May
31

‘සුදු වීම තමයි ලස්සන වීම කියන මානසිකත්වයක් මට ඇති වෙලා නෑ’ – ලිහිණි හෙට්ටිආරච්චි

 
2161 Views
   
 

මියුසික් වැඩයි, කැම්පස් එකේ වැඩයි දෙකම හොඳින් කෙරීගෙන යනවා. තාත්තගෙන් උරුම වුණ හඬ වගේම, අම්මාගෙන් උරුම වුණ ලස්සන රූපයට මම ගොඩක්ම ආසයි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය ලෙසින් අදටත් විශාල වටිනාකමක් මා නියැළෙන ගායන වෘත්තියේදී මට ලැබෙනවා.

 

සුන්දරත්වයත් බලපානවාද යම් වෘත්තියකින් ඉදිරියට යන්න?
ඒක හරියටම කියන්න අමාරුයි. පිළිගැනීම් නිලධාරිණියක වගේ නම් රූපය අවශ්‍යයි. නමුත් ගායිකාවක් රංගන ශිල්පිනියක් ලෙසට ඉදිරියට යන්න නම් රූපයේ සුන්දරත්වය විතරක්ම තිබිලා මදි කියලයි මගේ අදහස. ගායන වෘත්තියට දක්ෂතාවය, හැකියාව හැදෑරීම පුහුණුව වැනි දේවල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

 

කාන්තාවකට සුන්දරත්වය වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම. කාන්තාවක් තමන්ට උපතින් ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින්, හදවතේ සිතුවිලිවලින් පුළුවන් හැම වෙලාවකම ලස්සනට ඉන්න උත්සාහ කරනවා නම් වටිනවා කාන්තාවකට සුන්දරත්වය ආරක්ෂා කර ගන්න කියලා ලොකු වෙහෙසක් ලොකු මහන්සියක් ගන්න ඕනෑ නෑ.

 

කාන්තාවකගේ ලස්සන කියා ඔබ දකින්නේ?
කෙනෙකු බැලූ බැල්මට පෙනෙන මතුපිට සුන්දරත්වය කාන්තාවකට හරිම වැදගත්. පිළිවෙලට පිරිසිදුකම කියන දේ තියෙනවා නම් තමන්ට ගැළපෙන විදිහට කොණ්ඩේ සකස් කර ගන්නවා නම්, තියෙන ඇඳුම දෙක හරි පිළිවෙළට අඳිනවා නම් ආකර්ෂණීය ප්‍රසන්න පෙනුමක් අපට නිරතුරුවම රඳවා ගත හැකියි.

 

වර්තමානය වන විට බොහෝ දෙනෙකු සුන්දරත්වය කියා දකින්නේ මොනවාද?
බොහෝ දෙනෙකු සුන්දරත්වය කියා හිතන්නේ හමේ පාටයි, ඇඟේ හැඩයි. මමත් තලෙලු‍ කෙනෙක්. මට කවදාවත් සුදු වීම තමයි ලස්සන වීම කියන මානසිකත්වයක් ඇති වෙලා නෑ. ලෝකයේම දිහා බැලු‍වත් මේ ලෝකයේ දැනෙන වෙනස්කම් කරලා තියෙන්නේ බෝනික්කෝ වගේ ලස්සන අයම නොවේ. ඒ නිසා මම හිතනවා මුහුණේ ලස්සනට වඩා අප සතු දක්ෂතාවයෙන් හැකියාවෙන් ලෝකයටම වටිනා කෙනෙක් වෙන්න පුළුවන් කියා.

 

ඔබ නියැලෙන වෘත්තියට සුන්දර පෙනුමත් වැදගත් නේද?
මම හිතන්නේ සුන්දරත්වය අපේ දක්ෂතාවයට ආභරණයක්. ඒ හැරෙන්න සුන්දරත්වය තිබූ පමණින්ම ගායන හැකියාව නොමැති නම් ගායිකාවක් වෙන්න ලැබෙන්නේ නෑනේ.

 

සුන්දරත්වයට වටිනාකමක් වාණිජ ලෝකයේදී ලැබී තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවාද ?
ඔව්. අද සියල්ල වෙළෙඳ වටිනාකම් මත ගොඩනැගෙන නිසා සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ම බොහෝ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් වෙනවා. හැමෝම ලස්සන වෙන්න උත්සාහ කරන නිසා මෙවැනි දේට විශාල ඉල්ලු‍මකුත් තියෙනවා. නමුත් මම පෞද්ගලිකව හිතනවා හදවතින්ම ලස්සන නොවේ. මොන තරම් ආලේපන ගැල්ලු‍වත් පවතින සුන්දරත්වයක් ලබා ගන්න බෑ කියලා.

 

සුන්දරත්වය කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?
සුන්දරත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක්. කොයි මොහොතේ අපිට උරුම දේවල් නැති වෙයිද කියන්න බෑ. ඒ නිසා මම හිතනවා සුන්දරත්වය කියන්නේ අපිට ලැබුණු පුංචි දායාදයක් විනා, ආඩම්බර වන්න,  බලය පෙන්වන්න භාවිතා කළ යුතු දෙයක් නොවේ.

 

ඔබ ඔබට ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කර ගන්න මොකද කරන්නේ?
උදේ නැගිට්ට ගමන් ලොකු වතුර වීදුරුවක් බොනවා. ඒ වගේම දවස ඇතුළත වතුර ලීටර් 3 ක් 4 ක් බොනවා. ඒ වගේම මගේ ශරීරය ටිකක් උෂ්ණ ගතියක් තියෙන නිසා තැඹිලි, සව්, බාර්ලි වගේ දේවල් සතියකට කිහිප දවසක්ම ගන්න උත්සාහ කරනවා. එළවළු වර්ග වලින් ලේ පිරිසිදු වෙන, ඇඟට සිසිලස ගේන එළවළු හිතලාම වැඩිපුර ආහාරයට ගන්න උත්සාහ කරනවා. කරවිල, වැටකොළු, පතෝල, බණ්ඩක්කා වගේ එළවළු ඒ නිසාම නිතර අම්මා හදලා දෙනවා. සාමාන්‍යයෙන් කෑමවලට මැල්ලු‍මක්, එළවළු සලාදයක් එක්කර ගන්නවා. රෑට නම් කෑම ගන්නේ හරිම අඩුවෙන්.

 

ඇඟේ හැඩය තියා ගන්න මොනවද කරන්නේ?
කෑම පාලනය වගේම ව්‍යායාම කිරීමත් දෛනික දින චර්යාවේ කොටසක්. දිනක් හැර දිනක් දිනයකට පැයක් විතර ඇවිදින්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව ශරීරයේ නම්‍යශීලීත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් විශේෂිත ව්‍යායාම කරන්න පුරුදු වෙලා ඉන්නවා.

 

ස්වභාවික අලේප වර්ග ගැල්වීමටත් පුරුදු වී සිටිනවාද?
ඔව්. ඉස්සර මගේ මූණේ ගොඩක් කුරුලෑ තිබුණා. ඒ කාලේ දිගටම අමුකහ, කොහොඹ කොළ කොටලා මූණේ ගාන්න පුරුදු වෙලා හිටියා. ඊට අමතරව නිරතම වගේ කස්තුරි කහවලට මී පැණි බිංදු කිහිපයක් දාලා කලවම් කරලා මුණෙයි. මුළු ඇඟේමයි ගාන්න පුරුදු වෙලා ඉන්නවා. නිවාඩු දිනවලට සමේ පැහැපත් බව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කරලා ගානවා. කෝපි කුඩුයි කහයි මී පැණිත් සමේ ගල්වලා විනාඩි 20 විතර ඉඳලා හෝදා හරිනවා. රෝස වතුරත් පුරුද්දක් විදිහට මූණේ ආලේප කරනවා.

 

හිස කෙස් ලස්සනට තියා ගන්න මොනවද කරන්නේ?
දවසක් හැර දවසක් කොණ්ඩෙට තෙල් සාත්තුවක් කරන්න නම් අමතක කරන්නෑ. අප්පච්චි පුංචි කාලේ ඉඳලාම මට කොණ්ඩෙට දාන්න නීල්‍යාදී තෛලය ගෙනත් දෙනවා. ඊට අමතර පොල් තෙල් රත් කරලා විටමින් ඊ කරලක්, දෙකක් දාලත් ඔළුවේ ගාන්න පුරුදු වෙලා ඉන්නවා.

 

විලාසිතා කරන්න ඔබ කැමතිද?
ඔව්. මට ගැළපෙන විදිහට සමේ පාටට ඇඟේ හැඩයට අනුව ගැළපෙන විලාසිතා කරනවා හැරෙන්න බෑන්ඩඩ් ඒවාම අඳින්න කියලා මානසිකත්වයක් නෑ. ලස්සන මට ගැළපෙන ඇඳුමක් අඩුම මිලකට පදික වේදිකාවක විකුණනවා දැක්කොත් මම ඒක අරං අඳිනවා.අඳින ඇඳුමෙන්වත් ඇඳුමේ ගානෙන් වත් අපේ ප්‍රතිරූපය වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා සරල බව චාම් බව ගැලපීම ගැන තමයි විලාසිතා කිරීමේදී මම ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ.

 

ඇඟට වඩාත්ම ගැළපෙන ඇඳුම?
සාරියයි, ගවුමයි ඇන්දාම හැමෝම වගේ ගොඩක් ලස්සනයි කියනවා.

 

හදවතින්ම සතුටින් ඉන්න ඔබ මොකද කරන්නේ?
මනසේ සතුට තමයි අපව බාහිර පෙනුමෙන් ලස්සන කරන්නේ වගේම නිරෝගිව කය මනස තබා ගන්න උපකාරි වෙන්නේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සාහ කරනවා. උදෑසන අවදි වුණාම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ අද දවස සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා. ඊට අමතරව හැම සවසකම බුදුන් වැඳලා අවසානයේ හිතවත් අහිතවත් සියලු‍ සත්වයන්ට මෙත් වඩනවා. මේ සිතුවිලිත් එක්ක හිතට පුදුමාකාර මානසික නිදහසක් ලැබෙනවා සිතුවිලි යහපත්ව තියා ගන්නත් උපකාරී වෙනවා.

 

 ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
හැම අතින්ම මගේ ජීවිතය ලස්සන කරපු, මම දැකපු ලෝකයේ ඉන්න ලස්සනම කෙනා තමයි මගේ අම්මා.

 

 ජීවිතයේ ලස්සනට සැරසුණු දවස?
විශේෂ අවස්ථාවන්ට සහභාගී වෙද්දී හැමදාම ලස්සනට,  පිළිවෙළට ගැළපෙන්න අඳින්න පුරුදු වෙලා ඉන්න නිසා හැමදාම වගේ ලස්සනට ඇන්දාම ලස්සනයි කියලා හැමෝම අගය කරනවා.

අසුන්තා එදිරිසූරිය

 

1

 

 

2

 

3

 

 

4

 

 

5

 

 

6

 

 

7

 

 

8

 

 

9

 

 

10

 

 

11

 

 

12

 

 

13

 

 

14

 

 

15

 

 

16

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්