Dec
7

“ආච්චිට හාල් ගරනා නිසා” ඉන්දිකා උපමාලිගේ ප්‍රතිරූපයට හානි වෙලාද?

 
2361 Views
   
 

ගායිකාවක, විශ්වවිද්යාල කථිකාචාර්යවරියක වගේ ම රංගන ශිල්පිනියක ලෙස ත් රට ම හඳුනන ඇය ඉන්දිකා උපමාලි ය. හරවත් සහ නිර්මාණාත්මක නිර්මාණ තුළින් ලාංකික රසිකයන් අතරට එන ඇය මේ දිනවල ‘ආච්චිට හාල් ගරනා නිසා’ ගීතය තුළින් වඩාත් කතාබහට පත්ව සිටී. එම නිසා ම ඇයව හදගැස්ම කතාබහට එක්කර ගන්නට අපි සිතුවෙමු. 

කොහොම ද මේ දවස්වල ජීවිතේ? 

අලුත් වැඩේට ලැබෙන ප්රතිචාර සමග සහ අනෙක් වැඩකටයුතුත් සමග ජීවිතේ හොඳින් ගෙවෙනවා.

‘ආච්චිට හාල් ගරනා නිසා’ ගැන කතා කරමු? 

අවුරුදු දෙකක් තිස්සේ පමණ මෙවැනි වෙනස් නිර්මාණයක් කරන්න අදහසක් මගේ ඔළුවේ තිබුණා. පවතින සමාජ ආර්ථික සහ දේශපාලනික වටපිටාව තමයි මෙවැනි ගීතයක් කරන්න මාව පොළඹවනු ලැබුවේ.

මේ ගීතයට ඔබ පාදක කරගෙන තිබෙන්නේ උත්ප්රාස රසය අනූන කවියක්? 

ඔව්. මෙය කුමාර හෙට්ටිආරච්චිගේ කවියක්. මම මේක දැක්කේ ඔහුගේ මුහුණු පොතේ. වර්තමාන සමස්ත සමාජය පෙන්වන කැඩපතක් නිසා මම මෙය නිර්මාණයට පාදක කර ගන්න සිතුවා. ගීත රචනාවක් වගේ නොවෙයි සාමාන්යයෙන් කවියක සම්පූර්ණ අදහස උකහා ගන්න සමස්ත කවිය ම කියවිය යුතු යි. කවියක් වීම නිසා මෙම පද රචනාවේ නිර්මාණාත්මක ශක්යතාව ඔප් නැංවිලා තිබෙනවා. ඒ වගේ ම කවි පන්තිය මුල සිට අගට යන තෙක් ම ලියවී තිබෙන්නේ ලාංකේය ජනවහර යොදාගෙන. පසුගිය කාලයේ අපිට ඇසුණු ගීත බොහෝමයක් ආදරය, විරහව පදනම් කර ගත් ඒවා. එතනින් එහාට ගිය නිර්මාණ දකින්ට නැති තරම්. කලාව තුළින් ඉන් ඔබ්බට ගිය යමක් කළ හැකි නිසා ම මම මේ කවිය තෝරා ගත්තා.

මෙය ඔබ ගායනා කරන ශෛලියෙන් වෙනස්ව ගායනා කළ ගීයක්? 

මෙහි තනුව නිර්මාණය කළේ මම. මෙය Blues කියන ශෛලියෙන් නිර්මාණය වූවක්. මෙම ශෛලිය බොහෝ වේලාවට කළු ජාතිකයන් ඔවුන්ගේ ආවේගයන් සහ ගැටලු පිළිබඳ ප්රකාශනයන් ඉදිරිපත් කරන්න යොදා ගන්නවා. මම දන්න විධියට ලංකාවේ කාන්තා හඬකින් මෙවැනි ගීතයක් ගායනා කරන පළමු වතාව මෙය. බොහෝ දෙනෙක් සිතන්නේ මගේ ශෛලිය ඔපෙරා ශෛලිය කියලා. මම ඔපෙරා ගායිකාවක් විධියට ජනප්රිය වෙලා තිබුණට ඇත්තට ම මම විවිධ ශෛලීන්වල ගීත ගායනා කරලා තිබෙනවා.

මම නිර්මාණයක් කරන විට එම ප්රකාශනය කරන්න අවශ්ය සුදුසු ම ශෛලියෙන් නිර්මාණය කරන්න පෙළඹෙන කෙනෙක්. මම එක්තරා ටෙලි නාට්යයක් සඳහා බයිලා ගීතයකුත් ගායනා කළා. මෙම ගීතයේ පද තුළ තිබෙන උත්ප්රාසය සහ හාස්ය රසය ප්රකාශ කරන්න හොඳ ම හැඩතලය විධියට මෙම සංගීත ශෛලිය සුදුසු යි කියලා මට සිතුණා. මම මෙහි තනුව නිර්මාණය කරන විට පවා ඉතා ම සරල ලෙස නිර්මාණය කළේ බහුතරයක් දෙනාට සමීප වෙන්න. ඕනෑ නම් මෙය ශාස්ත්රීය සරල ගීතයක් ලෙස ත්, ඔපෙරා ශෛලියට ත් ගායනා කරන්න පුළුවන්. හැබැයි එවැනි තනු නිර්මාණයකට අපිට සිටින රසික ප්රජාව කුඩා වෙනවා. එය ග්රහණය කර ගන්න බැරි කෙනා එතැනින් ඉවත් වෙනවා. සාමාන්ය කතා කරන භාෂාවට ළග Tone එකකින් ගායනා කළ නිසා සාමාන්ය ගීතයක් ගායනා කරනවාට වඩා මෙහි Tone එක සහ Mood එක ගන්න එක ටිකක් අපහසු වැඩක් වුණා.

මෙම ගීතයේ රූප රචනාව හරියට තිත්ත බෙහෙතක් සීනිවල දවටා දීමක් වගේ නේ ද? 

ඔව්, මෙය ගීතයක් ලෙස නිර්මාණය වුණාට පසුව මගේ මිතුරියක් වන නදී කම්මැල්ලවීර කතාබහ කරලා තිසර ඉඹුලානට මෙහි රූප රචනය සිදු කරන්න භාර දුන්නා. ඔහුගේ අදහස වුණේ මේ ගීතය තුළින් කියැවෙන කුණු ගඳ ගහන ඇත්ත තුළ තිබෙන තිත්ත බව නොපෙන්වා ආකර්ෂණීය විධියට රූප රචනය සිදු කරමු කියන එක. ඒ අනුව යි රූප රචනය නිර්මාණය වුණේ.

මෙම ගීතයේ රූප රචනාව සහ ගායන ශෛලිය තුළින් ඔබේ ප්රතිරූපයට හානි වන බව ඇතැමුන් පවසනවා? 

මම සිතන්නේ නැහැ එහෙම වෙනවා කියලා. කලාකරුවාගේ කාර්යභාරය විය යුත්තේ, තමන්ගේ නිර්මාණ තුළින් යම් පණිවුඩයක් සමාජයට අරගෙන එන එක. ප්රතිරූපයක් නඩත්තු කරනවාට වඩා සමාජයට සිදු විය යුතු යහපත ගැන යි මම අවධානය යොමු කරන්නේ. සමස්තයක් විධියට මෙතුළින් පෙන්වන්නේ වර්තමාන සමාජය පත්වෙලා තිබෙන අවිනිශ්චිත වාතාවරණය ගැන. මෙය පෞද්ගලිකව ඉන්දිකා උපමාලි ලෙස ග්රහණය කර ගන්න එක තමයි ගැටලුව. මෙය චරිතයක් ලෙස ගත්තා නම් ගැටලුවක් ඇති වන්නේ නැහැ. කලාකරුවාගේ කාර්යභාරය සමාජ පිළිබිඹුවක් පෙන්වන එක.

කලාකරුවෙක් ප්රතිරූපයක් නඩත්තු කළ යුතු නැද්ද? 

මම සිතන්නේ ප්රතිරූපය කියන්නේ නඩත්තු කළ යුතු දෙයක් නොවෙයි. මම මෙතෙක් කල් ප්රතිරූපයක් නඩත්තු කළා ද කියලාවත් මම දැනගෙන සිටියේ නැහැ. මම සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටල ත් නැහැ. මම නිදහසේ මගේ කලා නිර්මාණ කළ කෙනෙක්. පළමුවැනි වතාවට තමයි මම ත් අහන්නේ මේ ගීතය තුළින් මම මගේ ප්රතිරූපය හානි කර ගත්තා කියන එක. අපේ රට මේ වන විට අපිට දරා ගන්න බැරි ලෙස සෑම අංශයකින් ම පිරිහිලා පිළිකුල් තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ.

එහෙම තත්ත්වයකදී ප්රතිරූපය පොලිෂ් කර කර සිටින එක ද කළ යුතු? 

මම කැමතියි ප්රතිරූපයක් නඩත්තු කරනවා වෙනුවට මගෙන් වෙන්න තිබෙන සමාජ මැදිහත් වීම සිදු කරන්න.

නිර්මාණය කියවීම වෙනුවට පුද්ගලයා කියවීම පිළිබඳ ගැටලුවක් ලාංකික රසික ප්රජාව තුළ තිබෙනවා නේ ද?

ඔව් පැහැදිලිව ම. අපේ රටේ රසිකත්වය තව ම දියුණු මට්ටමක නැහැ. එයට හේතුව අපි බොහෝ දුරට දකින්නේ නිර්මාණ නොවෙයි ඕපාදූප. ඉන්දිකා උපමාලි වගේ කෙනකුට ආච්චිට හාල් ගරනා නිසා වගේ ගීතයක් කියන්න සුදුසු නැහැ කියලා සිතනවා නම් එය පසුගාමී අදහසක්. හැම වෙලාවෙ ම කලාකරුවාට තමන්ගේ ම දැක්මක් තිබිය යුතු යි. ලේඩි ගාගා වගේ ගායිකාවක් ගත් විට ඇයට පැහැදිලිව ම සමාජ දැක්මක් තිබෙනවා. නිර්මාණයක් තුළ උපකරණයක් විධියට නිර්මාණාත්මකව තමන්ගේ ශරීරය භාවිත කරන්නේ කොහොම ද කියන එක ගැන අවබෝධයක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ ප්රකාශනයන් සඳහා ඉතා ම උසස් ආකාරයෙන් තමන්ගේ ශරීරය යොදා ගන්නවා. මේ රූප රචනය තුළ තිබෙන්නෙත් එවැනි උත්සහයක්.

ඔබ කියන්න උත්සාහ කළ කාරණාව ලාංකික රසිකාගාරය හරි තැනින් අල්ලා ගත්තා කියලා ඔබ සිතනවා ද?

බහුතර සාමාන්ය ජනතාව හරි තැනින් අල්ලාගෙන තිබෙනවා කියලා මම සිතනවා. හරි ම සරල පද මාලාවක් තිබෙන්නේ. ඔවුන් මෙම ගීතයේ වචනයෙන් වචනය කියවා ගන්න, ව්යාංගාර්ථ පැහැදිලි කර ගන්න උත්සහ කරලා තිබෙනවා.

වඩා ත් යෝග්ය වන්නේ කලාකරුවන් පක්ෂ දේශපාලනයට මැදිහත් වීම ද එසේත් නැත්නම් තම නිර්මාණ තුළින් දේශපාලනික කතාබහක් ඇති කිරීම ද? 

කලාකරුවෙක් පක්ෂ දේශපාලනයට මැදිහත් නොවී තමන්ගේ නිර්මාණ තුළින් අදහස් ප්රකාශ කරන එකට රසිකයන් විශාල වශයෙන් ගෞරව කරනවා. ලෝකයේ වෙනත් රටවල සිදු වෙන්නේ එහෙම. බ්රෙෂ්ට්, චාලි චැප්ලින් වගේ කලාකරුවන් නිර්මාණ තුළින් ඔවුන්ගේ දේශපාලන කියැවීම නිරූපණය කරන්න උත්සහ කළා. මම කවදාවත් කිසි ම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටලා නැහැ. ඉදිරියට ත් එහෙම යි. මේ ගීතය තුළත් කියැවෙන්නේ සමස්ත දේශපාලන රාමුව ගැන. එය කියවා ගැනීමට සමස්ත ජනතාවටම ඉඩ දී තිබෙනවා. කලාකරුවාගේ කාර්යය විය යුත්තේ එය යි. කලාකරුවා ස්වාධීන විය යුතු යි. ඔවුන් ජනතාව සමග සිට ගත යුතු යි කියලා යි මම සිතන්නේ.

ඉදිරි නිර්මාණ කටයුතු මොනවා ද? 

සමාජ දේශපාලන කියවීමක් සහිත වෙනස් විධියේ වැඩ කටයුත්තක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ මොහොතේ කලාකරුවාගේ සහ ගුරුවරුන්ගේ කාර්යභාරය අපේ රටේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම යි. ඒ සඳහා කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්