May
23

‘සිරි රජ සිරි’ රඟපාද්දි මම හයේ පන්තියේ – ගෑනු ළමයා යාළු කරගන්න මාස නවයක් පස්සෙන් ගියා

 
753 Views
   
When-I-was-acting-in-'Siri-Raja-Siri'-I-was-in-the-sixth-grade---nine-months-after-I-went-to-date-a-girl  

ඉස්කෝල කාලේ’ විශේෂාංගය තුළින් මෙවර සඳැල්ල හා එකතුවන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් රටක් වසඟ කරමින් ගීත ගයන්නට සමත්වූ තරුණ ගායන ශිල්පියෙක්.

ඔහු නමින් ජනිත් ඉද්දමල්ගොඩ.

මම ඉස්කෝල තුනකට ගියා. ඒ නිකවැරටිය මාගල්ලගම රජබිම විද්‍යාලයටත්, කටුගස්තොට රාහුල විද්‍යාලයටත් එතැනින් පසුව නැවතත් කොළඹ නාලන්දා විද්‍යාලයටත්, 6 වසරේ සිට තමයි නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ නිසා වැඩි කාලයක් ගත කළේ ඒ පාසලේ තමයි.

පුංචිම කාලෙ ඒ කියන්නෙ ප්‍රාථමික අවධියේ මට තියෙන මතකයන් නම් ඉස්කෝලෙ සෙල්ලම් කරපුවම තමයි. මගේ මුල්ම පාසල හරිම පුංචියි. කැලයක් සහ ඇලක් ළඟ තමයි පාසල තිබුණෙ, ඉතින් ඒ කාලෙ යාළුවොත් එක්ක එතැනට වෙලා පැය ගණන් සෙල්ලම් කර කරා ඉන්නවා. ගෙදර යන එක ගැනවත් හිතන්නෙ නැහැ. ඉතින් හැමදාම ගෙදර යන්නෙ හවස් වෙලා. අම්මගෙන් ගුටිත් කනවා. ඒ වගේම මට තියෙන විශේෂම මතකයක් තමයි 3 වසරෙ ඉඳන් මම ඉස්කෝලෙ ඉඳන් ගෙදර ගියේ බස් එකේ තනියම. ඉතින් කිලෝමීටර් 6 ක් වගේ යන්නත් තියෙනවා. ඒ වුණත් බයක් නැතිව අපි ගියා. මම විතරක් නෙමෙයි ඒ ඉස්කෝලෙ ගොඩක්දෙනෙක් පුංචිම කාලෙ ඉඳන්ම තනියම බස්වල ගියේ.

ඒ කාලෙ ඉඳන්ම මම ගීත ගායනයටත් දක්ෂයි. ඉස්කෝලෙ යන්නත් කළින් තමයි ගීත ගායනා කරන්න පටන්ගත්තෙත්. මගේ තාත්තා ගියා ගමේ පන්සලේ භක්ති ගීත පුරුදු කරන්න. එතකොට තාත්තා එක්ක මමත් යනවා. ඒ විදියට ගීත කියන්න පටන් ගත්තට පස්සෙ ඉස්කෝලෙ යන කාලෙත් මම ගීත ගායන තරඟවලට එහෙම සම්බන්ධ වුණා.

ඒ හැම තරඟයකින්මත් ජයග්‍රහණය කළා. ගායන තරඟාවලියකට සම්බන්ධ වෙලා ජයග්‍රහණය කරපු පළමු ශිෂ්‍යයා බවටත් ප්‍රාථමිකයෙදි ඒ ඉස්කෝලෙදි මට අවස්ථාව ලැබුණා.

ඒ කුසලතාවයන් නිසාම මට ඒ කාලෙදි අවස්ථාවක් ලැබුණා සෝමරත්න දිසානායක මහත්මයාගේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයෙ රඟපාන්නත්, ගීත ගායන කරන්නත්, ඒ චිත්‍රපටය තිරගත වෙද්දි මම හිටියෙ කටුගස්තොට රාහුල විද්‍යාලයේ ශිෂ්‍යත්වය සමත්වෙලා තමයි මම ඒ ඉස්කෝලෙට ගියේ. ඉතින් ඒ කාලෙ මේ චිත්‍රපටය එළිදැක්වීමත් එක්ක මම ඉස්කෝලෙට සම්බන්ධවීමත් ලොකු දෙයක් වුණා. නමුත් මට ඒ ඉස්කෝලෙ ඉන්න වුණේ මාස 6 ක් විතරයි. මොකද මම ඒ කාලෙම ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු  ළමා ගීත තරගාවලියකට සම්බන්ධ වෙනවා. ඒ තුළින් මට පළමු ස්ථානය දිනාගන්න ලැබෙනවා.

ඒ දේත් එක්ක තමයි නාලන්දට එන්න අවස්ථාව ලැබෙන්නෙ.

ඉතින් ඒ ඉස්කෝලෙට ආවම තමයි ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණේ. 2008.09.09 තමයි මම නාලන්දෙට ගියේ. එතැනින් තමයි මම ප්‍රායෝගිකව සංගීතය ඉගෙන ගත්තෙ. ඉතින් 7 වසරේ සිට පාසල් කාලය අවසන් වනතුරුම වගේම පාසල් මට්ටමින්, සමස්ථ ලංකා සහ මුළු දිවයිනෙන්ම පැවති ගායන තරඟවලින් ජයග්‍රහණ රැසක් මට ලබාගන්න හැකිවුණා.

ඒ වගේම අපි පාසලේ විවිධ ප්‍රසංග කළා. ඒ හැමදේකින්ම මම ඉස්කෝලෙ ජනප්‍රියම චරිතයක් බවට පත්වෙලා තිබුණෙ. විදුහල්පතිවරයාගේ සිට ගුරුවරු, ළමයි ඔක්කොම මාව දන්නවා. විශේෂයෙන්ම මාව හඳුනගත්තෙ මම සම්බන්ධ වුණු රියැලිටි තරඟයත් එක්ක. මම ඉස්කෝලෙ යද්දිම 12 වසරෙදිනෙ දෙරණ Dream Star තරඟයට සම්බන්ධ වුණේ. ඉතින් ඒ තරඟයේ ජයග්‍රහණයට මගේ ඉස්කෝලෙ ලොකු පන්නරයක් ශක්තියක් ලබාදුන්නා. අපි ඉස්කෝලෙදි කළේම දඟ වැඩ. ගොඩක් දඬුවම් විඳලා තියෙනවා. මොකද පන්තියේ උගන්වන වෙලාවට ඉන්නෙම නැති තරම්, හිටියෙම සංගීත කාමරේ. ඒ මොන දඟ වැඩ කළත් ගුරුවරු දැනගෙන හිටියා ඉගෙන ගන්න වැඩ ටිකත් හරියට කරනවා කියලා.

ඉතින් මට O/L A 8, B 1 ක් අරගෙන සමත්වෙන්නත් A/L වලට A 3 ක් අරන් විශ්වවිද්‍යාලයට යන්නත් පුළුවන් වුණා. මම අධ්‍යාපනයට වඩා බාහිර දේවල්වලට තමයි ගොඩක්ම යොමුවෙලා හිටියෙ. ඉස්කෝලෙ රගර් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම අපේ කඳු නඟින සංගමයක් තිබුණා ඉස්කෝලෙ. මම ඒකෙත් හිටියා. අපි 10 වසරෙදි 2016 වසරෙදි ඒ සංගමයෙන් ඉන්දියාවෙත් ගිහින් ඒ සම්බන්ධ වැඩ කටයුත්තකටත් දායකවෙලා ආවා. ඒ විනෝදාංශත් තිබුණා ගායනයට අමතරව. ඒ වගේම ඉස්කෝලෙ කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. නමුත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙන්න ඉල්ලුම් කරන්න බැරිවුණා මට Dream Star තරඟයට සම්බන්ධ වුණ නිසා.

මට මතකයි මට මුලින්ම පාසල් ප්‍රේමයක් කියලා ගෑණු ළමයෙකුට හිත ගියේ 9 වසරෙදි. ඒ ප්‍රේමය මේ මෑතක් වනතුරුම තිබුණා. ඉතින් ඒ ප්‍රේමය ලබාගන්න මම මාස 9 ක්ම පස්සෙන් ගියා. ඒවාට ඉතින් මගේ යාළුවොත් ගොඩක් උදව් කළා. කෝච්චියෙදි තමයි ඇය මට මුණගැහෙන්නෙ. ඉස්සර ඉඳන් මට පොඩි සිදුවීමක් වුණ ගමන්ම වගේ ඇඬෙනවා. ඉතින් ඉස්සර ප්‍රේම කරන කාලෙදිත් පොඩි අවුලක් වුණ ගමන් මම ඉස්කෝලෙට ඇවිල්ලා අඬනවා. ඒවා අදටත් කියලා යාළුවො මාව බයිට් කරනවා. මේ මතකයන් වගේම මට මතකයි එක වතාවක නේවාසිකාගාරයේ ඉන්න කාලෙදි යාළුවො එක්ක නිදියන මෙට්ට බිම දාලා සෙල්ලම් කරලා නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් හොඳ දඬුවමක් වින්ඳා.

මෙට්ටත් ඔළුවෙ තියාගෙන පැය ගණනක්ම ඉන්න වුණා. ඒවගේ දඬුවම් අනන්ත අප්‍රමාණව විඳලා තියෙනවා.

ධනු විජේරත්න

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්