බලශක්ති අර්බුදය දීර්ඝ කාලයක සිට අප මුහුණ දෙන ගැටලුවකි. විදේශ විනිමය පිළිබඳ ගැටලුව මෙන්ම විදේශ ණය පිළිබඳ ගැටලුව ද එලෙසමය. මේ ගැටලු සම්බන්ධයෙන් නිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක්ම වගකිව යුතුය. එම වගකීම අත්හැර අත පිසදා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නැත. ශ්රී ලංකාව ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කරයි. එය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරම්ය.
ගැටලුවට ස්ථාවර විසඳුමක් දීමට කිසිවකු සමත් වී නැත. මේ අවස්ථාවේ හෝ එය කළ යුතුය. එසේ නොවුණ හොත් අපට ඉදිරි ගමනක් නැත. අපේ බොහෝ විසඳුම් කල් යන්නේ ද ක්රියාත්මක නොවන්නේ ද දේශපාලන ආරවුල් නිසාය. කොවිඩ් වසංගතය තුළ හෝ මේ තත්ත්වය වෙනස් විය යුතුව තිබේ. ජනාධිපතිවරයා සිය ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුව හමුවේ තබමින් ඉදිරි කාලය තුළ රජයේ ප්රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේය. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන උපාය මාර්ග එම කතාවට ඇතුළත් විය.
එම ප්රතිපත්ති හා වැඩසටහන් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ මඟ හැර වෙනත් මඟක් අපට නැති බවය. බලශක්ති අර්බුදයට, කෘෂිකාර්මික ගැටලුවලට, විදේශ විනිමය ප්රශ්නවල ප්රායෝගික විසඳුම් එහි තිබේ. අවශ්ය වන්නේ ජනාධිපතිවරයා කෙරෙහි මෙන්ම රජය කෙරෙහි ද විශ්වාසය තබා ගනිමින් සාමූහික ප්රයත්නයක් ආරම්භ කිරීමය. ශ්රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සහිත රාජ්යයක සංවර්ධනය සඳහා විදේශ ආයෝජන ලබා ගැනීම අනිවාර්ය සාධකයකි.
කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද විදේශ ආධාර, විදේශ ණය හා විදේශ ආයෝජන නැතිව ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ හැකියාවක් නැත. ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ රොබට් මැක්නමාරා වරක් පෙන්වා දුන්නේ විදේශ ණය යනු සංවර්ධනයේ මූලික ලක්ෂණයක් බවය. ලෝකයේ දෙවන තෙල් නිෂ්පාදකයා ලෙසින් හැඳින්වූ ඉරාකය සදාම් හුසේන්ගේ යුගයේදී ලෝක බැංකු ණය ලබා ගෙන රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කළේය. අද වන විට සංවර්ධනයේ ප්රධාන උපාය මාර්ගය වී ඇත්තේ විදේශ ආයෝජනයන්ය.
කුමන හෝ රටකට විදේශ ආයෝජන ඉබේ පාත් වන්නේ නැත. ඒ සඳහා විවිධාකාර ගිවිසුම් අස්සන් කළ යුතුය. ආයෝජකයාට ද වාසියක් තිබිය යුතුය. ඇතැම් විට අපේ සම්පත් බදු දීමට සිදු වෙයි. බදු කාලය අවසන් වූ පසු අපට හිමි වන වාසිය වැඩි වෙයි. සමහර දේශපාලකයන්ගේ මතය වන්නේ ත්රිකුණාමලයේ තෙල් ටැංකි දිරා ගියත් ඒවා කිසිවකුට පැවරිය යුතු නැත යන්නය. මේවා නූතන ලෝකයට නොගැළපෙන මෝඩ අදහස් සේ බැහැර කළ යුතුය. නූතන ආර්ථිකය නොහඳුනන දේශපාලන ව්යාපාර අපට බලවත් පාඩුවකි.