Jan
28

කැමරාව ඉදිරියට යනකොට මගෙ වයස අවුරුදු හතයි

 
852 Views
   
I-was-seven-years-old-when-the-camera-moved-forward  

දෙව්නක පෝරගේ මේ දිනවල අපට හමුවන්නෙ ධනුෂ්ක රත්නායකගේ හිතළඟ හිනැහුණා නාට්‍යයේ සිහින නමැති චරිතය සමගයි. සිහින වූ දෙව්නක, තුරුණු රංග ශිල්පියෙක් විතරක්ම නෙවෙයි. හොඳ ගායන ශිල්පියෙක් කියලත් කියන්න පුළුවනි. ටෙලි තිරයේ නිමන්ති පෝරගේ ප්‍රවීණ ශිල්පිනිය මේ ‘දෙව්නකගේ’ නැන්දනිය වේ. තුරුණු රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන ‘‘දෙව්නක’’ නීති උපාධිය වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබන අවසන් වසරේ සිසුවෙකි. හිතළඟ හිනැහුණා සිහින වූ ‘දෙව්නක’ සමඟ අපි කතා බහකට එක්වෙමු.

‘‘දෙව්නක’’ පවුලේ එකම දරුවා නේද?

ඔව් අපෙ අම්මටයි – තාත්තටයි මම විතරයි.

කේන්දරේ බලගතු නිසාලු නේද එහෙම වුණේ?

සමහර වෙලාවට අම්මයි – තාත්තයි මමයි, කතා කර – කර ඉන්න කොට මම අම්මාගෙන් අහන්නෙ, බලන්නකො අම්මෙ මටත් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම් හොඳයි කියලා. නංගි කෙනෙක් හරි, මල්ලිකෙනෙක් හරි හැදුවා නම් ඔයා ඔහොම ඉන්න එකක් නැහැ කියලා ඉතින් ඒ වෙලාවට අම්මා කියනවා. තනි දරුවා වීම නිසා මව්පියන්ගෙ අවධානය වැඩියි. ඒක හොඳ දෙයක්. ඒ වගේම වෙලාවකට ඒක කරදරයක්ද කියලත් හිතෙනවා. මොකද හැම දෙයක් ගැනම නිතරම විමසිල්ලෙන්නෙ.

තනි දරුවා ටිකක් ආත්මාර්ථකාමියි කියලා සමහරු කියනවා. දෙව්නක ඒ විදිය ද?

එහෙම නැහැ. මා ගැන දන්න අය ඒ ගැන දන්නවා. නමුත් අපි හැමෝම අතර පොඩ්ඩක් හරි ආත්මාර්ථකාමී ගති තියෙනවනෙ. ඒ වගේ තැන් ඇති.

දෙව්නක අද වෘත්තිය හැටියට කරන්නෙ?

වෘත්තියෙන් රංගනය කරන්නෙ. ගායනය කරන්නෙ විනෝදාංශයක් හැටියට. පොඩි කාලයේ ඉඳළාම ගායනයට ආසා කරලා. ඒත් රංගනයෙන් තමයි, ගායනයට වඩා දුර ගියේ. සංගීතයත් හදාරන්න ආසයි. ඒත් ඒකට ලොකු කාලයක් තිබුණෙ නැහැ. රංගනයට අමතරව මම තවම ඉගෙන ගන්නවා. නීති උපාධියෙ අවසන් වසරෙ ඉන්නෙ.

අනාගතයේ නීතිඥවරයෙක්?

ඔව්, නීති අංශයෙන් කටයුතු කරාවි. ඒත් රංගනය තියෙන්නෙ වයස අවුරුදු 7 ඉඳලාම පටන් ගෙන කර ගෙන ආ දෙයක්. මුලින්ම දැන්වීමකට පෙනී සිටින කොට මගේ වයස අවුරුදු 7යි. ජීවිතේ මතක පටන් ගන්නේ රඟපෑම කියන අංශයෙන්. මෙතෙක් ජීවිතේ වැඩි කාලයක් කරලා තියෙන්නෙ රංගනයයි. ඉතින් නීති උපාධිය ගත්තත් මම රඟපෑමෙන් ඉවත් වෙන්නෙ නැහැ. නිතරම මගේ හිත තිබුණෙ සහ තියෙන්නෙ කලාවට.

‘‘හිත ළඟ හිනැහුණා.’’ දෙව්නකගෙ හිතළඟ හිනැහුණේ කවුද?

හිතළඟ තවම කවුරුත් හිනැහිලා නැහැ. හිතළඟ හිනැහුණා නාට්‍යයේ ‘සිහින’ගෙ හිතළඟ නම් හිනැහුණ කෙනෙක් ඉන්නවා.

‘සිහින’ගෙ හිතළඟ හිනැහෙන්නෙ?

කිරුළි

කොහොමද කිරුළි ගැන හිතෙන්නෙ?

කිරුළි මට හොඳ නංගි කෙනෙක්. එයාගෙ නම ෂෙනායා. එයා දක්‍ෂයි. ඉගෙන ගනිමින් එයාට දුර ගමනක් යන්න පුළුවන් වේවි. නාට්‍යයේ චරිතයට අවතීර්ණ වූ මුල් කාලයට වඩා එයා දැන් ඒ චරිතය ගැන වටහා ගෙන හොඳින් කරන බව පෙනෙනවා. අනෙක මොනවා හරි අඩු පාඩුවක් පෙන්වලා දුන්නාම, නංගි මේක මේ විදියට කළොත් හොඳයි කියලා. එයා ඒකට නිහතමානීව ඇහුම්කන් දීලා, ඒ වැඩේ හරියට කරනවා. අද වෙනකොට එයා කිරුළිගෙ චරිතය ඇඟට අරගෙන කියලා පෙනෙනවා.

දෙව්නකගෙ හිත ළඟ මොන වගේ විදියෙ කෙනෙක් හිනැහුණොත් හොඳයි කියලද හිතන්නෙ?

අපි හැමෝටම යම්තාක් දුරකට කෙනෙකුගේ රූපය බලපානවා. තිත්ත වුණත් ඇත්ත ඒකයි. ප්‍රියමනාප පෙනුමට වැඩි දෙනෙක් කැමතියි. මම පුද්ගලිකව ගත්තොත් වඩා කැමති, ඒ කෙනාගෙ හිනාව වගේම චරිත ස්වභාවයට. පළවෙනියටම මගේ හිත ඇදිලා යන්නෙ හිනාවට.

ගෙදරින් විවාහය ගැන මොනවද කියන්නෙ? 

ගෙදරින් කිසිම බලපෑමක් කරන්නෙ නැහැ. ගෙදරදී ඔය විෂයය කතා කරන්න ගත්තාම, මම අම්මට කියන්නෙ අනෙ අම්මෙ මට තව වැඩ තියෙනවා කරන්න කියලයි. මට කවදාහරි ගැලපෙන කෙනෙක් හමුවුණොත්, ගෙදරින් කැමති වේවි.

ගෙදර වැඩි සාමාජිකයින් පිරිසක් නැහැනෙ. අම්මයි – තාත්තයි, දෙව්නකයි ගෙදරදී එකතුවෙලා වැඩිපුර මොනවගේ මාතෘකා ගැනද කතා කරන්නෙ?

උපන්දා ඉඳළාම ගත්තොත් තනිකම මට ටිකක් හුරුයි. ගෙදර – අම්මයි තාත්තයි හැරුණු කොට වැඩිපුරම මම ඉඳලා තියෙන්නෙ තනියම. ඉතින් තනිකම මට පුරුදුයි. අපි තුන්දෙනාම ගත්තොත්, තාත්තාත් වැඩ, අම්මත් වැඩ, මාත් වැඩ. බොහෝ වෙලාවට අපි කතා බහට වැටෙන්නෙ රෑට කෑම මේසයට ගියාමයි. ඉතින් ඒ වෙලාවට ආ ගිය එදිනෙදා මුහුණ දුන්න දේ ගැන කතා වෙනවා. ඔය පොඩි පොඩි ගොසිප් ගැනත් ටිකක් කතා වෙනවා. ඒවා කාගෙවත් මඩ නෙවෙයි. වෙච්ච සිදුවීම් තමයි.

තනි ළමයා, නිසා ගෙදරම ඉන්නවටද කැමති, එහෙ- මෙහෙ යනවට ගෙදරින් අකමැතිද?

එහෙම ලොකු අකමැත්තක් නැහැ. මොකද අපෙ අම්මයි – තාත්තයි දන්නවා මම වැරැද්දක් කරන්නෙ නැති බව. හැබැයි නිතරම එහෙ – මෙහෙ යන්න ගත්තොත්, දැන්නම් රස්තියාදු ගහනවා වැඩියි කියලා අම්මා කියනවා. එතකොට අම්මෙ ඉතින් මගේ වැඩ වලටනෙ යන්නෙ කියලා මම කියනවා. එහෙම කියලා ෂේප් වෙනවා.

දෙව්නක ප්‍රශ්න ආවාම තීරණ ගන්නෙ මොන විදියටද?

අම්මටයි තාත්තටයි ආදරෙයි. එයාලට ගරු කරනවා. හැබැයි බොහෝ වෙලාවට මගේ තීරණ මම ගන්න කෙනෙක්. තනියම ගන්න බැරි අවස්ථාවලදී තාත්තගෙන් අහනවා. මොකක් හරි ප්‍රශ්නයකදී, මම වැටුණොත් මාව එක පාරටම නැගිට්ටවලා ගන්නෙ තාත්තා. මම සාමාන්‍යයෙන් තීරණ ගැනීමේදී බය චරිතයක් නෙවෙයි. තාත්තා මගේ පිටුපස යෝධයෙක් වගේ ඉන්න නිසා. මට ඒ බය නැතුව ඇති.

මේ වයසට, ගැහැණු ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නැති වෙන්න බැහැනෙ? ඒ වගේ ප්‍රතිචාරවලදී කොහොමද දෙව්නක ප්‍රතිචාර දැක්වූවේ  සහ දක්වන්නෙ?

නිතරම වගේ ඒ අයගෙ ප්‍රතිචාර ලැබෙන නිසා දැන් ඒවා මට අමුතු දේ නෙවෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රතිචාරවලදී මාව අගය කරන ප්‍රතිචාරවලට මමත් ස්තුතිය පුදනවා. අම්මගෙ ආදරේ ගැන අමුතුවෙන් කියන්න ඕනැත් නැහැනෙ.

මොනවද අම්මා පුතාට වැඩිපුරම හදලා දෙන්නෙ?

මට හැමදාම පරිප්පු ඕනෑ. පරිප්පු නැතුව බත් කන්න බැහැ. හැබැයි සැමන් තෙල් දැම්මොත්, මට වෙන මොනවත් ඕනැත් නැහැ. ඒකයි බතුයි විතරක් හරි කනවා.

දෙව්නක මේ වන විට ගී නිර්මාණ කීයක්ද කරලා තියෙන්නෙ?

මේ දක්වා මම මියුසික් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. පාදපරිචාරිකා සහ ආසාදනී. ඒ දෙකම මට හිතෙන විදියට හොඳ නිර්මාණ දෙකක්.

කොහොමද ‘සිහින’ට ලැබෙන ප්‍රතිචාර?

සිහින දුප්පත් පවුලක ළමයෙක්. හැබැයි හොයා ගෙන යද්දී එයාගෙ ඇත්ත අම්මා පොහොසත් පවුලක කෙනෙක්. සිහින ඉපදෙන කොට, සිහින මැරුණාය කියලා හිතලා. ඒ අම්මාගෙන් අයින් කරලා, අනෙක් අම්මගෙ දරුවා ළඟ තියෙනවා. මැරුණු ළදරුවාව වළදාන්න එන මනුස්සයාට දරුවා හඬන සද්දය ඇහිලා බලද්දී, දරුවා මැරිලා නැහැ. ඒ ළමයාව තමයි දුප්පත් මව්පියන් හදාගන්නෙ. ලස්සන කතාවක්. අන්තිම දක්වා නැරඹුවාම මේ කතාව ඉවර වෙන විදිය ගැන ප්‍රේක්‍ෂකයින් මවිතයට පත්වේවි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

I-was-seven-years-old-when-the-camera-moved-forward
I-was-seven-years-old-when-the-camera-moved-forward

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්