Mar
13

මම ‘වොයිස්’ වේදිකාවට ගියේ නළුවෙක් වෙන්න හිතාගෙන

 
413 Views
   
I-went-to-the-'Voice'-stage-thinking-of-becoming-an-actor  

‘වඩිවේල්’ කියන්නෙ හරිම හිත හොඳ කොල්ලෙක්. එයාගෙ යාළුවාට බොහොම ලැදි කෙනෙක්. තමුන්ට කෙසේ වෙතත්, යාළුවාට හරියනවට එයා කැමැතියි. මේ වඩිවේල්, අපට හමුවන්නෙ ධනුෂ්ක රත්නායකගෙ ‘හිතළඟ හිනැහුණා’ නාට්‍යයේ චරිතයක් විදියටයි. කවුද මේ විදියට ‘වඩිවෙල්ට’ පණ දෙන මේ ශිල්පියා? එයාටම එයා ගැන විස්තර කියන්න කියලා අපි කියමු. 

‘වඩිවේල්’ වෙච්ච, ඔබ කවුද?

මගෙ නම සවි අල්විස්. ගම ගාල්ලෙ. ඉස්සෙල්ලාම ගියේ ගාල්ලෙ ඇලෝසියස් විද්‍යාලයට. සා. පෙළින් පසුව උසස් පෙළ කරන්න ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට. අපේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා ගුරුවරියක්. අක්කා කැලණිය සරසවිය අවසන් වසරේ ශිෂ්‍යාවක්. මම කොළඹ සෞන්දර්ය සරසවියේ ඉගෙන ගන්නෙ. තව වසරකින් සෞන්දර්ය උපාධිය නිම කරනවා.

සවි විතරද නම?

සවි උමයංගන ද අල්විස්. භාවිතා කරන්නේ ‘සවි’ අල්විස් කියලයි.

හිත ළඟ හිනැහුණා, ‘සවිගේ’ කී වැනි ටෙලි නාට්‍ය රඟපෑමද?

මේ මගේ පළමු ටෙලි නාට්‍ය රඟපෑම.

සවිගේ පළමු රඟපෑම, ‘වඩිවේල්’. මේ නාට්‍යය වගේම චරිතයත් ජනප්‍රියයි. දමිළ විදියෙ චරිතයක් මෙච්චර හොඳට කිරීමට හැකිවුණේ, කොහොමද?

මේක මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම වුණාට වයස අවුරුදු නමයෙ ඉඳලම මෙම විෂය ගැන කළ අධ්‍යයනය නිසයි. මගේ රංගනය පටන් ගත්තෙ පාසල් වේදිකාවෙන්. ‘කළුම කලු කට්ට කළු’ සිංදුවට කළ අභිනයෙන්. ඉන්පස්සේ ඉස්කෝලෙ හැමෝම වගේ මට කතා කරන්න පටන් ගත්තෙ, ‘කළුම කලු කට්ට කළු’ කියලයි. නළුවකුවීම ගැන අදහසක් මුලින්ම ඇතිවුණේ එදා. ඉන්පස්සේ පහ වසරෙදි පංති පහෙන් වෙන වෙනම නාට්‍ය කළා. අපේ පංතිය කළ නාට්‍යයෙන් මම එම තරගයේදී හොඳම නළුවා වුණා. නළුවකු ලෙස මට මුලින් ලැබුණු වටිනාකම ඒ සහතිකයයි. ඒ සහතිකය ලැබුණෙත් මගේ නාට්‍ය ගුරුතුමාව සිටි හේමචන්ද්‍ර ගුරු පියාණන්ගෙ අතින්.

ඉගෙන ගත්තෙත් කලාව අරමුණු කරගෙනද?

ඉංජිනේරුවෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න කියලා මට අපේ අම්මා කිව්වෙ නැහැ. කලාවට සහ සෞන්දර්යය ගමන එන්න මාව දිරිමත් කළේ අපේ අම්මා. ‘ඔයාව මට හැමදාම රෑට ටී. වී. එකේ බල බලා ඉන්න ඕනෑ. ඒ නිසා යන්න ගිහින් රඟපාන්න කියන එක තමයි අම්මා මට නිතරම කිව්වෙ. සා/පෙළ සෞන්දර්යය විෂයයටත් මම තෝරා ගත්තෙ නාට්‍ය හා රංග කලාව. ඒකට මට ලැබුණෙ ‘ඒ’ සාමාර්ථයක්. කලා විෂයය කරලා සෞන්දර්යය සරසවියට ගිහින් ඉගෙන ගෙන පරිපූර්ණ නළුවකු වෙන්න කියන අරමුණ මට ඇතිකළේ අම්මා. මම කැම්පස් ඒම දක්වා ආවේ අම්මගෙ කීමට සහ අක්කාගේ පෙර ගමන නිසයි. ඉස්සෙල්ලාම කැම්පස් ගියේ අක්කා.

‘වඩිවේල්’ නිසා කොණ්ඩා විලාසිතාවකුත් කරන්න වුණා නේද?

මේ විදියට කොණ්ඩය පුළුවන් නම් හදා ගන්න කියලා මට කිව්වෙ අධ්‍යක්ෂවරයා. ඊට පස්සෙ අවශ්‍ය හැඩතලය මම හදා ගත්තා.

දමිළ කතා කරන විදිය හදා ගත්තෙ කොහොමද?

ඒකත් ඉතින් අධ්‍යයනය කිරීම තමයි. ආදරණීය දමිළ ජනතාව ඒ භාෂාව කතා කරන හැටි මම අධ්‍යයනය කළා. චරිතය ලැබුණාම මගේ පාසලේ වගේම සරසවියෙ දමිළ උගැන්වූ ගුරුවරු සම්බන්ධ කරගෙන එයාලගෙන් බොහෝ දේ අහගත්තා. ඒ හැර තව තව දේ අධ්‍යයනය කළා.

‘සවි’ට වඩිවේල් නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බොහොම හොඳයි. සමහර අය මට නම කියලාම කතා කරනවා.

‘සවි’ මේ විදියට රඟපෑමට ඒමට පෙර ‘වොයිස්’ වේදිකාවෙන් පටන් ගත්තෙ, එතැනින් එහාට ගායනයට මොකද වෙන්නෙ?

වොයිස්, වේදිකාවෙදි වැඩි දෙනා මාව හඳුනා ගත්තෙ, ‘පාං කිරිත්තා’  සිංදුවෙන්. එයින් පසුව මාව අවසන් වටය දක්වා තේරුණෙ නැහැ. ඒත් අපට එක් අවස්ථාවක ගීතයක් කරන්න ලැබුණා. එතැනදි තමයි සුසාර දිනාල්’ මහතා මාව මේ විදියට නාට්‍යයකට සම්බන්ධ කළේ. එතුමා තමයි මේ ටෙලි නාට්‍ය රංගන ගමන මට හදලා දුන්නෙ. ගායකයකු සහ නළුවකු ලෙස ඉදිරි ගමනක් යාම තමයි මගේ අරමුණ. ‘සවි’ කියන්නෙ කලාවේ බොහෝ දේ රස විඳින සහ ඒ සෑම දෙයක්ම කරන්න උත්සාහ ගන්න කෙනෙක්.

හිත ළඟ හිනැහුණා, නාට්‍යයේ ඔබගෙ මිතුරා ‘දෙව්නක’ටත් හොඳට ගයන්න පුළුවනි. දෙන්නම එකතුවෙලා අලුත් වැඩක් කරන්න එහෙම අදහසක් නැද්ද?

දැනට නාට්‍යයේ තියෙන වැඩ එක්ක අපට එහෙම දේකට යොමු වෙන්න බැහැ. ඒත් ඉදිරියේදී අපි සිංදු කීපයක් කරන්නයි හිතාගෙන ඉන්නෙ.

‘වඩිවේල්’ වීම නිසා තිරය පිටුපස සිදුවූ සිදුවීම් තියෙනවද?

‘වඩිවේල්’ ගෙ චරිතය ගොඩ නගා ගැනීමට අධ්‍යක්ෂවරයාගේ සිට ‘තේ’ එක ලබාදෙන සහෝදරයාගෙ සිට හැමෝම මට උදවු කළා. ඒ හැමෝම ලබාදෙන සහයෝගය සහ ආදරය නිසා මට මේ චරිතයට ප්‍රවේශ වෙන්න පුළුවන් වුණා. රූගත කිරීම් සිදු කෙරෙන ‘ෆ්ලැට්’ එක මට අමතක නොවන තැනක්. මට ජීවිතයට එතෙක් මරණ බය දැනිලා තිබුණෙ නැහැ. ඒත් මරණ බය දැනුණු මොහොතක් ගැන මම කියන්නම්. එදා මිනෝලි මැඩම්ගෙ ඔෆිස් එකේ ෂූටිං තිබුණෙ. අපට ලිෆ්ට් එකෙන් උඩට යන්න තිබුණා. ලයිට්ස් එහෙම පටවා ගෙන ලිෆ්ට් එකේ යද්දි එ්ක එක පාරටම නතර වුණා. ඒ ලිෆ්ට් එක හරි පොඩියි. අපි ඔක්කෝම පැක්වෙලා හිටියෙ. විනාඩි පහක් විතර යනකොට හුස්ම ගැනීම පවා අපහසු වුණා. හැබැයි මේ ලිෆ්ට් එක ආපසු ඇරෙන්නෙ විනාඩි 20කින්. ඒ ගැන අපි දැනගෙන හිටියෙ නැහැ. අපි විනාඩි 20ක්ම ලිෆ්ට් එකේ හිරවෙලා හිටියෙ. එක්කෝ ඒක කඩාගෙන වැටිලා මැරේවි. නැත්නම් අපි හුස්ම හිරවෙලා මැරේවි කියලා තමයි හිතුවෙ. ඒ විනාඩි 20 මට දැනුණෙ අවුරුදු 20ක් වගේ කාලයක්. එච්චරටම බය වුණා. ඉන් පස්සෙ අනෙක් දවස්වලදී අනෙක් අය ලිෆ්ට් එකේ ගියත් මම නම් ලිෆ්ට් එකේ ගියේ නැහැ. ආයෙ කවදාවත් යන්නෙත් නැහැ.

‘වඩිවේල්ට’ හම්බවෙච්චි, තංගච්චි කවුද?

ඒ කියන්නෙ ‘සවි’ටද?

ඔව්, ඔව්. සවිට?

මම ආදරේ කරලා තියෙනවා. ඒත් තවම නම් ගැලපෙච්චි තංගච්චි කෙනෙක් හම්බවෙලා නැහැ. ඒ නිසා ගැලපෙන කෙනා හමුවෙනකල් ආදරේ සොයාගෙන යනවා.

මේ සැම දෙයක් එක්කම සවිට සවි ගැන හිතෙන විදිය කොහොමද?

සවි කියන්නෙ හිතුවොත් දෙයක් ලැබෙන කෙනෙක්. ඒක ඇත්තටම ලොකු වාසනාවක්. වොයිස් වේදිකාවට ගියෙත් ඒ විදියටයි. හැමෝම වොයිස් වේදිකාවට ගියේ ගායකයෙක් වෙන්න. ඒත් මම වොයිස් වේදිකාවට ගියේ නළුවකු වෙන්න හිතාගෙන. මේ සියලු දේ එක්ක තමුන්ට ආදරය කරන ලෝකයටත් ගරු කරන කෙනෙක්.

සඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්