Mar
12

සල්ලිවලට වඩා මට වටින්නෙ නම කියූ සැනින් ලැබෙන ආදරය – රංගන ශිල්පිනී නිලන්ති ඩයස්

 
450 Views
   
I-value-instant-love-more-than-money---Actress-Nilanthi-Dias  

ඇය කාලයක් තිස්සේ කලාව නියෝජනය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට වඩා දැන් අපිට ඇයව දකින්න ලැබෙන්නෙ නර්තනය තුළින්. ඉස්සර තරම් රංගනය තුළින් දැකගන්න නො ලැබෙන නිසාම තොරතුරු ටිකක් කතා කරන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. සුපුරුදු සුන්දර සිනහවෙන් අපිත් එක්ක කතාබහට එකතු වුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නිලන්ති ඩයස්. මේ දිගහැරෙන්නේ ඇය සමඟ කෙරුණු සොඳුරු කතාබහයි.

ඉස්සර තරමට ඔබව දකින්න ලැබෙන්නෙ නෑ දැන්. මොකක්ද ඒකට හේතුව ?

මාව අඩුවෙන් දකින්න ලැබෙන්නෙ සිනමාව සහ රූපවාහිනී තිරය හරහා. නමුත් මම නර්තනයත් එක්ක නම් වේදිකාවේ ගොඩක් කාර්‍යබහුල කෙනෙක්. දැන් දැන් ළඟම එනවා උත්සව සමය. ඉතින් ඒ නිසා වඩාත් කාර්‍යබහුල වෙලා ඉන්නෙ මේ දවස්වල. ඒ වගේම චිත්‍රපටි සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ වැඩත් එක්ක මාව දැකගන්න ලැබෙයි.

නර්තනය නිසා රංගනය අතෑරිල ම ගිහින්ද දැන් ?

අතෑරිලා නම් නෑ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නෙ දීර්ඝ නිර්මාණවලට. ඉතින් ඒක ටිකක් අපහසු වැඩක්. මොකද කාලයක් තිස්සෙ ඒ වෙනුවෙන්ම වැඩ කරන්න ගත්තාම මට මගේ නර්තන කටයුතු මඟහැරෙන ඉඩ වැඩියි. ඔය හේතුව නිසයි මාව නිතර ටෙලි නිර්මාණවලින් හමුනොවෙන්නේ. හැබැයි ඊට සාපේක්ෂව බැලුවාම චිත්‍රපටිවලට යන කාලය අඩුයි. සීමිත කාලයක් ඒ වෙනුවෙන් වැය වෙන්නෙ. ඉතින් මම බබාගේ වැඩ ගැනත් බලන්න ඕනි. ඒ නිසයි නිර්මාණවලින් මාව නිතර දකින්න නැත්තෙ. එහෙම නැතුව රංගනය අතෑරලා නම් නෑ.

වැඩියෙන්ම කැමති රංගනයටද නර්තනයටද කියලා ඇහුවොත් ?

මම කොහොමත් වැඩියෙන්ම කැමති නර්තනයට. ඒකෙන් කියන්නෙ නෑ මම රංගනයට අකමැතියි කියලා. ගොඩක්ම කාර්‍යබහුල වෙන්නෙ නර්තන වේදිකාවත් එක්ක.

එදා ඔබ එනකොට තිබුණු කලාවයි වර්තමාන කලාවයි දිහා බැලුවාම මොකද හිතන්නෙ ?

කලාවත් දැන් හැමදේම වගේ වෙනස් වෙලා. මම එන්නෙ 2000 වගේ කාලෙක. ඒ එන්නෙත් සිනමාව තුළින්මයි. ඉතින් එදා තිබුණු තාක්ෂණය ,දක්ෂතා ,දවසින් දවස දකින්න ලැබෙන මුහුණු මේ හැමදෙයක්ම වෙනස් වෙලා තියෙනවා. මං නම් දකින්නෙ අද සිනමාව හොඳ තැනක තියෙනවා කියලා. ඒ කොහොම වුණත් අපිට ඉස්සර තිබුණා හරි සුන්දර කාලයක්. ඒ කාලේ ක්ෂේත්‍රය හරි සුන්දරයි. නිදහස්.

ඒ කියන්නෙ දැන් එහෙම නෑ කියලද ?

දැන් කාර්‍යබහුල වැඩියි. කලාව කියන්නෙම මුදල මත පමණක් තීරණය වුණු දෙයක් වෙලා. ඒක වැරදිත් නෑ ඉතින්. මොකද අද කාලේ හැටියට මුදල මායිම් නොකරත් බෑනෙ. නමුත් ඉස්සර මීට වඩා සහයෝගය තිබුණා. දැන් තියෙන්නෙ වැඩ කළා ගියා සම්ප්‍රදායක්. එහෙම නොවී කැපවීමෙන් වැඩ කරන අයත් නැතුවම නෙවෙයි. සමහර තැන්වල අපි දකින දෙයක් තමයි වැඩිහිටි පිරිසට තියෙන ගෞරවය අඩුයි. මම නම් එදා වගේම අදත් කවුරුත් එක්ක හොඳින් ඉන්නයි බලන්නෙ. එහෙම නැතුව පවතින්න අපහසුයි.

කාලයක් වෙනවා දැන් ඔබ කලාවට ඇවිත්. ආව ගමන ගැන මොකද හිතන්නෙ ?

ඇත්තටම සතුටුයි. ඇගයීම් ලැබිලත් තියෙනවා. නමුත් මට හිතෙන දෙයක් තමයි මගෙන් හරියටම වැඩක් අරගෙන නෑ කියන එක. මොකද මට ලැබිලා තියෙන්නෙ සීමිත චරිත ප්‍රමාණයක්. ඒවත් විවිධත්වයකින් තොරයි බොහෝවිට. ඉතින් මට මගේ දක්ෂතාවය පෙන්වන්න තරම් චරිත නොලැබීම ගැන යම් තෘප්තිමත් නොවන බවක් තියෙනවා. ඒ ඇරුණාම මම කලාවෙ මේ දක්වා ආව දුර ගැන සතුටු වෙනවා. කාලයක් තිස්සෙ එකම නම තියාගෙන ඉන්න එකත් ලේසි නෑනෙ. ඉතින් මම තාම ඒ ප්‍රේක්ෂක ආදරය විඳින ,ලබන කෙනෙක්. සල්ලිවලට වඩා මට වටින්නෙ ඒ විදියට නම කියූ සැනින් ලැබෙන ආදරය.

කලාව තුළ තෘප්තිමත් වෙන්න මොනවද තව ලැබෙන්න ඕනි කියලා හිතන චරිත ?

එහෙම මම ලැබුණොත් හොඳයි කියලා හිතන චරිත කිහිපයක්ම තියෙනවා. පිස්සු හැදුණු කෙනෙක්ගෙ චරිතයක් ලැබෙනවට කැමතියි. ඒ වගේම ගැමි චරිතවලටත් විශේෂ කැමැත්තක් තියෙනවා. මට තියෙන්නෙ බටහිර පන්නයට හුරු පෙනුමක් නිසා ගොඩක් අය හිතන්නෙ ගැමි චරිත මට නොගැළපෙනවා කියලා. නමුත් මම හිතනවා මට එවැනි චරිතයකට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.

ඔබ රංගනය සහ නර්තනය එක්ක කාර්‍යබහුල වෙනකොට දූගෙ වැඩ මඟහැරෙන්නෙ නැද්ද ?

නෑ, එහෙම මඟහැරෙන්නෙ නෑ. දූ ශෙනායා. එයාට දැන් අවුරුදු අටක්. කොහොමත් මම මුල් තැන දෙන්නෙ එයාගෙ වැඩවලට තමයි. දූට තේරෙන වයස වෙනකල් මම සෑහෙන්න කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා. මොකද එයාගෙ ඒ ගෙවෙන පොඩි කාලේ ආයෙම අපිට ගන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් එයා එක්ක ඉන්නයි මම බලන්නෙ. මගේ අම්මා ඉන්නවා මට හයියක් වෙලා. ඉතින් එයා ගොඩක් උදව් කරනවා දූගෙ වැඩවලටත්.

එහෙනම් ඔබට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති ?

ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. හස්බන්ඩ් නම් කලාවට සම්බන්ධ නෑ. එයා ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්. නමුත් මගේ වැඩවලට ,ගෙදර දේවල්වලට උපරිම සහයෝගය ලබාදෙනවා.

අම්මගෙ වැඩවලට දූගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

එයත් අරන් යනවා සමහර වැඩවලට. එහෙම ජනප්‍රිය කෙනෙක් වෙන්න එයාට ලොකු ආසාවක් නෑ. මං එක්ක කට්ටිය ඇවිත් ෆොටෝස් ගන්නකොට එහෙම එයා කියනවා මම නම් ආස නෑ ජනප්‍රිය වෙන්න කියලා. මගේ කලා කටයුතුවලටත් එයා හොඳ ප්‍රතිචාර දක්වනවා.

පසුගියදා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදිලා තිබුණා. දුවෙක් ,බිරිඳක් ,අම්මා කෙනෙක් හැටියට ඔබට මොකක්ද කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය?

කාන්තාවක් කීවාම අපිට ‍යුතුකම් ගොඩක් තියෙනවා. ඒවා අපි හරියට කරන්න ඕනි. ඒ වගේම තමයි ලස්සනට ඉන්න ඕනි. සිරුර මනාව පවත්වාගෙන යන්න ඕනි. අපි අනිත් අය ගැන හිතනවා වගේම තමන් ගැනත් හිතන්න ඕනි. ගැහැනියක් කියන්නෙ ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා ශක්තිමත්ව ඉන්න කියන දේ තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ.

මේ ගොඩක් අය රට අතෑරලා යන කාලයක්නෙ ඔබට එහෙම අදහසක් නැද්ද ?

දැනට නම් එහෙම කිසිම අදහසක් නෑ. දන්නෙ නෑ ඉතින් ඉස්සරහට මොනව වෙයිද කියලා. ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට කලකිරීම් එනවා. එහෙම හේතු හැදුණාම මිනිස්සු රට අතෑරලා යන්න තීරණය කරනවා. මට නම් තවම එහෙම අදහසක් ඇවිත් නෑ.

නඳුනි ආරියවංශ 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්