Sep
10

හදිසියේ ආ හදිසි නීතිය

 
530 Views
   
 

හදිසි නීතිය පෙරේදා සම්මත විය. ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ දී පහසුවෙන්ම පනතක් සම්මත කර ගත හැකිය. ඒ බලය දී ඇත්තේ ජනතාවය. ප්‍රධාන විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීතිය විවේචනය කරමින් බලවත් ව්‍යාපාරිකයන්ට අනියමින් සහයෝගයක් දැක්වීමට උත්සුක වූ බව පෙනිණි. ජනාධිපතිවරයාගේ ඉලක්කය වී ඇත්තේ ව්‍යාපාරික මාෆියාව පාලනය කර, වෙළෙඳපොළ තෘප්තිමත් තත්ත්වයකට ගෙන ඒමය. ගිය මාසයේ මුල පටන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් දක්නට ලැබිණි. කිරිපිටි, සහල්, සීනි ඊට නිදසුන්ය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා පසුව වැඩිමිලට අලෙවි කිරීම ව්‍යාපාරික උපාය මාර්ගය වී ඇත. මෙය වහා නැවැත්විය යුතුය.

රටක් ජාතික විපතට මුහුණ දෙන විට අභියෝග ජය ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් ක්‍රියාත්මක විය යුතුය යන්න පිළිගත් මතයකි. කොරෝනා වසංගත තත්ත්වය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අදහස නැවත නැවත අවධාරණය කරයි. සාමූහික ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාව වෙත හිමි වෙයි. එහෙත් අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව එය තුට්ටුවකට සැලැකුවේ නැත. ඔවුන් අනුගමනය කළේ කල දුටු කල වළ ඉහ ගන්නා ප්‍රතිපත්තියකි. මේ අනුව වී තොග සඟවා ගත්හ; සහල් තොග සඟවා ගත්හ; කිරිපිටි හා සීනි ද සඟවා ගත්හ. ඒ පමණක් නොව, බේකරි හිමියා පවා බලා සිටින්නේ පාන් ගෙඩියේ මිල ඉහළ දමා පාරිභෝගිකයා සූරා කන්නය. නිදහස් වෙළෙඳපොළ තුළ මනුෂ්‍යත්වයක් නැතැයි කීම හරියටම හරිය.

හදිසි නීතිය යන්න ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. අවශ්‍යතාව මත එය වරින් වර ක්‍රියාවට නංවා ඇත. දේශපාලන න්‍යාය ධර්මවලට අනුව ගත හොත්: හදිසි නීතිය යනු ද ප්‍රජාතන්ත්‍රවාදයේම පාලන විධියකි. ආපදා අවස්ථාවලදී ද හදිසි අවස්ථාවලදී ද එය භාවිත කරනු ලැබේ. ත්‍රස්තවාදි යුද ගැටුම් පැවැති සමයේ වසර ගණනාවක් පුරාවට හදිසි නීතිය පැවතිණි. කොළඹ කුණු කන්දක් නාය ගිය අවස්ථාවේ ද හදිසි නීතිය ක්‍රියාත්මක විය. කොවිඩ් වසංගත තත්ත්වය මත රටවල් ගණාවක්ම එකිනෙක ප්‍රාන්තවලට හදිසි නීතිය පැන වීය. අප දැන් මුහුණ දී සිටින්නේ ලෝක ආපදා තත්ත්වයකටය. ඊට මුහුණ දීම සඳහා හදිසි නීතිය හොඳින් ගළපා ගත හැකිය. පවතින තත්ත්වය යටතේ වෙළෙඳ මාෆියාව පරාජය කිරීම අනිවාර්ය කටයුත්තක් වන අතර, ඒ සඳහා යොදා ගත හැකි නෛතික ක්‍රමවේදය ඒ තුළ ඇත.
හදිසි නීතිය හා මිලිටරිකරණය අතර සම්බන්ධයක් තිබෙන්න පුළුවන. එහෙත් වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ඒ චෝදනාව එල්ල කරන්න ඇතැමකු උත්සුක වුවත් ඉන් ප්‍රතිඵලයක් ලැබුණේ නැත. ජනාධිපතිවරයා කෙරෙහි බලවත් විශ්වාසයක් හා ගෞරවයක් පොදු ජනතාවට තිබේ. කොවිඩ් තෙවැනි රැල්ලේ උපරිම අවස්ථාව අතරතුර විපක්ෂය උද්ඝෝෂණ අටසිය ගණනක් පවත්වා ඇත. ඒ කිසිවක් මර්දනයට ලක් වූයේ නැත. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර යනාදි කිසිවක් නැතිව උද්ඝෝෂණ පැවැත්විණි. ‘කිසිවකුට පහර දෙන්න එපා’ යන්න ජනාධිපතිවරයාගේ උපදේශය විය. එනයින් ‘මිලිටරිකරණය’ යනු ගෝණිබිල්ලෙක් පමණි.

රටේ නායකයන් ජනතාවගේ නිදහස හා මානව අයිතීන් ආරක්ෂා කළ යුතු අතර, අවශ්‍ය තැනදී බලය පාවිච්චි කර, යම් අහිතකර දේවල් පාලනය කළ යුතුය. නීති ඇත්තේ පොතක හෝ ව්‍යවස්ථාවක හෝ වගන්ති ලෙස පැවතීමට නොවේ. ඒවා මහජන සුභසිද්ධිය සඳහා පාවිච්චි කළ යුතුය. හදිසි නීතිය සම්මත වී ඇත්තේ ද මහජන සුභසිද්ධිය සඳහාය. පාරිභෝගික අයිතීන් සුරැකීම එහි අවසන් ඉලක්කය වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්