතරතුර මනෝ උපදේශනය ගැන ඉගෙන ගත්තා. ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂණ සඳහා සම්බන්ධ වුණා.  අන්තර්ජාතික පර්යේෂණ ප්‍රකාශනවලට ලිපි බොහොමයක් ලියලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී කෘති 13ක් ලියලා තියෙනවා. මෙච්චර දුර ආවේ අම්මගෙයි අප්පච්චිගෙයි සතුට වෙනුවෙන්මයි. මට වෙන හින තිබ්බේ නැහැ. අම්මගෙයි අප්පච්චිගෙයි හින ඉටු කරන ඉලක්කය විතරයි තිබ්බේ.
ඔබේ පෙනුමත් එක්ක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු ආකර්ෂණය හා ප්‍රතිචාර කොහොමද..?
මම ගුරුවරියක් හැටියට හරි සැලකිලිමත්ව ජිවත් වෙන කෙනෙක්. මම නපුරු කෙනෙක් නෙමෙයි. හරිම සුහදශීලි කෙනෙක්. එහෙම කියලා ශිෂ්‍යයින්ට විහිළුවට ලක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් විශ්ව විද්‍යාලයේ  දරුවන් මට පුදුමාකාර විදිහට ගරු කරනවා. ඒ ගරුත්වය ලැබෙන්නේ අපි හැසිරෙන විදිහට තමයි. මම මනෝ විද්‍යාව හදාරා තිබෙන නිසා මිනිසුන්ගේ හැසිරීම් ඔවුන්ව තේරුම් ගන්නේ කොහොමද කියලා දන්නවා. ඒ අනුව තමයි මම කටයුතු කරන්නේ.
තරුණ දරුවන් එක්ක කටයුතු කරන තරුණ කථිකාචාර්යවරියක් හැටියට ඔබ බැඳීම් දකින්නේ කොහොමද, ඉගෙන ගන්න කාලේ ආදර සම්බන්ධතාවල පැටලීම අධ්‍යාපනයට බාධාවක් කියලා හිතන්නේ නැද්ද..?
ආදර සම්බන්ධතා කියන්නේ කායික ක්‍රියාවලියත් එක්ක එන දෙයක්. ඒක වැරදි දෙයක් කියලා කියන්න බැහැ එහෙම කිව්වොත් අපි වැරදියි. දෙමාපියන් වගේම ගුරුවරුන් දරුවන්ව ආරක්ෂා කරන්න ඕන. දරුවෙක් නරක දෙයකට යොමු වෙන්නත් දරුවෙක් හොඳ වෙන්නත් බලපාන්නේ පවුල් පරිසරය කියලයි මම නම් හිතන්නේ, පුද්ගලයින් විදිහට දැනගන්න ඕන සාර්ථකත්වය වෙනුවෙන් මොනාද කරන්න ඕන කියල.  තමන්ගේ යහපත සලස්වා ගන්නේ කොහොමද කියලා තමන් තේරුම් ගන්න ඕන. සමහර සම්බන්ධතා නිසා දරුවෝ විනාස වෙනවා, ඇතැම් අය සම්බන්ධතා එක්කම ජීවිතෙත් සාර්ථක කරගන්න උත්සහ කරනවා. ඒක තමයි වෙන්න ඕන.
ආදර සම්බන්ධතා නිසා සිය දිවි හානි කරගන්න ගිය දරුවෝ මගෙත් එක්ක කතා කරලා තියෙනවා. පසුව  හිත හදාගෙන ජිවිතේ තේරුම් අරගෙන දැන් ලස්සනට ජිවත් වෙනවා. දෙමාපියන් හානිය පෙන්නලා දෙන්න ඕන.
ඔබ කාන්තාවක්, සමාජයක් හදන චරිතයක් හැටිය Single parent  කියන සංකල්පය ගැන මොකක්ද කියන්න තියෙන්නේ, ඉන් දරුවන් නෙමෙයිද අසරණ වෙන්නේ..?
මම මුලින් කිව්ව වගේම හැමදෙයකටම මුල් වෙන්නේ පවුල් පරිසරය. දරුවෙක් හොඳ වෙන්නෙත් නරක වෙන්නත් පවුල් පරිසරයත් එක්ක තමයි. යම් පවුලක දරුවන් රකින්නේ අම්මා නම් හෝ තාත්තා නම් ඒ අම්මා දැනගන්න ඕන දරුවා තම සැමියා නැතිව හදාගන්නේ කොහොමද කියලා. ඒ තාත්තා දැනගන්න ඕන තමන්ගේ බිරිඳ නැති නම් දරුවන් හදන්නේ කොහොමද කියලා. නැත්තම් දරුවෝ අසරණ වෙනවා. අම්මා  නැති තාත්තා නැති අඩුව දැනෙන්න දෙන්න හොඳ නැහැ . මම නම් කියන්නේ අම්මා ළඟ දරුවා හැදෙද්දී දාලා ගිය ඒ දරුවාගේ පියාව වෛරක්කාරයෙක් හැටියට දරුවාට උගන්වන්න හොඳ නැහැ. . වෛර කරන්න ඉගැන්නුවොත් දරුවා සමාජයටම වෛරකරමින් ඒ හැර ගිය මව හෝ පියාටත් වෛර කරනවා. දරුවාගේ මානසික මට්ටම හදන්න ඕන මුලින්ම. අඩුපාඩුවක් නැතිව දරුවාව රකින්න ඕන. අම්මා එක්ක හැදෙන්න දරුවාව හොඳින් හැදුවොත් ඒ දරුවා කවදා හරි අම්මව තමයි ආදර්ශයට ගන්නේ. අම්මා මෙහෙමයි කියලා දවසක ඒ දරුවා ආඩම්බර වෙන චරිතයක් වුනොත් දරුවා කවදාවත් අසරණ වෙන්නේ නැහැ.
එය බරක් නෙමෙයිද කාන්තාවකට..?
බැඳීමක් කියන්නෙම බරක් නෙමෙයිද, දරුවෝ ඉන්නවා කියන්නේ වගකීමක්. යුතුකම් ගොන්නක් ඉටු කරන්න ඕන. කවදාවත් ඒ බරින් නිදහස් වෙන්න බැහැ.  ඒ බර වගකීම මැරෙනකල් තියෙනවා. දරුවෝ හදන්කොට හදන්නේ  බරක් කියලා හිතලා නෙමෙයිනේ. බරක් විදිහට දැක්කොත් තමයි ඒ ජිවිතේ බරක් වෙන්නේ. කාන්තාවක් කියන්නේ අර්ටිෆිෂල් දෙයකට නෙමෙයි. ගැහැනියක් ලස්සන වෙන්නේ රූපයෙන් විතරක් නෙමෙයි. විනය, සංවරකම, හැදියාව, හික්මීම  හැමදෙයක් එක්කම හැදුනු සංකල්පයකට තමයි ගැහැණියක් කියන්නේ. ගැහැණියකගේ හික්මීම කියන්නේ දුර්වලකමක් නෙමෙයි.
හර්ෂණී වීරරත්න
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්