Sep
6

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි (වීඩියෝ)

 
477 Views
   
 

ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මි යයන විට 68 වන වියේ පසු වුණා.

කොරෝනා ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු මීට දින කිහිපයකට පෙර ඉන් සුවය ලබා සිය නිවස වෙත පැමිණියා. කෙසේ නමුත්, පෙනහලුවල යළි මතු වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මීට දින 03කට පෙර යළි රෝහල්ගත කෙරුණා. අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු සුනිල් පෙරේරා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

ඔහුගේ ම රණයට හේතුව ලෙස දක්වා ඇත්තේ නිව්මෝනියා රෝගී තත්ත්වය යි. 1952 වසරේ සැප්තැම්බර් 14 වන දා උපත ලද අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගායකයෙකු, වාදකයෙකු, ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු ලෙස පසු ව ප්‍රකට වුණා. සිය පියා විසින් ආරම්භ කරන ලද ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11ක් ව සිටිය දී සුනිල් පෙරේරා එක් වූයේ 1969 වසරේදී යි.

ඔහු සිය සොහොයුරන් වූ නිහාල්, ලාල්, නිමල්, පියල් සහ තවත් ඥාති සොහොයුරන් සමඟ ජිප්සීස්, මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර සංගීත කණ්ඩායමක් බවට පත්කිරීමට සමත් වුණා. 1970 දශකයේ සුනිල් පෙරේරා සිය සොහොයුරු පියල් සමඟ නිර්මාණය කළ ලිඳ ළඟ සංගමය, අම්මා අම්මා මේ මට ඉතා ජනප්‍රිය වූ අතර, අසූව දශකයේ දී ඉදිරිපත් කළ කුරුමිට්ටෝ එවකට අතිශය ජනප්‍රිය වූ කැසට් පටයක්. ඊට අමතර ව 1977 වසරේ ඉදිරිපත් කළ කැඩපතකින් සහ නෝනේ මගේ සුදු නෝනේ, 1987 වසරේ ඉදිරිපත් කළ ලුණු දෙහි, 1989 වසරේ ඉදිරිපත් කළ ඕයේ ඔජායේ මෙන්ම, 1997 වසරේ නිර්මාණය කළ පිටි කොටපන් නෝනේ මෙන්ම සිංඤෝරේ මෙරට කණ්ඩායම් සංගීතයේ සදාතනික සිහිවටන බවට පත් වී අවසන්.

1981 වසරේ ගීතා කුලතුංග සමඟ විවාහ වූ සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන දරුවන් සිව් දෙනෙකුගේ පියාණන් වනවා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳව පසු ව ප්‍රකාශයක් සිදුකරන බව යි අභාවප්‍රාප්ත සංගීතඥ සුනිල් පෙරේරාගේ සොහොයුරු පියල් පෙරේරා සඳහන් කළේ. ගැඹුරු හඬින් මෙරට සුවහසක් සංගීත රසිකයින් සන්තර්පණය කළ සුනිල් පෙරේරා එහෙමත් නැත්නම් අපගේ ආදරණීය සුනිල් අයියා ඔබට සුභ ගමන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්