May
30

හානියට පත් වූ වෙරළ පිරිසිදු කිරීමට Port City දායකත්වය

 
1198 Views
   
 

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු.ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට ත්‍රිවිධ හමුදාව සමග එක්වී, උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා කිලෝමීටර් 30ක පමණ වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. එහෙත්, එම කටයුතුවල නියැළෙන්නන්ගේ ආරක්ෂාව උදෙසා නිසි පුද්ගලික ආරක්ෂණ උපාංග කට්ටල නොමැති වීම විශාල ගැටලුවක් වී පැවතුණි. ඒ සම්බන්ධයෙන් එම ආයතනය ඉදිරිපත් කළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වමින්, අත්වැසුම් 1,000ක්, ආරක්ෂක ඇස් කන්නාඩි 1,000ක්, පා ආවරණ කට්ටල 950ක්, මුඛ ආවරණ 1,000ක් සහ සවල් 204ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර ඇත.

CHEC Port City Colombo වෙනුවෙන් එහි පරිසර උපදේශක ඩබ්ලිව්.ඒ.ඩී.ඩී. විජේසූරිය, මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ China Harbour Engineering සමාගමේ පරිසර නිලධාරී මංගල ජයනෙත්ති යන මහත්වරුන් විසින් අදාළ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.ජේ.එම්. ගුණසේකර සහ ගණකාධිකාරී ඩී.ආර්.සී. ජයවර්ධන යන මහත්වරුන් වෙත කොළඹ වරාය නගර පරිශ්‍රයේදී භාරදී ඇත.

කොළඹ වරාය නගරය විසින් සිදුකරන ලද මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.ජේ.එම්. ගුණසේකර මහතා, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය හා සමුද්‍රීය පරිසරය සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දරන උත්සාහයට කොළඹ වරාය නගරයෙන් ලැබෙන නිරන්තර සහයෝගය සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්