May
30

කවදාහරි මාත් පෙම්වතියක් වේවි

 
659 Views
   
Someday-I-will-be-a-girlfriend-too  

තේජා ඉද්දමල්ගොඩ නිර්මාණය කළ ‘ආශාවරී’ චිත්‍රපටය පසුගියද දින 50 සම්පූර්ණ කළේ ආදායම් වාර්තා තබමින් කිව්වොත් නිවැරදියි. රටේ ඇතිවී තිබෙන අයහපත් වාතාවරණය හමුවේ වුවද එලෙසින් ‘ආශාවරි’ සාර්ථක වූ මොහොතක ‘ආශාවරී’ සමග ශ්‍රී ලාංකීය සිනමාවේ අලුත්ම නිළි චරිතය ලෙස කරළියට ආ ඉෂංකා ජහන්වී සමග ලස්සන පිළිසදරකට අපි එක්වෙමු.

ඉෂංකා ජහන්වි ‘ආශාවරී’ නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ආශාවරී මගේ පළමු චිත්‍රපට රංගනය. ලැබෙන ප්‍රතිචාර නම් හරිම ඉහළයි. එච්චර ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියලා එදා මේ චිත්‍රපටය රඟපාද්දි හිතුවෙ නැහැ. ප්‍රේක්‍ෂක ආදරය මේ තරමටම ලැබීම මට ලොකු සතුටක්.

ඔබගේ ප්‍රථම චිත්‍රපටයේ පෙම්වතා ලෙස රඟපාන්නෙ හේමාල් රණසිංහකොහොමද ඒ අත්දැකීම.?

මම ඒ කාලයේ ඉඳලාම ආස කළ ප්‍රවීන රංගන ශිල්පීන් හැටියට ජයලත් මනෝරත්න සර්, හේමාල් අයියා, බිමල් අයියා ඇතුළු පිරිස නම් කරන්න පුළුවනි. ඉතින් අපි වඩා ආසා කරන ඒ තරු එක්ක රඟපාන්න ලැබුණාම, මොන තරම් සතුටක් ද ඇතිවන්නෙ. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. හේමාල් අයියා හරිම නිහතමානි සහ අපට උදවු කරන. ශිල්පියෙක්. අපි දෙන්නට බොහෝ අවස්ථාවලදි පෙනී සිටින්න සිද්ධ වුණේ ප්‍රේම ජවනිකාවලට. ආශාවරී චිත්‍රපටයේ පෙම්වතා ලෙස, හේමාල් අයියා එක්ක රඟපාන්න ලැබීමම ලොකු අවස්ථාවක්. මගේ ආධුනික බව නැති වුණේ ප්‍රවීනයින් ලබාදුන් සහයෝගය නිසයි. කැමරාව ඉදිරියේදි අපි සැබෑම පෙම්වතුන් වගෙයි රඟපෑවෙ. ප්‍රේක්‍ෂකයින්ට මේ චිත්‍රපටය වඩාත් දැනෙනවා ඇත්තෙත් ඒ සජීවි රංගනය නිසයි.

ආශාවරී චිත්‍රපටයේ ඉෂංකි වැඩියෙන්ම කැමති දර්ශන පෙළ?

මේ චිත්‍රපටයේ ‘‘බිංදු බිංදු රොන් වැස්සේ’’ ගීතය රූගත කළ අවස්ථාවට සහ ඒ දර්ශන පෙළට මම හරිම ආසයි. ඒ දර්ශන පෙළ රූගත කිරීමට පෙර මාසයක විතර පුහුණුවීම්වලට දායක වුණා.

ඊට පස්සේ ඒ ගීතයේ රූගත කිරීම් සිදු කළේ රන්මිණිතැන්නේදි. උදේ හයට පටන් ගත්ත ෂූට් එක ඉවර වුණේ රෑ දෙකට විතර.

ඉෂංකා වැස්සේ තෙමෙන්න හරි ආසලු නේද?

හරිම ආසයි. චුටි කාලයේදී වැස්ස වහිනකල් බලාන හිටියෙ වැස්සෙ තෙමෙන්න. ඒ නිසා අම්මගෙන් හොඳටම ගුටිකාලා තියෙනවා. වැස්සටත් ගොඩක් ආසයි, ඒ වගේම වැස්සෙ තෙමෙන්නත් හරිම ආසයි.

ඇයි වැස්සට ඔච්චරටම ආසා?

අනේ මන්දා, මම හරි ආසයි. වැස්ස දිහා බලාගෙන තේ එකක් බිබී ඉන්න හරි ආසයි. වැස්ස හරිම ප්‍රේමණීයයි. වැස්ස හරියට චිත්‍රයක් වගෙයිනෙ. බිංදු බිංදු රොන් වැස්සේ, ගීතය රූගත කළේ වැස්සෙ. ඒ නිසාම හරිම ආසාවෙන් මම ඒ දර්ශන පෙළට දායක වුණේ.

හේමාල් සහ ඔබ මෙහි පෙම්වතුන් ලෙස රඟපාන අතරේ, ඒ චරිත ගැන දෙදෙනා විවේකයේ දී කතාබහ කළේ මොනවාද?

හේමාල් අයියා චරිතයට ප්‍රවේශ වුණාම හරිම සීරියස්. මාත් එහෙමයි. ප්‍රේක්‍ෂකයින්ට ‘ආශාවරී’ හරිම ප්‍රේමාන්විත විදියට දැනෙන්නෙම ඒ නිසා වෙන්නැති. හේමාල් අයියා මා දිහා බැලුවේ නවකයකු දෙස බලන විදියට නෙවෙයි. මනෝරත්න සර් වගේම අනෙක් සියලු ප්‍රවීනයින් මගේ දිහා බැලුවෙත් ඒ විදියටයි. ඒ ආකල්පය මට ගෙන දුන්නේ ලොකු හයියක්. මාව දිරිගන්වමින් සියලු දෙනාම මාව අගය කළා. වැඩිපුර දර්ශන තලයේදි මට වැඩියෙන්ම හමුවුණේ හේමාල් අයියා. කපල් සීන් බොහොමයක් කරන්න තිබුණේ අපි දෙන්නට. ‘ආශාවරී’ චිත්‍රපටයේ රඟපාන ඒ හැමෝටම මම හරි ආදරෙයි. ජයලත් මනෝරත්ත සර්ගේ චිත්‍රපට රංගනයේ අවසන් චරිතය රඟපෑවේ ආශාවරි චිත්‍රපටයේ. එතුමාගෙ දියණිය ලෙස රඟපෑමට ලැබීම මම ලැබූ භාග්‍යයක්. ඒත් එතුමා නැති දුක වචනයෙන් කියා නිමකළ හැකි දෙයක් නෙවෙයි. මනෝරත්න සර් අද අපි අතර නැහැ. එත් එතුමාව ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.

ඒ විදියට හැමෝටම ආදරේ කරන ඉෂංකාගේ ඇත්ත ආදරේ කොහොමද?

ඇත්ත ආදරයක් තවම මට නැහැ. කවදාහරි මටත් ආදරයක් ලැබේවි. මාත් ප්‍රේමවන්තියක් වේවි.

ඉෂංකා බලාපොරොත්තු වන්නේ මොනවගේ ආදරයක්ද?

අද වන විට මම මේ විදියට කලා ක්ෂේත්‍රයේ රංගනයට ඇවිත්. ඉතින් ඒ නිසා මගේ මේ කරන කියන දේ ගැන වැටහීමක් ඇති අයෙක් නම් මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් වඩා හොඳයි. තේරුම් ගන්නෙ නැත්නම්, අපිට නිදහසේ රඟපෑම් කරන්න බැරි වෙනවා. ඒ නිසා කලාවට ආදරේ කරන කෙනෙක් ලැබේවි කියලා මම හිතනවා. මම කොහොමත් ගොඩාක් ආදරේ බලාපොරොත්තු වන කෙනෙක්. මට ගොඩාක් ආදරය කරනවා නම් මාත් ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි දෙන්නටත් හොඳට සළකගෙන ඉන්නවා නම් හොඳයි. සරල නිහතමානී, කලාවට ආදරය කරන කෙනෙක් නම් වැඩිය හොඳයි.

 

ගෙදරින් ඉෂංකාට විවාහ යෝජනා ගේනවා ඇති?

බලපෑමක් එන්නෙම නැහැ. අපේ අම්මා වැඩියෙන්ම කැමති මම හැකිතාක් කාලයක් විවාහ නොවී ඉන්නවාටයි. මම තනිවෙයි කියලා එයාට බයකුත් තියෙනවා.

ඉෂංකා පවුලේ එකම දුවද?

එකම ගැහැණු ළමයා. මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි.

කසාද වීම ගැන හිතන්නේ මොන විදියටද?

හරි කෙනා හමුවුණොත් විඳින්න පුළුවන් වේවි. නොගැලපුණොත් විඳවන්න වේවි.

ආදරයක් මේ දක්වා තිබිලම නැද්ද?

මොකටද බොරු කියන්නේ. ආදරණීය හැඟීම්, ආදර සබඳතා තිබිලා තියෙනවා. පිරිමි පාසල්වල ළමයින් ඒ කාලයේදි මට මතකයි මගෙන් ආදරය ඉල්ලගෙන ආපු හැටි. ඒ අතීතය හරි සුන්දරයි. සමහර පිරිමි ළමයි ආදරේ ප්‍රකාශ කරලත් තියෙනවා.

ඒ අතීතයේ සොඳුරුතම මතකය ගැන කියන්න කිව්වොත් ගෙවී ගිය ජීවිතයේ සුන්දරම දවස?

බොහොම සුන්දර දවස් තියෙනවා. මෑතකදී ගත්තොත් ආශාවරී චිත්‍රපටයට මාව තෝරා ගත්තා කිව්වාම ලැබූ සතුට අපමණයි. ඒක දුර්ලභ මොහොතක්. කවදාහරි මේ ප්‍රවීන අය එක්ක රඟපාන්න ලැබේවි නම් කියන ආසාව එදා මට තිබුණු දෙයක්. ඒ ආසාව ඉටු වුණාම ඇත්තෙන්ම කියන්න බැරි තරමේ සතුටක් දැනුණේ. හීනයක් සැබෑ වූ සුන්දරම ලස්සනම දවසක්. ඒ වගේම උසස් පෙළ කළ කාලයේදී මගේ යෙහෙළියන් එක්ක ගතකළ අවධිය, කළ දඟ වැඩ ගැන තවමත් මතකයි. ඒක සුන්දර සමයක්.

මොනවද එදා කළ ඒ දඟ වැඩ?

අපි පාසලට ගියේ සිසුසැරිය බස්වලින්. ඉතින් බස් එකේ යද්දි පිරිමි පාසල්වල ළමයින්ට වතුර ගැහුවා. එයාලා අපිට හූ කියනවා. අපි එයාලට හූ කියනවා. ඒවා ඉතින් සාමානය දේවල්නෙ. උසස් පෙළ කාලය තමයි මගේ ජිවිතේ හොඳම කාලය. ඒ කාලයේදී තමයි මම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටීමට පටන් ගත්තෙත්. මම පෙනී සිටි වෙළඳ දැන්වීම් දැකලා ළමයි මට ඒ දැන්වීම්වල නම් කියලා විහිළු කළා. ලෙමන්පෆ් දැන්වීම නිසා මට ‘ලෙමන්’ කියලා බොහෝ දෙනෙක් විහිළු කළා. ‘සුන්දරී’ කියලත් නමක් දාලා තිබුණේ. ඉස්කෝලේ මගේ කාඩ් එක ‘සුන්දරී’. ඒකට මම ආසා කළා. තවමත් මගේ පාසල් කාලයේ යාළුවෝ මට කියන්නෙ සුන්දරී කියලයි.

ඉතින් සුන්දරී ඔයා හිතනවද ඔයා ලස්සනයි කියලා?

ප්‍රියමනාප ඇති.

 

නවක රංගන ශිල්පිනියකට තිබිය යුතු හොඳම ගුණාංගය මොකක්ද?

ප්‍රවීනයින්ට ගරුකළ යුතුයි වගේම ඉතාම නිහතමානි විය යුතුයි. ප්‍රවීනයින්ගෙන් අපට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි.

ආශාවරිගෙන් පසුව?

තවත් නිර්මාණ කීපයකට දායක වෙනවා. හැබැයි මේ දක්වා ටෙලිනාට්‍යවල රඟපාලා නැහැ. ටෙලිනාට්‍යවලට කැමතියි. ඒත් වැඩිය කැමැත්ත සහ හීනය තියෙන්නෙ සිනමාවට. ටෙලිනාට්‍යවල රඟපෑවේ නැති වුණත් මම හොඳ ටෙලිනාට්‍ය රසිකාවියක්. බිමල් අයියගෙ සහ ජයනි අක්කගේ ටෙලි චරිතවලට හරිම ආසයි.

සටහන/ඡායාරූපසඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්