Mar
14

තෙල් අර්බුදයේ හෙට දවස

 
464 Views
   
 

ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය තුළ විමසා බැලිය යුතු පැතිකඩ ගණනාවක් තිබේ. එක අතකින් ඉන්ධන හිඟ වන විට අපේ විදුලිය නිෂ්පාදනය අඩාළ වෙයි. තව අතෙකින් ආණ්ඩුව තෙල් අලෙවි කරන්නේ පාඩු පිටය. තවත් අතෙකින් තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය දීර්ඝ කාලයක සිට පවත්වාගෙන යනු ලබන්නේ ද විශාල පාඩුවක් මතය. එහි සම්පූර්ණ බර දැරීමට මහා භාණ්ඩාගාරයට සිදු වී ඇත. රටේ ජනතාව ද දීර්ඝ කාලයක සිට තෙල් සහනයට පුරුදු වී සිටිති. මේ අනුව ඉන්ධන හෝ විදුලිය හෝ අරපරෙස්සමට භාවිත කිරීමක් රට තුළ නැත. මේ සියල්ලෙහි විපාක අද වන විට ජනතාව දෙසට හැරී ඇත.

ආණ්ඩුවට කෙටි කාලයක් තුළදී ඉන්ධන මිල කිහිපවරක්ම වැඩි කිරීමට සිදු විය. එහෙත් පාඩුව මුළුමනින් පියවා ගත හැකි තත්ත්වයක් නැත. සිදු වී ඇත්තේ පාඩුව අවම කර ගැනීමක් පමණි. පවතින ඩොලර් හිඟය මත අමතර නැව් ගාස්තු ගෙවීමට සිදුවන අවස්ථා ද තිබේ. තෙල් සම්බන්ධයෙන් පවතින සමස්ත පාඩුව මහා භාණ්ඩාගාරයට විශාල බරක් ලෙස පවතී. භූමිතෙල් සහනයෙන් පමණක් ආණ්ඩුවට පසුගිය මාස කිහිපය තුළ රුපියල් කෝටි හත්දහසක් පාඩු බව සඳහන් වී ඇත. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකි ද යනු ගැටලුවකි. තෙල් මිල ඉහළයෑමත් සමඟ ප්‍රවාහන ගැටලු මතු වෙයි. බඩු මිල ඉහළ යෑම ද සිදු වෙයි.

තෙල් මිල හා තෙල් හිඟය පාදක කරගෙන මගී ප්‍රවාහන බස් සේවය අර්බුදයට ගොස් තිබේ. ඇතැම් මාර්ගවල බස් ධාවනය තාවකාලිකව නතර කර ඇත. බස් සංගම්වල ඉල්ලීම වන්නේ මගී ප්‍රවාහන බස්රථවලට පමණක් හෝ විශේෂ තෙල් සහනයක් දිය යුතු බවය. ඔවුන්ගේ අනෙක් ඉල්ලීම වන්නේ බස් ගාස්තු වැඩි කළ යුතු බවය. මේ ඉල්ලීම් අසාධාරණ යැයි කිව නොහැකිය. පෞද්ගලික බස්රථ පාඩුවට දුවන්නට පුළුවන්කමක් නැත. සත්‍ය ලෙසම එය ලාභදායී ව්‍යාපාරයක් ලෙස පැවැතිය යුතුය. එසේ නොවුණහොත් පෞද්ගලික බස් සේවය නවතිනු ඇත. ලංගමයට පමණක් මගී අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාවක් නැත. රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

පවතින තෙල් අර්බුදය ලෝක යථාර්ථයකි. එහෙත් අප සොයා බැලිය යුත්තේ එය ශ්‍රී ලංකාවට වඩාත් පීඩාකාරී ලෙස දැනෙන්නේ මන්ද යන්නය. කොවිඩ් වසංගතය නිසා ද අධික ණය බර නිසා ද අපේ විදේශ විනිමය වත්කම් දිය වී ඇත. වසංගත තත්ත්වය මත සංචාරක ව්‍යාපාරය දුර්වල වී ඇත. වසර දෙකකට ඉහත දී එය මුළුමනින්ම පාහේ බිඳ වැටිණි. අද වන විට එහි යම් වර්ධනයක් දක්නට ලැබේ. විදේශ රැකියා ක්ෂේත්‍රය මෙන්ම අපනයන ක්ෂේත්‍රය ද සුළු වර්ධනයක් පෙන්නුම් කරයි. ලෝක වසංගත තත්ත්වය හා යුදමය වාතාවරණය සමහන් වුව හොත් පවතින පීඩනය බොහෝ දුරට අඩු වනු ඇත. එතෙක් බලා සිටීමේ හැකියාවක් නැත. නව උපාය මාර්ග සෙවීම අත්‍යවශ්‍ය කාරණයකි.

අර්බුදය පිළිබඳ සම්පූර්ණ චෝදනාව වත්මන් ආණ්ඩුව වෙත යොමු කිරීම යුක්ති සහගත නැත. එක අතකින් මේ අර්බුදයට දිගුකාලීන හේතු බලපා ඇත. තව අතෙකින් ලෝකයේ සමාජ, ආර්ථික වෙනස්වීම් බලපා ඇත. එහි අර්ථය වන්නේ කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වීමය. තවත් අතෙකින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පෙර සූදානමක් අපට කවදාවත් තිබී නැත. සෑම ආණ්ඩුවක්ම සිදු කර ඇත්තේ විදේශ ණය ගනිමින් ඒවා ජනතා සහන සඳහා යොදා ගැනීමය.

කුමන තත්ත්වයක් යටතේ වුව අපට මේ දුෂ්කර කාලය පසුකර යන්නට සිදු වෙයි. පවතින තත්ත්වය තුළ අපේ ආර්ථිකය බුද්ධිමත් ලෙස හසුරුවා ගතහොත් පමණක් අනාගතය දෙස සුභවාදීව බැලිය හැකි වනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්