Jan
25

විදුලි අර්බුදය කවදා නිම වෙයිද ?

 
1980 Views
   
 

දැනට පවතින විදුලිය අර්බුදය නිර්මාණය වන්නේ විදුලිය නිෂ්පාදනය අඩුවීමත් සමඟය. ඉන්ධන ගැටලුව මත බලාගාර කිහිපයක් තාවකාලිකව නැවතී ඇත. නොරොච්චෝලේ බලාගාරයේ තාක්ෂණික දෝෂයක් පවතින අතර, එය පිළිසකර කරමින් පවතී. මාස ගණනාවක් අධික වැසි ලැබුණ ද ජලාශවල ජල මට්ටම ශීඝ්රයෙන් පහළ බසින බව වාර්තා වී ඇත.

අපේ ජලාශ බොහොමයක ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා ද නිදහස් කළ යුතුය. එවිට ශීඝ්රයෙන් ජල ධාරිතාව පහළ බසී. ජල විදුලිය කෙරෙහි ද මීට වඩා බලාපොරොත්තු තබා ගත නොහැකිය. රජය සූර්ය බලශක්තිය හා සුළං බලශක්තිය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්නේ අනාගතය සැලැසුම් කරමින්ය. රට තුළ සූර්ය බලශක්තිය ජනප්රිය කරවීමට උත්සාහ දරන්නේ මීට වසර විස්සකට – විසිපහකට කලින් සිටය.

ප්රදේශ ගණනාවක ආදර්ශ විදුලිය ව්යාපෘති ක්රියාත්මක විය. වරක් ඌව ප්රදේශයේ සූර්ය බලශක්ති ව්යාපෘතියක් සාර්ථකව ක්රියාත්මක විය. එහෙත් පසුකලෙක එය අත්හැර දමන ලද්දේ ඒ පිළිබඳ පසු විපරම් කිරීමට කිසිවකු නැති නිසාය. අලුත් ව්යාපෘති හඳුන්වා දී ඒවා පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව පසුවිපරම් කළ යුතුය. එහි වගකීම වැඩිපුරම ඇත්තේ අදාළ ව්යාපෘතිය භාර නිලධාරීන් වෙතය. නිලධාරීන්ට වැඩසටහන් සාර්ථක කළ හැකි අතර, ඊට වඩා පහසුවෙන් ඒවා අසාර්ථක කළ හැකිය. එය අප මතකයේ තබා ගත යුතු කාරණයකි.

ඉන්ධන මිල ඉහළ යෑම, විදුලිය කප්පාදු කිරීමට සිදුවීම, ගෑස් මිල ඉහළ යෑම, භාණ්ඩ මිල ශීඝ්රයෙන් ඉහළ යෑම, ප්රවාහන ගාස්තු ඉහළ යෑම එකම අර්බුදයක කොටස් ලෙස හැඳින්විය හැකිය. මේවා පිළිබඳ වෙන-වෙනම විවේචන තිබුණ ද එකම මූලයකින් එම අර්බුද නිර්මාණය වී තිබේ. තෙල් කැණීම් කටයුතු කඩිනම් කිරීමත්, විකල්ප බලශක්ති මූලයන් කෙරෙහි යොමු වීමත් දැනට මේ සඳහා ගත හැකි හොඳම විසඳුම් උපායමාර්ග ලෙස සඳහන් කළ හැකිය. ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යයි. එය සාධනීය ලක්ෂණයකි.

තෙල් කැණීම් කටයුතුවල ද ඉදිරි පියවරක් දැකගත හැකිය. එය ද සාධනීය ලක්ෂණයකි. දැන් අපට ක්ෂණිකව අවශ්ය වන්නේ විදුලිය කප්පාදුව නවතා ගැනීම සඳහා උපායමාර්ගයකි. අප්රිකානු රටවල් බොහොමයක් සූර්ය බලය සිය ප්රධාන බලශක්ති මූලය ලෙස භාවිත කරන්නට පටන්ගෙන තිබේ. එය සාර්ථක ක්රියාවලියක් බව ඉතියෝපියාව වැනි රටවල් දෙස බලන විට ද පෙනී යයි. නොමිලේ ලැබෙන සූර්යබලය මඟින් විදුලිය නිෂ්පාදනයට යන අධික පිරිවැය නවතා ගත හැකිය. ශ්රී ලංකාව සමකය ආසන්නයේ පිහිටා ඇත.

දිනපතාම පාහේ රටේ සෑම ප්රදේශයකටම හොඳින් හිරු එළිය ලැබෙයි. අපට ඇති හොඳම බලශක්ති මූලය හිරු එළිය යැයි කිව හොත් එය බොරුවක් නොවේ. අවශ්ය වන්නේ නව ව්යාපෘති සඳහා මූලික වියදමක් දැරීම හා ඒවාට හුරු වීමය. ලෝකය වේගයෙන් ඉදිරියට යන විට සෑම සමාජයකටම වේගයෙන් වෙනස් වීමට ද සිදුවේ. සත්යය එයයි. පසුගිය දින කිහිපය තුළ කිසිදු කප්පාදුවක් සිදු වූයේ නැත. එහෙත්, පවතින තත්ත්වය යටතේ එය දිගටම පවත්වා ගත නොහැකි බව පෙනී යයි. මේ පසුබිම යටතේ විදුලිය අරපරෙස්සමෙන් භාවිත කිරීම සඳහා ද ක්රමවේද හඳුන්වා දිය යුතුව තිබේ.

අමාත්යවරයාගේ එක් අදහසක් වන්නේ මහා මාර්ගවල විදුලි පහන් කණු කිසියම් සීමාවක් අනුව දල්වා තැබීම එක විසඳුමක් බවය. එය හොඳ යෝජනාවකි. ඒ මඟින් සෑහෙන විදුලි බලයක් ඉතිරි කර ගත හැකිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්