Jul
29

සුන්දර නගර සියයක්

 
978 Views
   
 

සියක් නගර සංවර්ධන වැඩසටහන කුරුණෑගල හිරිපිටියේදී ඊයේ ආරම්භ විය. දිවයින පුරා ඇති නගරවලින් තෝරාගත් නගර සියයක් හොඳින් සංවර්ධනය කොට ජනතාවට එහි ප්‍රතිලාභ ලැබෙන්නට සැලැස්වීම රජයේ අරමුණ බව පැහැදිලිය. නගරයක් යනු සංවර්ධනයේ සංකේතයකි. නව නගර ඉදි කිරීම සඳහා දියුණු රටවල් විශාල වශයෙන් මුදල් වියදම් කරති. ඇතැම් රටවල කාන්තාර භූමි තුළ පවා නගර බිහිකර ඇත්තේ අප විස්මයට පත් කරවමින්ය. ඊශ්‍රායල් ජාතික ලේඛිකාවක ව යඉල් දයාන් කාන්තාරයක ඉදි කරන නව නගරයක් ගැන පොතක් ලියා ඇත. ඉන් කියැවෙන ප්‍රධාන අදහසක් වන්නේ නගරය පිළිබඳ මානව අපේක්ෂාව නිසා මිනිසුන්ගේ සිතුම් පැතුම් පවා වෙනස් වන බවය. එය සත්‍යයකි. නගරය මිනිසාට අවශ්‍ය පරිපූර්ණත්වය ලබා දෙයි.

අපේ රටේ ප්‍රධාන නගර තිබේ. උප නගර තිබේ. මහ නගර තිබේ. සුළු නගර තිබේ. එහෙත් මේවායින් බොහොමයක් අසංවිධිත – අශෝභන නගර ලෙස පවතී. ඇතැම් නගරයකට නමක් ඇතත් කේන්ද්‍රීය නගරයක් නැත. තව නගරයකට ඇත්තේ ප්‍රධාන වීථියක් දිගේ වමට හා දකුණට විහිදුණු කඩකාමර පමණි. තවත් නගරයක තදබදය කෙතරම් ද යත්; මාර්ගවල ගමන් කිරීම අන්තරායදායකය. පිරිසුදු වාතාශ්‍රය සහිත ඉස්පාසුවක් ඇති නගර දැකගත හැක්කේ කලාතුරෙකින්ය. ප්‍රධාන ගැටලුව වන්නේ නගරයකට අවශ්‍ය මූලික පහසුකම් නැතිකමය. තව ගැටලුවක් වන්නේ අපිරිසුදුකමය. බොහෝ නගරවල අපද්‍රව්‍ය හා කැළි-කසළ ඉවත් කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් නැත. නගරවල තත්ත්වය දුර්වල නම්; එය ආර්ථිකයට ද අහිතකර බලපෑමක් එල්ල කරයි.

නගර සියයක් සංවර්ධනය කිරීමේ සැබෑ අර්ථය වන්නේ රටේ ජාතික ආර්ථිකය පියවර කිහිපයකින් ඔසවා තැබීමය. නගරයක් එකවර දියුණු වන්නේ නැත. එලෙසම කාලයත් සමඟ නගරවලට නවීකරණය අවශ්‍ය වේ. අපේ ඇතැම් නගර පරණ දුම්රිය ස්ථානයකට, තැපැල්හලකට හා බස් නැවතුමකට සීමා වී ඇත. තවත් නගරවල මාර්ග අබලන්ය. බොහෝ නගරවල නවාතැන් පහසුකම් නැත. ඉංග්‍රීසි පාලනය යටතේ අපේ බොහෝ නගරවලට ‘රෙස්ට් හවුස්’ ලබා දී තිබිණි. එය නගර සංවර්ධනයට ඇතුළත් විය යුතු හොඳ සංකල්පයකි. නවාතැන් පහසුකම් නැති නගරවලට සංචාරකයන් කැමැති නැත. අද වන විට සෑම නගරයකටම පාහේ සුපිරි වෙළෙඳසල් අවශ්‍ය වේ. ඒවා ඉදි කිරීමට අවශ්‍ය භූමිය රජය සතු ඉඩම්වලින් සොයා ගත හැකිය.

මීට දසක කිහිපයකට පෙර මහනුවර යනු ශ්‍රී ලංකාවේ පිරිසුදු හා සුන්දරම නගරයයි. විදේශීය සංචාරකයෝ එදා ඊට ආකර්ෂණය වූහ. එහෙත් අද මහනුවර තත්ත්වය බෙහෙවින් වෙනස්ය. මහනුවර වාතය දූ’ෂණය වී ඇති බවට කරුණු හෙළිදරව් වී ඇත. වාහන තදබදය පවතී. මහනුවර නවීකරණයට ලක් නොවූ නගරයක් වන අතර, නගරයට අවශ්‍ය අලුත් ගොඩනැගිලි ඉදිකිරීමට ඉඩ-කඩ නැත. නගර මධ්‍යයේ පිහිටි බෝගම්බර සිරගෙදර වෙනත් ස්ථානයකට ගෙන ගිය ද එයින් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නය මුළුමනින් විසැඳී නැත. මහනුවර සිංහලයේ අවසන් රාජධානිය ලෙස ද, දළදා මාලිගාව පිහිටි ස්ථානය ලෙස ද, ඓතිහාසික වටිනාකමකින් යුතුය. මේ නගරය සංවර්ධනය කළ යුත්තේ පුරාවිද්‍යාඥයන්ගේ ද උපදේශන සහිතවය. රජයේ අවධානය ඒ කෙරෙහි ද යොමු විය යුතුව තිබේ.

මේ වන විට ලෝකයේ අවධානය යොමු වී ඇත්තේ හරිත නගර කෙරෙහිය. හරිත නගර යනු පරිසර හිතකාමී නගර ලෙස හැඳින්විය හැකිය. පිරිසුදු වාතය සහිත සුන්දර නගරයක් අප කාගේත් අපේක්ෂාවකි. ඊයේ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වූයේ හිරිපිටිය නගරය තුළ පැළයක් සිටුවමින්ය. ඉන් සංකේතවත් වන්නේ පරිසර හිතකාමී සුන්දර නගරයකි. මේ වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක් තුළම ක්‍රියාවට නංවන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නගර අටක්, ගම්පහ දිස්ත්‍රික්කය තුළ නගර දහයක් හා කොළඹ දිස්ත්‍රික්කය තුළ නගර හතක් වශයෙන් වැඩසටහන ක්‍රියාත්මක වෙයි. එක නගරයක සංවර්ධනය සඳහා මිලියන විස්සක මුදලක් වෙන්කර ඇති බව ද සඳහන් වේ.
සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ නගර සංවර්ධනය අනාගතය ඉලක්ක කරගෙන සිදුවිය යුතු බවය. ඇතැම් නගර සංවර්ධන වැඩසටහන් ආණ්ඩු මාරුවත් සමඟ නවතින බව පෙන්වා දුන් මහින්ද මහතා එයින් නගරය පිළිබඳ ජනතා අපේක්ෂා බිඳවැටුණු බව ද කියා සිටියේය. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත ශක්තිමත් වැඩසටහනකි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පරිසර හිතකාමී සංවර්ධනය රජයේ පරමාර්ථය වී තිබේ. ඒ අනුව පිළිවෙළක් සහිත සුන්දර හරිත නගර අනාගතයේ දැකගත හැකිවනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්