Mar
28

සැඳෑ සක්මන අහවරයි දැන් – චන්දන ලියනආරච්චිගේ හඬින් එන අලුත්ම ගීතය

 
199 Views
   
Old-Walk-is-over-now---the-latest-song-by-Chandana-Liyanarachchi  

සැදෑ සක්මන අහවරයි දැන්
ලෝ දහම හංගා ගෙනා
ලිහී වැටුණත් පරවෙලා පෙති
සුවද යන්නේ නෑ දමා

මගේ හුස්මට තුරුළු වී හිඳ
යන්න ගියෙ නුඹ මා දමා
ජීවිතය දුන් ආදරේ තැන්
තවම නෑ නුඹහට කියා

සසර ගමනේ නවාතැන් හිමි
තැනක හමු වී පෙම්කළා
කොහොම යන්නද ඉතිරි දුර මා
මටත් කලියෙන් නුඹ ගියා

ඒ සති අන්තයේ නිවාඩුව දීර්ඝ එකක් විය. සිකුරාදාට අමතරව සදුදාද නිවාඩු දින වූ බැවිනි. බ්‍රහස්පතින්දා වරුවක් නිවාඩුගත් ඇය ගෙදර යන්නට සැරසුණාය.
අත් බෑගයට අමතරව ඇදුම් බෑගයද ගත් ඇය නවාතැනින් පිටව එහි දොර වැසුවාය.
සූ ට කියල යන්න ඕනෑ
එක්වරම ඇගේ යටිහිත ඇයට මතක් කළේය.
ඇඳුම් බෑගය දොරට හේත්තු කළ ඇය ජංගම දුරකථනය අතට ගත්තේ ඔහු අමතන්නටය.
සූ මා එක්ක තරහනෙ
ඇගේ උඩුහිත කීවාය.
කුමක් කරම්දෝයි සිතා ගන්නට බැරිව යටිහිතත් උඩුහිතත් සමග තර්ක තරමින් ඇය මොහොතක් ගත කළාය.
ඇගේ මතකය දිවගියේ මාසයකට පෙර අවසන්වරට ඔහු හමුවූ මොහොතටය.
‘‘අපි යමු බීච්’’
එදා ඔහු කීවේ ඇගේ මුහුණට එබෙමිනි.
‘‘යමු ’’
දෙවරක් නොසිතාම ඇයද කීවාය.
ඔහුගේ යතුරු පැදියට නැගුණ ඇය ඔහුගේ ඉඟ හරහා දෑත දමා ඔහුට තුරුලු වූවාය. ඔහු යතුරු පැදිය පැදවූයේ කුරුල්ලකු ලෙසිනි.
ඔහු ගියේ ගල්කිස්සේ වෙරළටය. ඒ සුන්දරම සන්ධ්‍යාවකි. බටහිර අහස පාට බාල්දියක් හැලූ කලෙක මෙනි. දම් තැඹිලි රතු වැනි පාට බොඳවුණු සිතිජයේ හිරු රතුපාට බෝලයක්ව පෙනිණි.
‘‘සංජු’’
එක්වරම ඇසුණ කටහඬින් ඇය පුදුමයට පත්විය.
ඒ කවුදැයි බලන්නට පසුපස හැරුණු කළ ඇය දුටුවේ වසර පහළොවකට පෙර හමුවී නික්ම ගිය ඇගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතාය.
‘‘ඔ… ඔයා? නිසල්’’
ඇයට ගොත හැසිණි.
‘‘මේ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්’’ ඇය වහා තමා ළඟ සිටි සූ ඒ පරණ පෙම්වතාට හඳුන්වා දුන්නාය.
ඇගේ වදන් ගණනකට නොගත් නිසල් ඇය දෙසම බලා සිටියේය.
‘‘සංජු ඔයා එදා වාගේමයි. තාමත්… ඒ ඇස් දෙක.., ඒ හිනාව… එදා තිබුණ ආදරේ විතරද වෙනස් වුණේ.’’
නිසල් පිස්සුවෙන් මෙන් කියාගෙන ගියේය.
ඇය ඔහුට කන් දුන්නේ විටින් විට සූ දෙසද බලමිනි.
තමන්ට අතීත ප්‍රේමයක් තිබූ බව ඇය කවදාවත් සූට කියා නොතිබිණි.
සූ ඇගේ සුරතින් ඇද්දේය.
ඇගේ දෙනෙතට එබී බැලු ඔහුගේ දෙනෙතේ වූයේ රැවුමකි.
‘‘මොකාද ඒ’’
ඔහු ඇසුවේ කෝපයෙනි.
‘‘මගෙ යාළුවෙක්.. ඉස්කෝල කාලෙ’’
ඇය තෙපුළාය.
‘‘යාලුවෙක්ද බෝයි ෆ්‍රෙන්ඩ්ද?’’
ඔහු ඇගේ දෑසටම එබී බැලුවේය.
ඇය නිසල් කොහිදැයි බැලුවාය. ඔහු දුරට වී බලාගෙන සිටියේ තමා දෙසම බව ඇයට පෙනිණි.
‘‘කතා කරනවා’’
‘‘යාලුවෙක්’’
ඇය කීවාය.
‘‘බොරු කියන්න එපා අයිසේ. ඒ කොල්ලා තමුසෙගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කිව්වා ඇහුණෙ නැද්ද? ඇස් ඒවමයි, හිනාව එ්වමයි, ආදරේ විතරයි වෙනස් කියලා.
මට කියනව මං ඔච්චර අහලත් තමුසෙ ඌ ගැන මට නොකිව්වෙ ඇයි කියලා?’’
ඔහු ඇගේ අත රිදෙන තරමට තදින් මිරිකුවේය.
‘‘ඒක පරණ අතීතයක්. මම ජීවත්වෙන්නෙ වර්තමානයෙ. ඒ නිසා මං අතීතය අමතක කරලා තිබ්බෙ’’
ඇය කීවාය.
‘‘ඒ වුණාට ඒ කොල්ල දැක්කාම තමුසෙට අතීතෙ මතක් වුණානෙ’’
ඔහු ඇසුවේය.
උත්තරය ‘ඔව්’ වුණත් ඇය කිසිවක් නොකීවාය.
‘‘අර බලනව ඒ කොල්ල තාමත් තමුසෙ දිහා බලගෙන ඉන්නවා. යනවා ගිහින් ඌ එක්ක….’’
ඔහු තදින් ඇය තල්ලු කළේය.
ඇය වෙරළ මත ඇද වැටිණි.
ඔහු දිවගොස් යතුරුපැදියට නැගුණේ ඇය වෙරළෙහි තනිකර දමාය. එහෙත් නැගිට ගත් ඇය ඔහු පසුපස දිව ගියාය. ඔහු යතුරු පැදියට නැග වේගයෙන් ධාවනය කරද්දී ඇය හැඬුවාය.
අන්තිමේදි කුලී රියක නැගී සිය නවාතැනට ගියාය.
ඉනික්බිති මේ වනතුරුම ඔවුනතර කතාවක් ඇති වූයේ නැත. තමා තේරුම් නොගැනීම ගැන ඇයත්, තමන්ට සත්‍යය සැඟවීම ගැන ඔහුත් සිටියේ කෝපයෙන් නිසාය.
කමක් නෑ… මං යනවා කියලා එයාට කියනවා.
අන්තිමේදී තීරණය කළ ඇය ඔහු ඇමතුවාය.
‘‘මං අද ගෙදර යනවා.
ඔයාට කියන්න ගත්තේ.’’
ඇය කීවාය.
‘‘සංජු’’
ඔහු කතා කළේ අපහසුවෙනි.
ඔහුගේ වෙනස ඇයට මොනවට දැනිණි
‘‘සූ ඇයි ඔයාට මොකද?’’
සියලු තරහ මරහ අමතක වූ ඇගේ හිතේ උපන්නේ හුරුපුරුදු ප්‍රේමයයි.
‘‘මට කොවිඩ් පොසිටිව් වුණා. හොඳටම අමාරුයි. ඉන්නෙ අයි.ඩී.එච්. එකේ’’
ඔහු කීවේ එපමණකි.
දුරකථනය ඈ අතින් ගිලිහී වැටිණි. දෝතින් මුහුණ බදාගත් ඇය හොදටෝම ඇඩුවාය.
ගමේ යාම අමතක කළ ඇය ආපසු නවාතැන් කාමරයට ගියාය. යහන බදාගත් ඇය හොඳටෝම ඇඬුවාය.
සූ ජීවිතයෙන් සමුගෙන යනු ඇතැයි ඇගේ සිතට සිතෙමින් තිබිණි. ඔහු කතා කළේ බොහෝ අපහසුවෙන් නිසාය.
එදා සිට හැමදාමත් දවසට දෙවරක් ඇය රෝහල් වාට්ටුවට කතාකර සු ගේ සුවදුක් සොයා බැලුවාය.
ඇගේ සිතේ වූ සංවේදනාව කියන්නට ඇයට මතක් වූයේ නෙලූය.
ඇය සියල්ල මිතුරිය සමග බෙදාගත්තාය.
සතියකට පසු…
ඔව් සතියකට පසු සූ යළි නොඑන්නම නික්ම ගිය බව ඇයට පැවසුවේ රෝහල් වාට්ටුවේ හෙදියක විසිණි.
මහ හඬින් විලාප දුන් ඇය යහන බදාගත්තේ දුක කඳුලක් කර කොට්ටයට මුසු කරන අදහසිනි.
‘‘එදා තරහ නොවුනානම් සූ ට මෙහෙම වෙන එකක් නෑ. එහෙමනම් මම එයා අසනීප වුණ හැටියෙම හොස්පිට්ල් යවනවා.’’
ඇය කීවේ නෙලුටය.
‘‘අපේ ජීවිත කාලෙ හරිම කෙටියි. තරහ වෙලා ඉන්න දවසක් වත් නෑ.’’
නෙලූ ඇයට පැවසුවාය.
සංවේදී වූ නෙලූ ප්‍රනාන්දුගේ හිතට ගලා ආ වදන් වැල අත්තිමේදි රෝහණ වීරසිංහගේ සංගීතයෙන් හැඩ වී චන්දන ලියනාආරච්චිගේ හඬින් ගැයිනි.
සැඳෑ සක්මන අහවරයි දැන්
ලෝ දහම හංගා ගෙනා
ලිහී වැටුණත් පරවෙලා පෙති
සුවද යන්නේ නෑ දමා.

ශාන්ත කුමාර විතාන

මෙන්න බලන්න තවත් ගොසිප්