Mar
17

ගොඩක් කට්ටිය මාව ගන්න ට්‍රයි කළා

 
1685 Views
   
 

‘චැලෙන්ජස්’ චිත්‍රපටය හරහා සිනමා ක්‍ෂේත්‍රයට පිවිසුණු ශේෂාදී ප්‍රියසාද් පසුකාලීනව ඇයට තිබුණු ජනප්‍රියතාවය නිසා විවිධ නිර්මාණ හරහා කාලෙකට පස්සේ අපට දැකගන්නට ලැබුණා. එහෙත් ඇයට ටෙලිනාට්‍යවලින් පුදුමාකාර ඉල්ලුමක් තිබුණා. එහෙත් ඒ කිසිවකට ඇය සම්බන්ද වුණේ නැහැ. හැබැයි ඔන්න ඇයත් දැන් ටෙලිනාට්‍ය තාරකාවියන් අතරට ඒමට මේ දවස්වල සැරැසෙනවා. ඉතින් එය ගැන සිනාමුසුව අප සමඟ කාලෙකට පස්සේ කතාබහ කළා.

ටෙලිනාට්‍ය අතරට ඔබේ රුවෙන් අඩුවක්ව තිබුණා. දැන් එය ගැන කතා කළයුතු සුදුසුම කාලයයි?

මගෙන් නිතර දෙවේලේ ගොඩදෙනෙක් ඇහුවා ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැද්ද කියලා. ඒ විතරක් නෙවේ ටෙලිනාට්‍යවලින් මට ගොඩදෙනෙක් කතා කළා රඟපාන්න. ඒත් මම ඒ කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. මම ටෙලිනාට්‍යයක රඟපාන්නේ මේ පළමු වතාවටයි. එය ගැන මම ලොකු විස්තරයක් කියන්න කැමැති නැහැ.

සුවිශේෂී නිර්මාණකරුවන්ගේ ටෙලිනාට්‍ය ප්‍රතික්‍ෂේප කරලා මේනක රාජපක්‍ෂගේ නිර්මාණයට සම්බන්ධ වීමට විශේෂ හේතුවක් ඇති?

ඒ කාලවල මට නිර්මාණවලින් ආරාධනා කළා. ඒත් මම සම්බන්ධ නොවුණේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. මම කැමැති නැහැ මගේ ඉගෙනීම් කටයුතුවලට බාධාවක් කරගන්න. අනෙක මට කතා කරපු සමහර නිර්මාණවල චරිතවලට මම කැමැති නැහැ. ඉතින් දැන් මගේ අධ්‍යාපන කටයුතු ඉවරයි. ගෙදරට වෙලා විවේකීව ඉන්න කාලයක තමයි මේනක අයියාගේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා ඔහු මට ආරාධනා කළේ. අනෙක මේනක අයියා මෙයට කලින් කරපු කෙටි නිර්මාණවල මගේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ වගේම ඔහුගේ මේ නිර්මාණයේ දක්‍ෂ ශිල්පීන් රැසක් රඟපානවා. ඉතින් එය මටත් හොඳ අත්දැකීමක් එකතු කරගන්න පුළුවන් නිසා සම්බන්ධ වුණා.

තවත් සමහරු චෝදනා නඟලා තිබුණා ඔබ ටෙලිනාට්‍ය හෑල්ලුවට ලක්කරනවා කියලා ඇත්තද ඒ කතාව?

එහෙම සමහරු හිතන්න ඇති. නමුත් මගේ හිතේ එහෙම කිසිම අදහසක් නැහැ. මම කැමැති නැහැ කාර්යබහුල වෙලා ඉන්න. දැන් කාලය ඉතුරුයි. හොඳ නිර්මාණවලින් මට දැන් ආරාධනා ලැබුණොත් මම කරනවා. හැබැයි සීමිත කොටස් ප්‍රමාණයේ නිර්මාණවලට. දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා මම කැමැති නැහැ.

සිනමා රංගනය ඔබට නුහුරු දෙයක් වන්නට පුළුවන්. නමුත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමෙන් ඒ වෙනස වැටහුණාද?

චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක රංගනය දෙකම එකයි. එය තුළ වෙනසක් මට දැනුණේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී ටෙලිනාට්‍ය රූගත කරන අවස්ථාවල ඒ වෙනස මට දැනුණා. ටෙලිනාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්නේ හඬ පැහැදිලිව උච්චාරණය කරන්න ඕන කියලා. මොකද චිත්‍රපටයක ඩබින් පසුව කරන නිසා ඒ වෙනස තදින්ම මට දැනුණේ නැහැ.

ඔබේ පවුලම කලාවට සම්බන්ධ නිසා අඩුපාඩු හදාගන්න හොඳ රංග පාසලක් වන්නට ඇති?

අපි පුංචි කාලේ ඉඳලා නිතර දෙවේලේ අපේ ගෙදරටත් කලාකරුවන් යන එන තැනක් වුණා. මගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. මගේ අක්කා, නංගිත් මේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ලෙසට වැඩ කරගෙන යනවා. අපි ඉතින් එකතු වුණු වෙලාවට අඩුපාඩුකම් ගැන කතාබහ කරනවා. තාත්තාගෙනුත් ලොකු සහායක් අපට ලැබෙනවා.

හැබැයි ඉතින් දැන් තාත්තට නිළියෝ හොයන්ට කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි?

ඒක ඉතින් තාත්තාගෙන්ම තමයි අහලා දැනගන්න වෙන්නේ. අපිව ගන්නවාද කියලා. ගෙදර රංගන ශිල්පීන් හිටියා කියලා එහෙම චරිත හදන්න බැහැ. තාත්තගේ නිර්මාණවලට ගැළපෙනවා නම් විතරක් අපිව ගනියි.

මේ දවස්වල සිනමාවට ඔබේ දායකත්වය කොයිවගේද?

චන්න පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ මේ දවස්වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොකළත් සැලකිලිමත් වියයුතු චරිතයක් එහි මම රඟපානවා.

වසන්ත විතාරණගේ
Courtesy – Mawrata.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්