ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව පමණක් නොව, යුරෝපා සංගමය පවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දෙස අවධානය යොමු කරමින් සහයෝගිතා වැඩසටහන් නැවත සලකා බලන්න පෙලඹී ඇත.
මේ වනාහි පවතින අවස්ථාවට හොඳ උත්තරයකි. ආර්ථික අර්බුදය තුළ මූලික ගැටලු හතරක් තිබේ. විනිමය හිඟය, ඉන්ධන ප්‍රශ්නය, ඖෂධ ගැටලුව හා ආහාර ප්‍රශ්නය ලෙස මෙය පෙන්වා දිය හැකිය. ගැටලු එකිනෙකට සම්බන්ධ අතර, කේන්ද්‍රීය ගැටලුව ලෙස විනිමය හිඟය පවතී. ජගත් ආයතන මූල්‍ය සහයෝගය දුන හොත් ඉතා කෙටි කාලයක් ඇතුළත විනිමය හිඟයට පිළිතුරක් ලැබෙනු ඇත. ඉන් පසු අනුක්‍රමයෙන් අනෙකුත් ගැටලු විසඳා ගත හැකිය.
අගමැතිවරයා සිය ආර්ථික මෙහෙයුම් ආරම්භ කළේ ලෝකය සමඟ නව සංවාදයකට ප්‍රවේශ වෙමිනි. එය බොහෝ සෙයින්ම සාර්ථක බව දැනටම පෙනී යයි. අගමැතිවරයාගේ ඊළඟ පියවර වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ සැබෑ තතු ජනතාව වෙත පැවසීමය. ආර්ථිකයේ ඇත්ත ජනතාව කෙරෙන් සඟවා තැබීම සුදුසු දෙයක් නොවේ.
අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ඉදිරි සති දෙක තුන අතිශය දුෂ්කරය. එහෙත් එය තාවකාලිකය. ලෝකය වෙතින් අපට ලැබෙන මූල්‍ය සහයෝගය ලැබෙන තෙක් එම දුෂ්කරතාව විඳ දරා ගන්න සිදු වේ. ජනතාවට එය පැහැදිලි කර දීම ඉතා වැදගත් වෙයි.
අගමැතිවරයා එකිනෙක ආර්ථික අංශවල සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කමිටු පත් කර ඇත. ඒ කමිටු වාර්තා මේ වන විටත් අගමැතිවරයා වෙත ලැබී ඇත. ආර්ථිකය ගොඩනැංවීම සඳහා ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පෙනෙයි. මැදපෙරදිග තෙල් රටවලින් පමණක් නොව, රුසියාවෙන් ද සහයෝගය හිමි කරගෙන ඉන්ධන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගත හැකිය.
ලෝකයේ තෙල් නිෂ්පාදනය හා අපනයනය අතින් අංක එකේ සිටින්නේ සවුදි අරාබියයි. අංක දෙක හිමි කරගෙන ඇත්තේ රුසියාවයි. මීට අමතරව ඉරානය වැනි රටවලින් ද අපට සහයෝගය ගත හැකිය. ඉරානය යනු කවදත් ශ්‍රී ලංකාවට හිතවත් ඉස්ලාම් රාජ්‍යයකි. රනිල් වික්‍රමසිංහ මහතාට මේ සෑම රාජ්‍යයකින්ම සහයෝගය ගත හැකි තත්ත්වයක් පවතී.