May
4

රඟපාන්න ආවා කියලා දැනගත්තම මට දුරකථන ඇමතුම් ගොඩක් ආවා – ඇත්තටම පිළිකාවක් කියලා කිව්වාම මම මනසින් වැට

 
1031 Views
   
I-got-a-lot-of-phone-calls-when-I-found-out-I-was-coming-to-play---I'm-really-upset-when-I-was-told-it-was-cancer  

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නේ සිනමාවේ වගේම ටෙලි ප්‍රේක්ෂකාගාරය තුළ ජන හදවත් දිනාගත් විශිෂ්ට රංගන ශිල්පියෙකි. ඔහු කලාවට පහළ වූ වටිනාම මැණිකක් කිවහොත් නිවැරැදියි. මෑත කාලයේ පුංචි තිරයෙත්, වේදිකාවෙත්, රිදී තිරයෙත් විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තදින් ඇද බැඳ ගත් ඔහුට හදිසියේම ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ මාස කිහිපයක්ම නිහඬ වීමට සිදුවුණා. දශක ගණනාවක් ප්‍රේක්ෂක හදවතට සතුට විනෝදය  ගෙන දුන් ඒ ආදරණීය රංගන ශිල්පියාගේ අඩුව පුංචි තිරයේ ප්‍රේක්ෂක හදවත්වලට බොහෝ සෙයින් දැනුනා.

මෑත කාලීනව ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘කුකුලා මුදලාලි’ගේ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටි ඔහු නැවත රංගනයෙන් දකින්න ලැබෙන්නේ කවදාද කියලා දෙස් විදෙස් බොහෝ ප්‍රේක්ෂකයින් ඒ දවස එනකම් බොහොම ලෙංගතුව ආදරයෙන් බලාගෙන සිටියා.

පිළිකා මාරයා සමග සටන් කරමින් මාස 6ක පමණ කාලයක් ප්‍රතිකාර ලැබ ලෝකවාසී ප්‍රේක්ෂක ආදරේ සහ ආශිර්වාදයෙන් ටිකෙන් ටික යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත්වෙන ගමන් ඔන්න යළිත් නාඩගම්කාරයෝ කුකුලා මුදලාලි හරහා ඔහු ඔබේ නිවහනට ගොඩවෙනවා. ඒ පිළිබඳව වගේම ඔහුගේ සුවදුක් විමසන්නට අපි මෙවර කතාබහ තුළින් ඔහුව සම්බන්ධ කරගත්තා. මේ ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යයි.

බොහොම සතුටුයි ඔබව නැවතත් රංගනයේ දකින්න ලැබීම. ඉතින් කොහොමද තොරතුරු?

දැන් කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටිනවා. දැන් සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව තරමක සුවයක් ලබලා තියෙනවා. මේ දවස් ටිකේ නිවාඩුවක් ලබාදුන්නා වෛද්‍යවරු ගෙදරට වෙලා ඉන්න කියලා. නැවතත් ලබන සතියේ මගේ ප්‍රතිකාර ආරම්භ කරනවා. ලබන සතියේ නැවත රෝහල්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ බොහොම කාර්යශූරව වැඩ කරපු කෙනෙක්. කොහොමද ඔබට මේ රෝගයේ ලක්ෂණ දැනෙන්න පටන් ගත්තේ?

ඇත්තටම මට එහෙම ලොකු අසනීපයක් දැනගන්න තිබුණේ නෑ. බෙල්ලේ තද වේදනාවක් ආවා. උගුර දෙපැත්තේ ගැටිති දෙකක් ඇති වුණා. මම ඒක පවුලේ වෛද්‍යවරයා වන වාසුදේව මහතාට පෙන්නුවාට පස්සේ එතුමා මාව ඉක්මනට වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කළා. එතනදි තමයි පිළිකා රෝගී තත්ත්වයක ලක්ෂණ තියෙනවා කියලා දැනගත්තේ. බෙල්ලේ ආපු ගැටිති දෙක පෙන්නන්න ගියේ. ඒත් හීනෙකින්වත් හිතුවේ  නෑ මේ වගේ පැත්තකට පෙරලේවි කියලා.
මේ වෙලාවේ විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක ඇතුළු අපේක්ෂා  රෝහල් හෙද, වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්න වනවා. ඇත්තටම ඔවුන් වෛද්‍යවරු නොවෙයි දෙවිවරු. මම අද මේ තරම් සුවයෙන් ඉන්නේ ඒ වෛද්‍යතුමා  ඇතුළු සෙසු පිරිසගේ කැපවීම නිසාමයි.

ඔබ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් ගෙවපු කෙනෙක්. කලාව වෙනුවෙන් මුළු ජීවිතේම දියාරු කරපු කලාකරුවෙක්. ඒ දශක ගණනාවටම මේ ගන්න කෙටි නිවාඩුව දැනුනේ කොහොමද?

ඇත්තටම මම ජීවිතේ ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරපු කෙනෙක්. තවත් කෙනකුගේ මූණට සිනහවක් දෙන්න මම හරිම කැමතියි. ඇත්තටම කලාව කියන්නේ මගේ මුළු ජීවිතේම. මේ විවේක ගන්න කෙටි කාලයත් මට දැනුනේ මහා කල්පයක් වගේ.
ඇත්තටම පිළිකාවක් කියලා කිව්වාම මම මනසින් වැටුනා.  තැතිගැන්මක් දැනුනා. යම්කිසි සසල වීමක් ඇතිවුණා. නමුත් වෛද්‍යවරු, ගෙදර අය මාව ධෛර්යමත් කළා. ගෙදර අය මට බයක් නොදැනෙන ලෙස ඉන්න උත්සාහ කළා. මුල් දවස් දෙක තුනක් තමයි මනසින් මම වැටිලා හිටියේ. මම හිත  හදාගත්තා කොහොමහරි මම මේ ලෙඩෙන් එළියට එනවා කියලා. මුල ඉඳලම මම ප්‍රතිකාරවලට මුහුණ දුන්නේ බොහොම ශක්තිමත්ව. විශේෂයෙන් කියන්න ඕන දෙස් විදෙස් විශාල පිරිසක් මට  සෙත් පැතුවා. මම  පදිංචි වෙලා ඉන්නේ බිරිඳගේ ගමේ. බොරලැස්ගමුවේ පුබුදු මාවතේ  සියලුම දෙනා මා වෙනුවෙන් බෙල්ලන්විල පන්සලට ගිහින් ලොකු  බෝධි පූජාවක් කළා. මා වෙනුවෙන් බෝධින් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මාව දන්න  නොදන්න  සියල්ලම එකතු වෙලා සෙත් පැතුවා. ඇත්තටම මට ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් තියෙනවා කියලා දැනුනේ මම අසනීප වුණාට පස්සේ. ඒ සියලුම දෙනාගේ ආශිර්වාදය  ආදරය මට සුව වෙන්න ලොකු ආශිර්වාදයෙන් වුණා. ඒ සියලුම දෙනාට මට පිං දෙනවා.

අනේ තව පොඩි දෙයක් කියන්න ඕන. ආර්ථික පැත්තෙන් එන පීඩනය මට දැනෙන්නෙ කිසිම කෙනෙක් ඉඩ දුන්නේ නෑ. මම නොදන්න  කවදාවත් දැකලා නැති අය පවා විදේශ රටවල්වලින් මුදල්  බැර කරලා තිබුණා. සමහරු මාව පිටරට ගෙනිහිල්ලා ප්‍රතිකාර කරන්න කතා කළා. මගේ පවුලේ හැම කෙනෙක්ම මා ජීවත් කරවන්න කැප වුණා. තාමත් ඔවුන් මම වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. අත් දෙක එකතු  කරලා පිං දෙනවා මාව ජීවත් කරවන්න දෙස් විදෙස් මට ආදරය කරන සියලුම දෙනා හවුල්කාරයෝ වුණාට.

බිරිඳ ගැනත් යමක් කිව යුතුමයි.

අනිවාර්යෙන්ම, ඒ සහය ධෛර්යය නොතිබුණා නම් මම ජීවත් වෙලා හිටියත් මැරිලා වගේ වෙයි. බිරිඳ තමයි හෙවනැල්ල වගේ මගේ ළඟින්ම හිටියේ. මාත් එක්ක රෝහලේ දිගටම නතර වෙලා හිටියේ බිරිඳ. මම අසනීප වුණාට පස්සේ එක දවසක්වත් බිරිඳ නැතුව රැයක් පහන් කරලා නෑ. ඇය ආස කරන බොහෝ දේවලුත් අතහැරලා මම වෙනුවෙන් කැප වුණා. තාමත්  එහෙමමයි. මගේ ලොකුම ශක්තිය වුණේ ඇය. මාගේ ඉදිරියේ එක කඳුළක්වත්  බිරිඳවත් දුවලා දෙන්නවත් හෙලුවේ නෑ. විශේෂයෙන් මාගේ බෑනාවරු දෙන්නා හැම වෙලාවෙම මගේ ළඟින් හිටියා. ඔවුන්  මාව අත්හැරියේ නෑ.

සමාජ මාධ්‍ය කොයිතරම් අසත්‍ය පුවත් ගෙනිච්චත් ප්‍රේක්ෂක ආදරය, ආශිර්වාදය, පවුලේ අයගේ ශක්තිය ඔබට ලැබුණා.  ඉතින් මාස 6කට පස්සේ කුකුලා  මුදලාලි ආයේ එනවා. මොන වගේද දැනෙන හැටි?

ඇත්තටම අසනීප තත්ත්වයත් එක්ක මාස 6ක්ම මම රඟපෑවේ නැහැ. මට අසනීප වෙනකොට නාඩගම්කාරයෝ කියන්නේ විශාල ජනාදරයක් දිනාගෙන හිටපු නාට්‍යයක්. සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මා, නිෂ්‍පාදක චාමර සමරවික්‍රම මහතා මේ තුන්දෙනාටම ලොකු අවශ්‍යතාවක් තිබුණා නාඩගම්කාරයෝ අවසන් කරන්න කලින් කුකුලා මුදලාලිව නැවත නාට්‍යයට සම්බන්ධ කරගන්න. ඔවුන් නිතර නිතර මගෙන් ඉල්ලීම් කළාම මම ඒක විශේෂඥ වෛද්‍ය  දේවින්ද මහතාට ඉදිරිපත් කළා.  පස්සේ මගේ  අවශ්‍යතාව තේරුම් අරගෙන වෛද්‍ය නිර්දේශය මත පරිස්සමෙන් ගිහිල්ලා  මේ කටයුත්ත කරලා එන්න කියලා කිව්වා.
ඇත්තටම වෛද්‍යතුමා නිර්දේශ කරපු නිසා තමයි ගිහිල්ලා දින 3ක් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කරලා ආවේ. මටත් නාඩගම්කාරයෝ අවසන් වෙන්න දවසකට දෙකකට හෝ කලින් එහි නැවත රඟපාන්න ලොකු ආසාවක් තිබුණා.
මට විෂබීජ යන්න හොඳ නෑ. පිරිස ඉන්න තැන්වල ගැවසෙන්න හොඳ නෑ. ඒ අනුව නිෂ්‍පාදක කණ්ඩායම ඒ ආරක්ෂාව උපරිමය මට දුන්න. මට අධ්‍යක්ෂවරයා ඇතුළු සියලුම දෙනා ආදරෙන් සැලකුවා. රූපගත කිරීම්වලට ගියහම හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. පරණ මිත්‍රයෝ සම්බන්ධ වෙනකොට ඇත්තටම මට ලෙඩක් තියෙනවද කියලත් මට මතක් වුණේ නෑ. මගේ පොඩි එවුන්  ටික, පරණ හිතවත්තු එක්ක විහිලු කරන්න පටන් ගත්තම මම අලුතෙන් ඉපදුනා වගේ හැඟීමක් ආවා.
රූපගත කිරීම්වලට  ගියහම කිව්වට අහන් නෑ ගිරා මාමේ කියාගෙන සජිත්ලා කට්ටියම මාව වටකරගන්නවා. ළඟින් හෙලවෙන්නේ නෑ. අනේ ඉතින් ඒ ආදරේ මගේ හිතට ලොකු ධෛර්යයක්.

කොහොමද ප්‍රේක්ෂක ආදරය?

ආයේ රඟපාන්න ආවා කියලා දැනගත්තම මට දුරකථන ඇමතුම් ගොඩක් ආවා. අලුත් ටෙලිනාට්‍යවලටත් ආරාධනා ආවා. අලුත් ඒවානම් මුකුත් භාරගන්නේ නෑ. මට දැනට ඕන වුණේ මේ නාට්‍යයේ විතරක් රඟපාන්න. මොකද මගේ අසනීප තත්ත්වයත් එක්ක පිටපත් රචකයන් අසරණ වෙලා තමයි නාට්‍යය කරගෙන ගියේ.

ඉක්මනින් මේ තියෙන අසනීප තත්ත්වය සාමාන්‍ය අතට හැරුණාම වෛද්‍ය උපදෙස් අනුව තව වැඩවලට ඉදිරියේදී දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකට තව පුංචි කාලයක් යාවි.

අමන්ද්‍යා දුව කලාවට යොමුවීම ගැන සතුටුයි ද?

ඇත්තටම මට ඕන වුණේ පොඩි දුවව ගායිකාවක් කරන්න. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. ඇය කළෙත් පෞද්ගලික අංශයක උසස් රැකියාවක්. ඒ රැකියාව  දාලා රංගනයට එනවට මට කැමති වුණේ නෑ. ඒත් රැකියාව අත්හරින්නේ නැතුව නිළියක් වෙන්නත් බෑ. අවසානයේ රංගනයට යොමුවුණා. සතුටුයි ඇයගේ  රංගන දක්ෂතාත් දකිනකොට. දැන් අලුත් ටෙලිනාට්‍යවලටත් ඇයට ආරාධනා ලැබිලා තියෙනවා.

නදීශා අතුකෝරල

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්