Apr
6

ගායනයට තමයි මුල් තැන ලබා දෙන්නේ

 
970 Views
   
hari-news-Recovered  

සංගීත ක්ෂේත්‍රයේ ඉසව් ගණනාවක්ම නියෝජනය කරන පූර්ණිම ගායන ශිල්පියෙක් විදිහට කලාවේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වනවා. පාසැල් කාලයේදීම කලාවට පිවිසි ඔහු මේ වනවිට ගායකයෙක් සේම පද රචකයෙක් ඇතුළු පැති කිහිපයකම එක ලෙස දස්කම් දක්වනවා. මෙවර සාරවිට කතාබහට පූර්ණිම සම්බන්ධ කරගන්නට අප සිතුවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම පූර්ණිම හසරංග. මේ වෙනකොට මම ගායකයෙක් විදිහටත්, පද රචකයෙක් විදිහටත්, පිටපත් රචකයෙක් විදිහටත්, අධ්‍යක්ෂවරයෙක් විදිහටත් කලාවේ නිරත වෙනවා. ඉඩ ලැබෙන ලැබෙන හැටියට හැමදේකම වැඩ කරනවා.

කලාවට පිවිසෙන්නේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ වාදකයෙක් විදිහට. ඒ පාසැල් කාලේදි. යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු අපි පොඩි සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මුලින්ම මම වාදනය කළේ බේස් ගිටාරය. අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක මග නතර කළා. ඉන්පසුව නැවතත් මගේම සංගීත කණ්ඩායමක් හදාගෙන කීබෝඩ් වාදන ශිල්පියෙක් විදිහට වැඩ කළා. ඒ අතරතුර මගේ මිත්‍ර ඉෂාන් මෙන්ඩිස්ගෙන් (රංගන ශිල්පී) ආරාධනාවක් ආවා සිංදු කිහිපයක් ලියන්න කියලා. ගීත රචනා පැත්තට යොමුවෙන්නේ එතනින්. ඊටපස්සේ මට ගායකයෙක් විදිහටත් මොනවා හරි දෙයක් කරන්න කියලා ආරාධනා ලැබුණා. ඒ එක්කම මම මගේ පලවෙනි ගීතය ‘ඉරුමලී’ එළි දැක්වූවා. ඒ ගීතයෙන් සෑහෙන දුරක් යන්න පුළුවන් වුණා. ඒ වගේම මගේ දෙවැනි ගීතය තමයි ‘හීනමල’. එයටත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

අධ්‍යක්ෂවරයෙක් විදිහට සම්බන්ධ වෙන්නේ?

අපි හදන ගීතවලට සමහර වෙලාවට ආරාධනා ලැබෙනවා රූප රචනාවටත් පිටපතක් හදලා දෙන්න කියලා. ඒ විදිහට තමයි පිටපත් රචනාවට යොමු වෙන්නේ. ඒ වගේ සමහර අවස්ථාවලදී ඒ වීඩියෝවල අධ්‍යක්ෂණයටත් ඇරයුම් ලැබෙනවා. ඒ දේවලුත් යම්කිසි මට්ටමකට සාර්ථක වෙලා ඇති කියලා මට හිතෙනවා. කරපු නිර්මාණ වගේම තව නිර්මාණ කිහිපයක්ම ඉදිරියට එන්නත් තිබෙනවා. අවසානයට මම අධ්‍යක්ෂණය කළේ විශාරද මනීෂ ගාල්ලගේ ගයන බොඳ මීදුමේ ගීතය.

මේ වනවිට දායක වුණු නිර්මාණ මොනවාද?

වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මොබයිල් ඇප් කිහිපයක සංගීතය නිර්මාණය සිදු කර තිබෙනවා. ඒ වගේම අනෙක් සංගීත කටයුතුත් සිදු කරගෙන යනවා.

ඔබ ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරනවා. ඉන් වැඩි ඉඩක් වෙන් කරන්නේ?

ගායනයට තමයි මුල් තැන ලබා දෙන්නේ. මේ වෙද්දි ‘පැහැසර’ සංගීත කණ්ඩායමේ ගායකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒවාටත් සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ අධ්‍යක්ෂවරයෙක් විදිහට නමක් හදාගන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇත්තටම මට ඒ ගැන විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් මමයි සාරංග පතිරණ කියන මගේ මිත්‍රයායි නවක ශිල්පීන්ට වගේම ප්‍රවීණ අයට නිර්මාණ කරනවා. ඒවත් එක්ක ගොඩක් වෙලාවට අපිට ඉල්ලීම් එනවා රූප රචනාවත් කරලා දෙන්න කියලා. එතකොට මට ඒ අවස්ථාව බාර ගන්නවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේම නිර්මාණ දෙකක් ඉස්සරහට එන්න තිබෙනවා. එකක් තමයි ගල්කුළක් කළ හදක් ගීතය. අනිත් එක මිහිදන් වුණු ආදරය. එකිනෙකට වෙනස් ගීත දෙකක්. මම විශ්වාස කරනවා මේ දෙක දැනෙන නිර්මාණ දෙකක් වෙයි කියලා. ඒ දෙක ඉදිරියේදී එළිදක්වනවා. ඊට අමතරව පද රචකයෙක් විදිහට කරපු නිර්මාණ කිහිපයක් තිබෙනවා. ඒවත් ඉදිරියේදී එළිදැක්වෙයි.

උදව් කළ අය ගැනත් කතා කරමු?

මුලින්ම මතක් කරන්න ඕනේ ක්ෂේත්‍රයේ මට නමක් හදාගන්න අත දුන්න ඉෂාන් මෙන්ඩිස්. ඒ වගේම සාරංග පතිරණ, කැළුම් බෝධිමාන්න, පැහැසර සංගීත කණ්ඩායමේ සියළු දෙනාවත් මතක් කරනවා. ඒ වගේම මට උදව් කළ ප්‍රවීණ, නවක සියළු දෙනාවත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්