Mar
2

අපෝ මුන් පෙන්නන්න බැහැ කියලාත්, හොඳට බැණලාත් තියෙනවා

 
712 Views
   
There-are-those-who-say-that-they-cannot-be-shown-and-reprimanded-well  

කේ. සුජීවා, අංජලී සහ රෝස්… මේ මව සහ දියණියන් දෙදෙනා අද වෙද්දි සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන චරිත තුනක්. ඒ විශේෂත්වය ගැන කතා කරන්නට මෙවර ‘‘යූ ටියුබ් ලෝකය’’ විශේෂාංගයට අංජලී එකතු කර ගන්න හිතුවා.

අංජලී අදවෙද්දි සමාජ මාධ්‍යයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ‘‘ටික්ටොක්’’ තරුවක් වෙලා නේද?   

ටික්ටොක් තරු කියන්නෙ අපි ඇත්තටම මේ මාධ්‍යයට යොමුවුණේ පසුගිය කොවිඩ් කාලෙනෙ. පළවෙනිම ලොක්ඩවුන් එක ආපු වෙලාවෙ ගොඩක් දෙනෙක් මේ මාධ්‍යයට එකතු වුණා. ඒ ගෙදරටම හිරවුණු නිසා. ඉතින් මේ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් විවිධ දේවල් කරන්න පටන් ගත්තානෙ. රංගනයන්, ගායනයන්, නර්ථනයන් වැනි විවිධ දේවල් කළා. ඉතින් ඒ දේවල් දැක්කම මටත් මේ සියල්ල අත්හදා බැලීමක් කරන්න හිතුණා. ඒ දේත් එක්ක මම විනෝදාංශයක් විදියට විවිධ විදිහෙ වීඩියෝ හැදුවා. මගේ හඬකැවීම්, රංගනයන්, ගායනයන්, නර්ථනයන් එකතු කරගෙන ඒ වීඩියෝ නිර්මාණය කළේ. මුලදි මගේ තනි වීඩියෝ විතරයි එකතු කළේ. ඉතින් ඒ වීඩියෝවලට නොහිතපු විදියෙ ප්‍රතිචාර තිබුණා. ඒ වීඩියෝ ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳගත්තා. එතැනින් පසුව තමයි අම්මයි, නංගිවයි සම්බන්ධ කරගෙන මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතුවෙ.

කේ. සුජීවා’s Daughter’s නමින් ටික්ටොක් Collection එකක් තියෙනවා නේද මේ වෙද්දි?   

ඔව්. අම්මගෙයි, මගෙයි, නංගිගෙයි විවිධ විදියෙ වීඩියෝ එකතු කරලා තියෙනවා. රංගනය, නර්ථනය, ගායනය හැමදේම යොදාගෙන. මුලින්ම නම් අපි සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි වගේ ගීත ගායනා කළා. ඒ වීඩියෝවලට මිලියන ගණන් සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතුවෙලා හිටියෙ. විශේෂයෙන්ම මගෙයි නංගිගෙයි ගීත එකතුවක් තිබුණා. ඒ ගීත 23ක් විනාඩි 3ක් ඇතුළතදි ප්ලේ වුණා. ඒ වීඩියෝවට ඉහළම ප්‍රතිචාරයක් සහ විව්ස් සංඛ්‍යාවක් තිබුණා. ඒ අපි කරපු කවර් එකක්. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි අපි විනෝදෙටත් එක්ක නොයෙක් විදියෙ වීඩියෝ කළේ. ඒ වීඩියෝවලට අපි යොදාගත්තෙ සාමාන්‍ය ජීවිතේ අපිට මුහුණපාන්න වෙන දේවල්. ගෙදර දොරේ එදිනෙදා වෙන දේවල්, ඒවා සමහර වෙලාවට නොහිතපු විදියට ෂෙයා වෙලා තිබුණෙ. මොකද අද සමාජයේ ජීවත් වන පුද්ගල චරිත ස්වභාවයන් සහ ඒ හැසිරීම ගොඩක් දෙනෙක්ට දැනෙනවා වැඩියිනෙ. අපේ එක වීඩියෝවක තිබුණා ‘‘පබ්ජි වලියක්’’ කියලා. ඒ වීඩියෝවෙ තිබුණෙ අපේ ගෙදර නිතර දෙවේලේ සිද්ධවෙන දෙයක්. මොකද මමයි, නංගියි දෙන්නා ගේම්ස් ගහද්දි අම්මා නිතරම බණිනවා. ඒ බණින මොහොතක මම කිව්වා ඒවගේ දෙයක් වීඩියෝ කරමු කියලා. ඉතින් ගෙවල්වල ඒ ඇත්ත තත්ත්වයන්, ඇත්ත ස්වභාවය එළියට දැම්මම ඒ යථාර්ථයට හැමදේටම වඩා ප්‍රතිචාර තියෙනවා. ඒ වීඩියෝවලට fb එකේ මිලියන තුන, හතරක් වගේ විව්ස් ඇවිල්ලාත් තිබුණා. ඒ ප්‍රතිචාර නිසාම අපේ ගෙදර අපි අතරෙ සිද්ධවෙන පොඩි පොඩි දේවල් අපි නැවතත් රඟපාලා වීඩියෝ කරලාත් තියෙනවා. මේ වීඩියෝ බලන සමහර අය කියන්නෙ මේ අපේ කතාව, අපේ ගෙදරත් මේ දේවල්මයි සිද්ධවෙන්නෙ එහෙම කියලා. මොකද ගෙදර සිද්ධ වෙන පොඩි පොඩි දේවල්වලට අම්මලා සමහර වෙලාවට කෑ ගහනවනෙ. විශේෂයෙන් phone එකේ ඉද්දි, ගේම්ස් ගහද්දි වගේ දේවල්වලට. නැත්නම් කාපු, බීපු කෝප්ප පිඟන් හෝදන්නෙ නැති වෙලාවට. ඒ වගේ දේවල්වලට කෑ ගහද්දි එහෙම අපි සමහර වෙලාවට හොරෙන් වීඩියෝ කරනවා, රෙකෝඩ් කරනවා. ඒවා තමයි ඉතින් හිතන්නෙ නැති විදියට වයිරල් යන්නෙ. මොකද ගෙදර දොරේ එදිනෙදා සිද්ධ වෙන දේවල් දකිද්දි කට්ටියට හිතෙන්නෙ මේ මගේම චරිතය නේද කියන දේනෙ.

විනෝදාස්වාදයට මේ රංගනයන් ඉදිරිපත් කළත් ඒ දේට හැකියාවක් තියෙන්නත් ඕනැනෙ? අංජලීට රංගනයට හොඳ හැකියාවක් තියෙනවා වගේ පේනවා?  

ඇත්තටම කියනවා නම් අපි ටික්ටොක් මාධ්‍යයට එකතු කරන්නෙ ගොඩක්ම හාස්‍යෝත්පාදක රංගනයන්නෙ. ඇත්තටම කියනවා නම් කෙනෙක්ව හිනස්සවනවා කියන දේ නම් ලේසි පහසු ක්‍රියාවක් නෙමෙයිනෙ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ අපි ටික් ටොක්වලට ඩබල් මීනින් හෝ වෙනත් අසභ්‍ය වචනයක්වත් යොදාගන්නෙත් නැහැ. ඕනෑම වයසෙ කෙනෙකුට බලන්න පුළුවන් විදියෙ වීඩියෝ තමයි කරන්නෙ. ඉතින් මේ රංගනයන් ඉදිරිපත් කරද්දි ඇත්තටම අපි දැනගෙන හිටියෙත් නැහැ අපිට රඟපාන්න පුළුවන් කියලා. විශේෂයෙන් මම දැනගෙන හිටියෙ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. ටික්ටොක් එකේ විවිධාකාර විදියෙ වීඩියෝ හදලා ඒවා වයිරල් වෙද්දි තමයි හිතුණෙ අපිටත් රඟපාන්න පුළුවන් කියලා. මොකද මේ වීඩියෝ කරද්දි අම්මයි, නංගියි, මමයි තුන්දෙනාමනෙ ගැහැණු චරිත, පිරිමි චරිත ඔක්කොම කරන්නෙත්. අපිම එකවර චරිත ගණනාවක් නිරූපණය කරනවා. ඒවා එකිනෙකට වෙනස්. ඉතින් ඒ ඇඳුම්, පැළඳුම්, වේශ නිරූපණය අපිම තමයි කරගන්නෙ. ඉතින් අපේ රංගනයන්ට ඇත්තටම හොඳ ප්‍රතිචාර නම් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ මම ඉදිරියෙදි රංගනයෙන් දායකවෙන ටෙලිනාට්‍යයක් එන්නත් තියෙනවා. ඒ රංගනය නුදුරේම බලාගන්න ලැබෙයි.

අංජලීගේ රංගනයන් ටික්ටොක්වලින් දැකලාද ඒ අවස්ථාව ලැබුණෙ?  

ඒක ඇත්තටම මම දන්නෙත් නැහැ. තිර පරීක්ෂණයකට සම්බන්ධ වුණා. ඒ තුළින් මට අවස්ථාව ලැබුණා රංගනයේ යෙදෙන්න. ඇත්තටම ඒ රංගන අත්දැකීම නම් ගොඩක් වෙනස් දෙයක්. ටික්ටොක් රංගනයන් වගේ නෙමෙයි. ඒ ටෙලිනාට්‍ය විකාශනය වුණාට පස්සෙ තමයි බලාගන්න හැකිවෙන්නෙ මට රඟපාන්න පුළුවන්ද? බැරිද? කියන දේ.

රංගනයේ අත්දැකීමක් තිබිලම නැද්ද?  

පුංචි කාලෙ අවුරුදු 10 දි 11 දි වගේ අත්දැකීම් තිබුණා. නමුත් මගේ වැඩි නැඹුරුවීමක් තිබුණෙ සංගීත ක්ෂේත්‍රයට තමයි, සංගීත කණ්ඩායමේ එහෙම නම් ඉඳලා තියෙනවා.

සාමාන්‍යයෙන් ‘‘ටික්​ටොක්’’ වගේ සමාජ මාධ්‍යවල ඉන්නවා කියද්දි මිනිස්සු බලන්නෙ හරි පහළ මට්ටමකින් නේද? ඒ පිළිබඳ අංජලීගේ මතය?  

පහළ මට්ටමකින් බලන්නෙ අපි එකතු කරන වීඩියෝ එක්ක. අපි කාටවත් කාගෙවත් ප්‍රතිරූපයට හානියක් නොවන විදියට වැදගත් විදියට මේ දේවල් කරගෙන යන්න පුළුවන්. සමහර දෙනෙක් සමාජ මාධ්‍යයට කිසිම තේරුමක් නැති වීඩියෝ එකතු කරනවා. ඉතින් ඒ සමහර වීඩියෝ හිතන්නෙවත් නැති විදියට වයිරල් යනවා. අපෙත් සමහර වෙලාවට අපි fb එකට එකතු කරන සමහර වීඩියෝ යූ ටියුබ් නාළිකාවලින් අරගෙන ඒ සමහර වීඩියෝවලට අපේ රූප විතරක් අරගෙන වෙනත් හඬවල් එකතු කරලා වීඩියෝ හදලා දානවා. සමහර වෙලාවට අපි කියපු නැති දේවල් තමයි ඒ එකතු කරලා තියෙන්නෙ. ඒ සමහර දේවල් ඇත්ත නෙවෙයි. නමුත් ඒවා ඇත්ත වීඩියෝ විදියට, අපි කතා කරපු දේවල් විදියට තමයි ලක්ෂ ගණනින්, මිලියන ගණනින් ෂෙයා වෙලා යන්නෙ. ඇත්තටම මේ මාධ්‍ය හරි විදියට පාවිච්චි කරනවානම් හොඳ ෆ්ලැට්ෆෝම් එකක්, මේ හරහා නළු නිළියො, ගායක ගායිකාවො වගේම තවත් ජනප්‍රිය චරිත පවා බිහිවෙලා ඉන්නවා. ඇත්තටම දක්ෂතා එළිදක්වන්න පුළුවන් හොඳ තැනක් තමයි මේ සමාජ මාධ්‍යයන් කියන්නෙ. ඒ දේවල් හොඳ විදියට භාවිතා කිරීම තමයි වැදගත්ම දේ.

අංජලීලාගේ වීඩියෝවලටත් බණින අය ඇති?  

අම්මෝ ඕනෑ තරම් ඉන්නවා. විවේචනය කරන අයත් ඉන්නවා. මෙහෙමයි ඉතින් රටේ කොයි විදියෙ චරිත ගත්තත් තමන් කැමති, අකමැති කියන දේ තියෙනවනෙ. මම වුණත් කැමති, අකමැති, රුචි, අරුචිකම් තියෙනවානෙ. ඒ දේ කාටත් පොදුවෙ බලපානවා. මෙතනදි අපේ වීඩියෝවලටත් කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා. සමහර දෙනෙක් ප්‍රතිචාර දක්වනවා අපෝ මුන් පෙන්නන්න බැහැ කියලාත්, හොඳට බැණලා තියෙන ඒවා තියෙනවා.

ඒ විවේචන එක්ක අගය කරන සහ හොඳ ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා. මොකද මමත්, අම්මත්, නංගිත් කොහේ ගියත් අම්මාගේ ගීතවලට ප්‍රතිචාර දක්වන ළඟට ඇවිල්ලා කතාබහ කරන අය ඉන්නවා. ඒ සමහරු දැන් අපිට කොහේ ගියත් කියන්නෙ අපි ඔයාලගේ ‘‘ටික්ටොක්’’ බලනවා. ඒවා මරු එහෙම කියලා. ඇත්තටම කියනවානම් අපිට දැන් ටික්ටොක් තරු විදියට ආදරේ කරන පිරිසක් ඉන්නවා එ් පැත්තෙන්.

මේ වීඩියෝ කරන්න පෙළඹුනේ විනෝදාස්වාදයටමද? නැත්නම් මූලිකවම මුදල් ඉපයීමේ චේතනාවෙන්ද?  

මෙහෙමයි. සමහරු හිතනවා මේ වීඩියෝවලින් ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන් කියලා. නමුත් මම නම් ඇත්තටම දන්නෙ නැහැ මුල් කාලෙදි මේ හරහා මුදල් උපයන්න පුළුවන් කියන දේවත්. බොහෝ දෙනෙක් ජොලියට වගේනෙ මේ දේවල් කළේ. ඒත් මේ තුළින් ආදායමක් උපයන්න පුළුවන් කියන දේ මම දැනගත්තෙ ගිය අවුරුද්දෙ. ඉතින් වීඩියෝ ප්‍රමෝට් වෙන විදියට තමයි ඒ දේවල් කරගන්න පුළුවන්. ඒක වෙනම වැඩ කටයුත්තක්, වීඩියෝ මිනිස්සු බලන්න ඕනැ. ඒවා ඒ අය අතරට යන්න ඕනැ. වීඩියෝ වයිරල් යන වේලාවන් තියෙනවා. උදේ, හවස, රෑ, පාන්දර වගේ කාල සීමාවකට අනුව තමයි ඒ දේවල් හැදෙන්නෙත්. ඇත්තටම කියනවනම් අපිට දැන්නම් මේ දේවල් කරන්න ලොකු වේලාවක් නැහැ. නමුත් වෙලාවක් ලැබුණු ගමන්ම තුන්දෙනා එකතුවෙලා මොනවහරි දෙයක් කරන්න තමයි උත්සාහ කරන්නෙ. මුදල් ඉපයීමේ චේතනාවක් නම් ඇත්තටම නැහැ. අපිනම් විනෝදෙටම විතරයි මේ දේ කරන්නෙ.

අංජලීට U Tube නාළිකාවක් තියෙනවා නේද?  

ඔව්, “Imswaranjali” නමින් U Tube නාලිකාවක් තියෙනවා. ඒ හරහා අපි එකතු කරන්නෙ අපේ වෘත්තිය මට්ටමේ ගීත නිර්මාණ විතරයි. එතකොට අපේ අතින් ටික්ටොක් වීඩියෝ, ජොලි වැඩ, නර්ථනයන්, රංගනයන් එළිදක්වන්නෙ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා.

ඉතින් මේ මාධ්‍ය හරහා කතාබහට ලක්වීම ගැන මොකද හිතෙන්නෙ?  

ඇත්තටම කළින් සඳහන් කළා වගේ අපි මේ වීඩියෝ තුළින් ගොඩක් ෂෙයා වෙලා, කතාබහට ලක්වෙලා තිබුණෙ ගෙදර ජොලියට කරපු වීඩියෝ ගැනනෙ. කොහොමත් අපි මොන දේ වුණත් මොන ප්‍රශ්න තිබුණත් ගෙදර ඉන්නෙ ​ගොඩක් සතුටින්. කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නෙ නැහැ. ඉතින් අපිත් කඳුළු අතරින් හිනාවෙලා අපි විනෝදෙට කරන දේ බලලා මිනිස්සුත් හිනාවෙලා ඔවුනුත් ඒ තුළින් විනෝදයක් ලබාගන්නව නම් අපිටත් ඒ ගැන ගොඩක් සතුටුයි. ජීවත් වෙන ටික කාලෙ සතුටින් ඉන්න තමයි ඕනෑ.

සටහන : ධනු විජේරත්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්